’’රටෙි මිනිස්සු තවත් වට්ටන්න බෑ’’ – ජනාධිපති අයි එම් එෆ් හමුවේ කියයි


 

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග  ජනාධිපති කාර්යාලයේ අද (1) පැවති සාකච්ඡාවේ දී ය.

විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer) මහතා මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව.බංකොළොත් බවින් ගොඩ ඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්.

ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම  ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළඟා කරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මෙය වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසු කරගෙන ඉදිරියට යා යුතුයි.  අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”

අපේ කම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *