|

අනාගතේ එකතු වෙන්න දැන් වෙන ම පක්ෂ හදති

 

දේශපාලන පක්ෂ, පෙරමුණු ගණනාවක් ඉදිරි දේශපාලනය සඳහා යළි පෙළ ගැසෙන ආකාරයක් පසුගිය සතියක පමණ කාලය තුළ දකින්නට ලැබිණි. එම සංවිධාන ගණනාවකට යම් විශේෂ අවස්ථාවක් මෙම දින කිහිපයේ යෙදී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ඩලස් – ජී එල් කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධින කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශයට පත්කරන ලද්දේ පසුගිය සතියේ ය. ඉන් දින දෙකක් ගතවන විට ඔවුන් තමන්ගේ සංවිධාන නාමයක් හඳුන්වා දෙමින් පක්ෂ කාර්යාලයක් ද විවෘත කළේය. ඔවුන්ගේ සංවිධාන නාමය ‘නිදහස ජාතික සභාව’ යි. රාජගිරිය, නාවල ප්‍රදේශයේ ඔවුන් තම සංවිධාන කාර්යාලයක් විවෘත කළේ අලුත් දේපාලන ගමනකට සුදානම පෙන්නුම් කරමිණි.

ජී එල් ගේ විශේෂත්වය

ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට මේ කණ්ඩායමේ සියලු දෙනා සහභාගී වුයේ තම සංවිධානයේ නම සඳහන් ටී සර්ට් හැඳ   වීම විශේෂත්වයක් වී ය. එම ටී සර්ට් වල නිදහස ජාතික සභාව යන්න වර්ණවත් ලෙස මුද්‍රණය කොට තිබිණි. උත්සවයේ දී, මහාචාර්ය ජී එල් පීරිස් මහතා දෙස බොහෝ දෙනාගේ ඇස ගියේ හැමවිටම පාහේ යුරෝපීය ඇදුමින් පෙනී සිටින ඒ මහතා ටී සර්ට් එකකින් සැරසී සිටීම දුර්ලභ දර්ශනයක් වූ නිසා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරීම ද, පසුගිය 2 දා, සිකුරාදා සිදුකරන ලද්දේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ය. කෙසේ වෙතත්, එහි දී වඩාත් ප්‍රවෘත්ති මැවූ කරුණ වුයේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩි බලතල හිමි වන ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීම යි.

ශ්‍රීලනිපය අලුතින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුයේ පක්ෂ විනය නොතකා ක්‍රියා කරන සාමාජිකයින් ඉවත් කිරීමට  තම පක්ෂ නායකයාට බලය පැවරීම යි. සිකුරාදා සංවත්සරය සමග පැවති පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට එය ඉදිරිපත් කිරීමට පෙර එය, පෙර දින පැවති මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළේය. එහි දී ආණ්ඩුවේ ඇමති ධුර භාරගත් පක්ෂ ප්‍රබලයින් ඇතුළු පිරිසක් එයට විරෝධය පළ කළේය.පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා විසිනි. ඡන්ද විමසීම කළේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

යෝජනාවට පක්ෂව අත් රාශියක් එසවුණු නමුත් විරුද්ධව කිසිදු අතක් එසවුණේ නැත. එහි දී කැපී පෙනෙන සිදුවීම වුයේ සමුළුවේ ඉදිරි පෙළේ සිටි පක්ෂයේ ප්‍රබලයින් යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදීම යි. පක්ෂයේ ජේෂ්ට උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර ආදීන් මෙලෙස ඡන්දය නොදුන් පිරිස අතර වුහ.

පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින බව ප්‍රකාශ කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කණ්ඩායම ඔවුන්ගේ පක්ෂ සන්ධානය පසුගිය ඉරිදා , 4 දා , එලි දක්වන ලද්දේ ද මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ පැවති සමුළුවක දී ය. ‘උත්තර සභාගය ‘ ලෙස නම්කොට ඇති මෙම සන්ධානයට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, සහ විජය ධරණී ජාතික සභාව ඇතුළත් ය.

පක්ෂ එකොළහ හතකට බසී

මෙහි දී අවධානයට ලක් වූ කරුණක් වුයේ ආණ්ඩුවෙන් ඉවත් වී පක්ෂ 11 කණ්ඩායම ලෙස පෙනී සිටි කණ්ඩායමෙන් ‘උත්තර සභාගය ‘ ලෙස සන්ධාන ගත වුයේ පක්ෂ හතක් පමණක් වීම යි. පක්ෂ 11 කණ්ඩායමේ සිටි ශ්‍රීලනිපය මුලින් ම වෙන්ව ගියේය. එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස් මහතා ඇමති ධුරයක් ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධ වී සිටියි. ඒ එම් එල් අතාවුල්ලා මහතාගේ  එක්සත් මහජන කොන්ග්‍රසය සහ අසංක නවරත්න මහතාගේ ශ්‍රී ලංකා මහජන පක්ෂය ද නව පෙරමුණට සම්බන්ධ වී නැත. ඔවුන් දෙදෙනා ආණ්ඩුවේ ඇමැති ධුර ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිත බව කියති. මෙය දේශපාලන අර්බුදය තුළ පක්ෂ බෙදී යන ආකාරය තව දුරටත් පෙන්නුම් කරන සාධකයකි.

උත්තර සභාගයේ සභාපති ධුරය විමල් වීරවංශ මහතාට හිමි වූ අතර ලේකම් වුයේ කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර ජී වීරසිංහ මහතා ය. වාසුදේව නානායක්කාර මහතා ජාතික සංවිධායක ලෙස පත් කරගනු ලැබීය.

සමුළුව ඇමතු විමල් වීරවංශ මහතා කීවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තම තක්සේරුව වැරදුනු බවයි. පවුල් දේශපාලනයට මෙරට තවදුරටත් ඉඩක් නැතැයි ද, මින් ඉදිරියට ඇත්තේ නව ගමනක් බව දල ඒ මහතා කී ය.

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයේ කර්ය්යලයන් බත්තරමුල්ලේ විවෘත කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පැරණි ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් එයට එක්ව සිටි බව වාර්තා වී ය. පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපයේ අර්බුද හමුවේ ඉවත්වන පිරිසක් ඉදිරි කාලයේ මෙම පක්ෂයේ දේශපාලනයට එක්වනු ඇතැයි  විස්වාස කෙරෙයි.

සියලු පක්ෂ එකතුවන බව වෙල්ගම කියයි

සර් ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බව කියන කුමාර වෙල්ගම මහතා ද, ඉදිරි කාලයේ ආණ්ඩුවට සම්බන්ධ වනු ඇතැයි කියති. කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතා කතා කළ වෙල්ගම මහතා කීවේ කිසිවක් නැතිව සිටි රනිල් ජනාධිපති වීම ගැන පොහොට්ටු නායකයින් ඉරිසියාවෙන් සහ වෛරයෙන් සිටින බව යි. ජනාධිපතිතුමා සමග ඉදිරි ගමනක් සඳහා කතා කළ ඒ මහතා කීවේ මේ වනවිට විමල් ලා, අනුර ප්‍රියදර්ශන ලා, ශ්‍රීලනිපය ආදී ලෙස වෙන්ව සිටියත්, අනාගතයේ මේ සියලු දෙනා එක්ව එක් දේශපාලන ගමනක් යනු ඇති බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කණ්ඩායම් ගණනාවක් ඉවත් වී ඇති තත්ත්වයක් තුළ එම පක්ෂය ද විශාල ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළක් දියත් කොට ඇත. දිස්ත්‍රික් මට්ටමින් තම සංවිධාන බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම එහි ප්‍රථම පියවර වූ අතර මේ වනවිට එම කටයුතු බොහෝ දුරට අවසන් කොට ඇත. එම පක්ෂ ප්‍රතිසංවිධානයේ තවත් පියවරක් ලෙස නායකත්ව පුහුණු පාසලක් පසුගිය සෙනසුරාද ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයට නව තරුණ නායක පිරිසක් බිහි කිරීම මෙම නායකත්ව පුහුණු වැඩ සටහන් මගින් අපේක්ෂා කෙරෙයි.

රාජපක්ෂලා නැවත එයි !

පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලනය ගැන පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය අඟහරුවාදා මාධ්‍ය අමතා කළ ප්‍රකාශය ඉතා වැදගත් එකකි. ඔහු කීවේ රාජපක්ෂවරුන් බලයෙන් ඉවත්වීම වැරදි තීරණයක් ලෙස පක්ෂය සලකන බව යි. හැට නව ලක්ෂයේ ජනවරම තවමත් පක්ෂයට ඇති බව කී ඒ මහතා පක්ෂයේ ශක්තිය වන්නේ රාජපක්ෂවරුන් බව පක්ෂය තේරුම් ගෙන ඇති බව ද පැවසීය.

මෙම ප්‍රකාශයේ තේරුම නම් නැවත වතාවක් රාජපක්ෂවරුන් දේශපාලනයට සහ බලයට ගෙන ඒමට එම පක්ෂය ක්‍රියා කරනු ඇති බව යි.

තනි මන්ත්‍රීගෙන් ජනාධිපතිවරයකු බිහි කරගත් එක්සත් ජාතික පක්ෂය තම හැත්තෑ හතරවන සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී, 6 දා, අඟහරුවාදා සමරන ලද්දේ දැඩි උද්යෝගයකිනි. පාර්ලිමේන්තුවේ ඇති ,නැති සියලු පක්ෂ නායකයින්ට එම අවස්ථාව සඳහා විවෘත ආරාධනයක් කොට තිබු අතර ඒ බොහෝ දෙනා  එහි පැමිණ සිටිනු දක්නට ලැබිණි.

සමගි ජන බලවේගයේ සිට පසුගිය දා එක් වූ හරීන් ප්‍රනාන්දු මහතා එජාප සම්මේලනයේ ප්‍රධාන සංවිධායකයා බවට පත්ව සිටීම මෙහි කැපී පෙනෙන සිදුවීමකි. සමුළුව අමතා ඒ මහතා කීවේ තාත්තා ලඟට පැමිණි බවක්, තමන්ට දැනෙන බව සහ නැවත ආපසු යාමක් නැති බව යි.

එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ හතරවන ජනාධිපතිවරයා තමා බව සභාව අමතා ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කීවේ මේ අවස්ථාවේ වෙනස තමන්ට එජාප ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ නොමැති වීම බව යි.

රනිල් දකින අරගලය

ඉතිහාසයේ පළමු වතාවට තරුණයින් ආයුධ සන්නද්ධ නොවී අරගලයක් කළ බවත්, එය ඉතා වැදගත් සටනක් බවත්, කී රනිල් වික්‍රමසිංහ මහතා කීවේ පෙරටුගාමීන් එය ප්‍රචණ්ඩත්වයට ඇදගෙන යාම නිසා ජුලි 9 -13 සටනින් එම අරගලය අවසන් වූ බව යි. රට එක්සත් කිරීමේ දෙවන අරගලය මෙයින් අරඹන බව කී ඒ මහතා, එක මවකගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගැනීමට සියලු පක්ෂ වලට ආරාධනා කළේය.

දේශපාලන පක්ෂ මෙලෙස ලහි ලහියේ පෙළ  ගැසීම ගැන ඉඟියක් ලැබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ කළ කතාවකිනි. මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවක් හැදීමේ වැඩි අවස්ථාවක් ශ්‍රීලනිපයට ඇති බව කී ඒ මහතා ඡන්දයක් ළඟ එන බව පෙනෙන්නට ඇති බව ද කී ය. ඒ මහතා කීවේ පෙනෙන හැටියට මුලින් එන්නේ පළාත් පාලන මැතිවරණය බව යි.

දැනට කල් දම ඇති පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය සැප්තැම්බර් 20 වැනිදාට පසුව මැතිවරණ කොමිසමට හිමිවන බව කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කොට තිබිණි. විපක්ෂය සහ සිවිල් සමාජයේ ඉල්ලීම වී ඇත්තේ මෙම මැතිවරණය තවත් කල් නොදැමිය යුතු බව යි. එය පැවැත්වුවහොත් මහපොළවේ වෙනස් වී ඇති දේශපාලන යථාර්ථය ගැන යම් අදහසක් ලබා ගැනීමට සියලු දෙනාට අවස්ථාව ලැබෙනු ඇත. යලි කල් නොදමන්නේ නම් ලබන පෙබරවාරි මාසයට ප්‍රථම මෙම ඡන්දය පැවැත්විය යුතුව ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 2 දා, සිකුරාදා, රාත්‍රියේ ශ්‍රී ලංකාවට නැවත පැමිණීම ද කාගේත් අවධානයට ලක් වූ සිදුවීමක් වී ය. ඒ මහතා පිළිගැනීමට මැති ඇමතිවරුන් ගණනාවක් ගුවන් තොටුපොළට ගොස් සිටි අතර තවත් පිරියක් එතුමාට රජයෙන් ලබා දී තිබු නිල නිවෙසට ගොස් එතුමා හමු වී සුබ පැතුහ. තම පැමිණීම හෝ ඉදිරි කටයුතු හෝ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් කළේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක තුමා විසින් පසුගිය අඟහරුවාදා  පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී ය. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබුණේ සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සහ ඒවා ඒ ආකාරයෙන් සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් ද අනුමත කිරීම අවශ්‍ය බව යි.

22 ට වෙච්ච දේ

ඇමතිවරුන් පත්කිරීමේ ජනාධිපතිගේ බලය, අගමැතිගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක කිරීමට වූ වගන්ති මෙලෙස අභ්යෝගයට ලක් වී ඇත. ඒ අනුව වෙනස්කම් සිදු කරන්නේ නම් ජනාධිපති සතු බලය අගමැතිට පැවරීමේ සිවිල් සමාජ සංවිධානවල ඉල්ලීම සම්පුර්ණයෙන් ඉටු වන්නේ නැත. ජනාධිපතිගේ බලය සැලකිය යුතු මට්ටමකින් තව දුරටත් පවතිනු ඇත. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අවශ්‍ය  සංශෝධන සහිතව පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ක්‍රියා කරන බව යි.

එක්සත් ජාතික පක්ෂ සංවත්සරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ 22 සංශෝධනය ඉක්මනින් සම්මත කර ගැනීමට ක්‍රියා කරන බව සහ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉන් නොනවතින බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තව දුරටත් සංශෝධනය කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අදහස යි.

සර්ව පාක්ෂික පාලනයක් සඳහා තවත් වැදගත් පියවරක් පසුගිය බදාදා තබනු ලැබී ය. එනම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් නියෝජනය වන ජාතික සභාවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව පක්ෂ නායක කමිටුව විසින් අනුමත කරනු ලැබීම යි. ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන ආකාරයෙන්, මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගෙන් මෙම ජාතික සභාව සමන්විත වනු ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ, එයට මුහුණ දීමට සියලු පක්ෂවල සහභාගීත්වය ලබා ගැනීම මෙම ජාතික සභාව පිහිටුවීමේ අරමුණ වී තිබේ. මෙය ද අර්බුදයට විසඳුම් ලෙස සිවිල් සමාජයෙන් ඉදරිපත් වූ යෝජනා අතරින් ප්‍රධාන යෝජනාවකි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායකයින් සම්මත කළ යෝජනාව ඉක්මනින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව යි.

ආචාර් ය හර්ෂගේ පෙරළිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් කාර් ය මණ්ඩල මට්ටමේ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වය ද පසුගිය සතියේ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. එයට හේතුව නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වීමත්, එය කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයත් ය.

මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් ගිවිසුම හෙළිදරව් කළ යුතු බවට මුලින් ඉල්ලීම කළේ ජාතික ජන බලවේගය යි. ඉන් පසු එම ඉල්ලීම ම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ආචාරය හර්ෂ ද සිල්වා මහතාගෙන් ඉදිරිපත් වීම නිසා එය වඩා ප්‍රබල වී ය.  හර්ෂ ද සිල්වා මහතා කීවේ මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කළ නොහැකි බව පෙනීයන බව යි.

ඒ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේ එබඳු සම්ප්‍රදායක් නැති බව සහ වෙළෙඳපොළ සංවේදී කරුණු නිසා එය හෙළිදරව් කිරීම කෙසේවත් කළ නොහැකි බව යි.

මහ බැංකු අධිපතිවරයා ඉහත පිළිතුර දෙන්නටත් පෙර ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා රුපවාහිනී වැඩ සටහනකට එක්වෙමින් කීවේ මෙම ඉල්ලීම ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වීම ගැන තමන් පුදුම නොවන නමුත් ආචාර්ය හර්ෂ ද සිල්වා වැන්නකුගෙන් එම ඉල්ලීම ඉදිරිපත්වීම ගැන පුදුම වන බව යි.

මෙබඳු ගිවිසුම් හෙළි නොකිරීම ජාත්‍යන්තර වශයෙන් ද පවතින සම්ප්‍රදාය බව මහාචාර් ය සමරජීව මහතා පෙන්වා දුන්නේ ය.

සී ජේ

දේශපාලන සතිය – අනිද්දා

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *