|

අතුරු අය-වැය කලින් ගෙනාවා නම් තවත් හොඳයි – ධනනාත් ප්‍රනාන්දු

 

දිගුකාලීන ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හා ඒ සඳහා 2022 අතුරු අය – වැයෙන් ගෙන තිබෙන පියවර ගැන ඇඩ්වොකාටා පර්යේෂණ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු දැක්වූ අදහස් මෙසේය.

 මෙවර අතුරු අය – වැය සුවිශේෂ ඇයි?

මෙයට පෙර 2015දී බලයට පත්වූ ආණ්ඩුවත් අතුරු අය – වැයක් ඉදිරිපත් කළා. අවශ්‍යතා අනුව අතුරු අය – වැය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. එහෙත් දේශපාලන සන්දර්භ වෙනස් නිසා 2022 අතුරු අය – වැය සුවිශේෂයි. අතුරු අය – වැයක් ඉදිරිපත් කිරීමට කාරණා කිහිපයක් බලපෑවා. පැවැති ආණ්ඩුවේ සන්දර්භය වෙනස් වුණා. මුදල් ඇමැතිවරු වෙනස් වුණා. අලුත් ආණ්ඩුව පෙර ඉදිරිපත් කළ අය – වැය ගැන වග වීමක් නැහැ. අනෙක් අතට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගොඩනඟා ගැනීමට යන සම්බන්ධයට හා ආයෝජකයන්ට පණිවිඩයක් දීමට අතුරු අය – වැයක අවශ්‍යතාව මතු වුණා. ඒ සඳහා ආණ්ඩුව ගත් උත්සාහය හොඳ දෙයක්. මේ උත්සාහය කලින් කළා නම්, අන්තර්ජාතික ප්‍රජාවෙන් මෙයට වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න තිබුණා.

තව මාස කිහිපයකින් ඉදිරි වසරට අය – වැයක් ගෙනෙන්න සිදු වෙනවා. ඒ වුණත් වසරේ ඉතිරි කාලය සඳහා වුවත් යම් කිසි ප්‍රතිසංවිධානයක් කිරීමේ වැදගත්කම මතුව තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කර තිබෙන්නේ ඒ සඳහා යොමු වීමටයි. ඒ නිසා කල්ගතව හෝ අතුරු අය – වැයක් ගේන්න කල්පනා කිරීම හොඳයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම ඉතිහාසයේ පළමු වරට රුපියල් ට්‍රිලියන හතර පසු කර තිබෙනවා. මේ තත්ත්වය තුළ මතුව ඇති අභියෝග මොනවාද?

අපේ වියදම් සංයුතිය දෙස බැලූ විට ආණ්ඩුවට ආදායම් වැඩි කර ගැනීමට සිදුව තිබෙන බව පැහැදිලියි. අප ගත් ණයවල පොලිය ඇතුළුව පුනරාවර්තන වියදම් හා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ මුදල ආදායමට වඩා වැඩියි. ඒ නිසා ආදායම වැඩි කර ගැනීමට සිදුව තිබෙනවා.

රජය ව්‍යාපාර කිරීම ගැළපෙන දෙයක් නොවෙයි. ආණ්ඩුව පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඒ විදියට ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් ඔවුන් සමඟම ව්‍යාපාර කිරීම ගැටලු ඇති කරන තත්ත්වයක්. පාඩු ලැබුවා හෝ ලාභ ලැබුවා හෝ ව්‍යපාර කිරීම රජයේ කාර්යභාරය නොවෙයි. අපේ රටේ පමණක් නොවෙයි, වෙනත් රටවලත් රාජ්‍ය ව්‍යාපාර තිබෙනවා. පාඩු ලැබීම ඒ සෑම අවස්ථාවකම දක්නට ලැබෙන අනිවාර්ය ප්‍රතිඵලයක්. රාජ්‍ය ව්‍යාපාරවල ව්‍යාපාරික මනෝභාවය නැහැ. ඒ නිසා ඒ ව්‍යාපාර මත යැපෙන පිරිසක් බිහි වෙනවා.

ඒ නිසා පෞද්ගලික අංශයට ව්‍යාපාර පැවරීම හොඳ තීරණයක්. එතැනදී ගජ මිතුරන්ට අවස්ථාව දීම වෙනුවට තරගකාරී පදනමකින් එය කළ යුතුයි. සාර්ථක වෙළෙඳපොළක් බිහි වෙන්න නම් පෞද්ගලික අංශයේ තරගකාරීත්වය අවශ්‍යයයි. රජයේ බොහෝ ව්‍යාපාර ඒකාධීකාරි ව්‍යාපාර වුණත් ඒවා පාඩු ලබනවා. අවසානයේ එහි බර ජනතාවට දැරීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය නිවැරැදි කරන්න නම්, පෞද්ගලික අංශයට ව්‍යාපාර පවරන්න ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කළ යුතුයි.

සමාජ සාධරණත්වය සඳහා රාජ්‍ය ව්‍යාපාර පැවතිය යුතුය යන තර්කය ගැන ඔබේ අදහස කුමක්ද?

රජය දුප්පතුන් රැක බලා ගත යුතුයි. රාජ්‍යයට සමාජ වගකීමක් තිබෙනවා. එහෙත් රජයට දුප්පතුන් රැකබලා ගන්න පුළුවන් වෙන්නේ ආදායමක් තිබුණොත් පමණයි. ඒ සඳහා පෞද්ගලික අංශය ලබන ලාභයෙන් බදු ගෙවිය යුතුයි. එහෙම නැතිව සමාජ සාධාරණත්වය ක්‍රියාත්මක කරන්න වෙන විදියක් නැහැ. ගුවන් සමාගමක් පවත්වාගෙන යෑමෙන් සමාජ සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක තෙල් බෙදුවා කියලා සමාජ සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. සමාජ සාධාරණතක්වය ඇති කරන්න රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. ඒක කරන්න බදු එකතු කර ගත යුතුයි.

බදු ආදායම ඉහළ නංවාගැනීම සඳහා අතුරු අය – වැයෙන් ඉදිරිපත්කර ඇති යෝජනා ගැන ඔබේ අදහස කුමක්ද?

බදු ඉහළ නැංවීම හොඳයි. මේ යෝජනාවත් කලින් කරන්න තිබුණු දෙයක්. වැට් බද්ද සියයට අටේ සිට දොළහ දක්වා කලින් වැඩි කළ අවස්ථාවේම එය පහළොව දක්වා වැඩි කළා නම් වඩාත් සුදුසුයි. ඒ වගේ බදු යෝජනාවල ගැටලුවක් මම දකින්නේ නැහැ.

එහෙත් බදු යෝජනා සෑම අය – වැයකින්ම වගේ නිතර නිතර එහෙට මෙහෙට මාරු කිරීම හොඳ දෙයක් විදියට මම දකින්නේ නැහැ. වෙනත් රටවල වැට් ප්‍රතිශත කාලයකට වෙනස් කරන්නේ නැහැ. වෙනස් කළත් වෙනස් කරන්නේ අවු: 10 -15කට වරක්. පසුගිය ආණ්ඩුව කළ දේවලට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. එහෙත් බදු ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති විය යුතුයි.

අතුරු අය – වැයෙන් 2025 දක්වා සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් යෝජනාකර තිබෙනවා. වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයෙන් ඉතිරිව ඇත්තේ තව වසර දෙකක් පමණයි. එ පසුබිම තුළ දීර්ඝ කාලීන දැක්මක අවශ්‍යතාවක් තිබේද?

මේ අය – වැය තුළ ප්‍රතිපත්ති රාමුවක ස්වරූපය දක්නට ලැබෙනවා. අය – වැයෙන් ප්‍රධාන කරුණු හතරක් වෙනස් කරන්න උත්සාහ කර තිබෙනවා. ඒ අනුව ආදායම වැඩි කරන්න උත්සාහ කර තිබෙනවා. ඒ අතර රජයට අයත් ව්‍යාපාර හා රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරන්න උත්සාහ ගෙන තිබෙනවා. අය – වැයක් ඉදිරිපත් කරද්දි දීර්ඝ කාලීන පදනමක් යටතේ ඒ දෙස අවධානය යොමු කිරීම හොඳයි. ආණ්ඩු මාරු වුණා කියලා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අමාරුයි. ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. ඒ වෙනසට මුල පිරිය යුතුයි.

ධනනාත් ප්‍රනාන්දු

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ඇඩ්වොකාටා

 

චන්දන ජයවීර – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *