අතුරු අය-වැය පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්

 

 

 

අය-වැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා
හරිනි අමරසූරිය (ජා.ජ.බ.)

ජනතාව ජීවත් කිරීම සඳහා අවශ්‍ය සහන සැලසීමට තමයි මේ අය-වැය
ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

බැසිල්ගේ අය-වැය විහිළුවක් වුණා ඒකට සංශෝධන තමයි අද ඉදිරිපත් කළේ
ඉරාන් වික්‍රමරත්න (ස.ජ.බ.)

අප දිය හැකි උපරිම දායකත්වය දෙනවා
මන්ත්‍රී අසංක නවරත්න (ශ්‍රී.ල.පො.පෙ.)

දීර්ඝ කාලීන ආර්ථික පසුබිමකට මෙමඟින් අවස්ථාව
ඇමැති අලි සබ්‍රි

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (ස.ජ.බ.)

බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැයට අලුත් ජනාධිපතිවරයා පත් වුණාට පසුව ඉදිරි කාලය වෙනුවෙන් එතුමා ඉදිරිපත් කර තිබෙනවා. පොරොන්දු රැසක් එහි තිබෙනවා. විශාල වශයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. මෙරට පවතින ආර්ථික තත්ත්වයත් සමඟ එය යතාර්ථයක්. කළ හැකිද යන්න ගැටලුවක්. පොරොන්දු ලබාදුන් අයවැයක් විදියට තමයි අපට මේ අයවැයත් පෙනෙන්නේ. ආර්ථික අර්බුදයට සුදුසු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා කියලා නම් පේන්න නැහැ. ඇස් බැන්දුමක් පමණයි දකින්න තිබෙන්නේ කියලා තමයි කියන්න තිබෙන්නේ.

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (ස.ජ.බ.)

බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය විහිළුවක් වුණා. ඒකට සංශෝධන තමයි අද ඉදිරිපත් කළේ. ලොකු ලොකු වචන තිබුණා. කමිටු බොහොමයක් පත් කර තිබුණා. ප්‍රතිසංශෝධනවලට අපි විරුද්ධ නැහැ. ඒක හොඳයි. කමිටු පත් කළාට ඒවා ක්‍රියාත්මක කරන්න සල්ලි නැහැ. ප්‍රායෝගිකව බලන විට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නීතිය ගෙන එන බවට මෙහි තිබුණා. ඒක 2019 දි අපි අවසන් කළ නීතියක්. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් අපි ඉල්ලා තිබුණා. ඒ ගැන වචනයක්වත් තිබුණේ නැහැ. හොරු අල්ලන එකක්වත් වෙයි කියලා මට නම් පෙනුණේ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා (පො.ජ.පෙ.)

ජනතාව බලාපොරොත්තු වන විදියේ මහා සහන ආර්ථිකයකට යා හැකි වාතාවරණයක් රට තුළ නැහැ. මේ ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ යටතේ හෝ රටේ ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි දිය හැකි උපරිම දායකත්වය ලබා දෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ.)

ඉතාම අමාරුවෙන් කළ යුතු දේවල් කරන්න අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අයි.එම්.එෆ්. කියන දේම කරන්න ඕන නැහැ. ආණ්ඩුව විසින් තමන්ගේ සැලැස්ම හැදුවා නම් අපට ඉදිරිපත් කරන්න කියලා කීවා. ඒක තවම ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ ආණ්ඩුව සැලැස්මක් හැදුවාද නැද්ද කියලා. මෙරට ප්‍රතිසංස්කරණ ගැන කතා කරන විට ප්‍රායෝගිකව එය ඉදිරිපත් කළ කෙනෙක් තමයි ආර්. ප්‍රේමදාස මහතා. ජනාධිපතිවරයා මේක ඉදිරිපත් කළාට මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කර එය ඉදිරිපත් කරන්න ඇති කියලා මම හිතනවා.

විදේශ රැකියා හා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර මහතා

මිනිසුන් රටේ වෙනසක් ඉල්ලුවා. ඒ වෙනස තමයි මේ ලබාදෙන්නේ. රටේ ආර්ථික ප්‍රශ්න තිබුණත් ජනතාවට සුබසාධනය ලබා දීමටත් අයවැයෙන් පියවර ගෙන තිබෙනවා. නැති බැරි මිනිසුනුත් යම් තැනකට ඔසවා තබා ගන්නා ලෙස සිදු කරන වැඩපිළිවෙළක් විදියට තමයි මෙය ඉදිරිපත් කර තිබෙන්නේ. රට තිබුණු තැනින් පියවරක් හෝ ඉදිරියට ඇවිත් තිබෙනවා. තෙල්, ගෑස්වලට පෝලිමේ සිටි, කන්න නැති වෙයි කියලා බියක් ඇති වූ අවස්ථාවක ඒවා සමථයකට පත් කර ගැනීමට හැකි වී තිබෙනවා. මේ තත්ත්වයෙන් රට පවත්වාගෙන ගියොත් 2023 පමණ වන විට ලෝකයේ හොඳ රටක් බවට ලංකාව පත් කරන්න පුළුවන්. මේ අයවැයේ සුන්දර කතා නැහැ. ලොසින්ජර් කතා නැහැ. තිත්ත ඇත්ත යථාර්ථය ඇතුළත්ව කළ හැකි දේවල් මේ අයවැයෙන් කතා කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ.)

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා අයවැයෙන් රාජපක්ෂ මහත්වරු මෙතෙක් කල් රටට කළ දේ එතුමා නොකියා කීවා. රාජ්‍ය සේවාව දඩයම් කළ ආකාරය මෙමඟින් කියැවෙනවා. මේ කියවූ අතුරු අයවැය විදියටම රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගනියි කියලා අපි හිතනවා. රටේ ජනතාව ගොනාට අන්දවා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරන්න ඇතැමුන් සූදානම් වෙන බවට අපි හඳුනා ගෙන තිබුණා. රුපියල් 20000 ක් ගැබිනි මවුවරුන්ට දෙනවා. එය රුපියල් 2500 කින් වැඩි කරනවා කියලා අමූලික බොරුවක් පසුගිය කාලයේ කළා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් මහතා (පො.ජ.පෙ.)

ජනාධිපතිවරයාට අපි සහාය දුන්නා. ඉදිරියටත් රට හොඳින් කරයි කියලා අපි හිතනවා. ග්‍රාමීය ජනතාව වගා කරන දේවල් ප්‍රවාහනයට පහසුකම් සපයන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. රටේ තිබෙන ප්‍රශ්නත් සමඟ හෙමින් තමයි ඉදිරියට යා හැකි වන්නේ.

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

ඉතාම අවදානම් සහිත අවස්ථාවක ඉදිරිපත් කරන අයවැයක් ලෙස මේ අයවැය හඳුන්වන්න පුළුවන්. රටක් ලෙස රට බේරා ගැනීම සඳහා වන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. පීඩාවට පත් වන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා. පනත් රැසක් සංශෝධනය වෙනවා. සීනිබෝල අයවැයක් නොවේ මේක. තාක්ෂණික කරුණු ඇතුළත්ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන රාජ්‍ය මූල්‍ය උපක්‍රම සඳහන් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය කරනවා. ඉදිරි වසර දෙක තුනක් ගත වන තෙක් ප්‍රාථමික ගිණුමේවත් අතිරික්තයක් ඇති කර ගැනීමට පුළුවන් තත්ත්වයක් නැහැ. රජයේ සේවාවේ වැටුප් ගෙවීම, සහනාධාර දීම යනාදිය වෙනුවෙන් අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී පිළියම් 4 ක් තිබෙනවා. ඒ පිළියම් හතරට අදාළව අයවැය ඉදිරිපත් කර තිබෙනවා. රජයේ ආදායම වැඩි කර ගැනීම, රජයේ වියදම් හැකිතාක් අඩු කර ගැනීම, රට තුළට ගලා එන විදේශ ආදායම් වැඩි කර ගැනීම, රටින් පිටට ගලා යන විදේශ විදයම් ප්‍රමාණය අඩු කර ගැනීම යනාදි අරමුණු අනුව ඉදිරි කාලය තුළදී රුපියල් බිලියන 3 ක්වත් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේ නැත්නම් රට ගොඩගන්න නොහැකි වෙනවා. ඒකට අදාළ අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්ව විද්‍යාල සහ වෙනත් ව්‍යවසායක ක්ෂේත්‍රවල ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙයි කියලා මම හිතනවා.

පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය (ජා.ජ.බ.)

මාස හයකට පෙර ගත් තීරණ දැන් ආණ්ඩුව වෙනස් කරනවා. යෝජනා පමණක් නොව ඒවා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුවෙන්ම අයවැය කතාවට පැමිණි ප්‍රතිචාර සීතල ප්‍රතිචාර. ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීම තමයි ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයට බලපාන්නේ. පසුගිය ආණ්ඩු සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල්ම තමයි මෙවරත් ඉදිරිපත් කර තිබෙන්නේ. අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙමඟින් උදා කර දී තිබෙනවා. ඒකට අපිට විරුද්ධ වෙන්න බැහැ. ඊට පෙර මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි.

විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා

සටන් පාඨ වෙනුවට රට ඉදිරියට යාමට නම් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම සහ පසුබිම සකස් කර තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ හේතු කරගෙන ඇතැම් විට පීඩිත ජනතාව වෙනුවෙන් සමාජ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුයි. සුබසාධනය සහ නිකං දෙනවා කියලා එකක් නැහැ. එකක් නිකං දෙනකොට අනිත් පැත්තෙන් තව දෙකක් අල්ලා ගන්නවා. දීර්ඝ කාලීන ආර්ථික පසුබිමකට මෙමඟින් අවස්ථාව සලසනවා කියලා අපි හිතනවා. මේ පවතින වාතාවරණය තුළ ඉදිරිපත් කළ හැකි හොඳම ආර්ථිකයක් කියලා තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

කාලීන වශයෙන් අවශ්‍ය සාධනීය ලක්ෂණ තමයි මීට ඇතුළත් කරලා තිබෙන්නේ. මේ මොහොත සංවර්ධන කටයුතුවලට යන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. රට ආර්ථික වශයෙන් දැවැන්ත ලෙස කඩා වැටුණු අවස්ථාවක්. එම නිසා පුළුවන් තරම් ප්‍රාග්ධන වියදම් අඩු කරලා. ජනතාව ජීවත් කිරීම සඳහා අවශ්‍ය සහන ලබා දිය යුතුයි. ඒ සඳහා තමයි මෙම අයවැය ඉදිරිපත් කළේ. ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරද්දි තව තවත් අධ්‍යනයන් කරලා ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. රාජ්‍ය අංශයේ වංචාව දූෂණය අකර්මණ්‍යතාවය නිසා රටේ ජනතාවට අහිමි වන සම්පත් ඉතාමත් විශාලයි. ඒ නිසා මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්වලට අනුව වංචා වැලැක්වීමේ දූෂණ විරෝධී පනත, වත්කම් බැරකම් පනත නීති කෙටුම්පත් සකස් කරලා තිබෙන්නේ. ඉදිරි සති කිහිපය ඇතුළත සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා.

ස්වර්ණා විජේකෝන්

නුවන් කොඩිකාර

සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *