ගාන්ධිලා, මැන්ඩෙලා අවශ්‍ය කාලෙක අපි හදන්න යන්නෙ රම්බෝලා, ස්වසනගර්ලා, සලමන් කාන්ලව – ග‍්‍රන්ථ කර්තෘ චූලානාන්ද සමරනායක

ලංකාවේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියේ තියෙනව කිසියම් පුද්ගලයෙක් රජයේ කාර්යාලයකට තමන් එවන ලිපියක ඇති භාෂාවකින් පිළිතුරු ලබා ගන්න අයිතියක් තියෙනව කියල. නමුත් ඒක ඉතාමත් අඩුවෙන් භාවිතා වෙන්නෙ.  බොහෝවිට ද්‍රවිඩ සහෝදරයෙක්, සහෝදරියකට තමන් එවන භාෂාවෙන් පිළිතුරු ලබා ගැනීමට අවස්ථාවකි නැති ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක තමයි තවමත් අපි ඉන්නෙ. පුද්ගලිකව මමත් ඒකෙ වැරදි කාරයෙක් විදිහට දකිනව. මටත් තවම අපේ සහෝදර ජාතියක් වන ද්‍රවිඩ ජාතියෙ භාෂාව කතාකරන්න පුළුවන් කමක් නැහැ.
ඒ නිසාම තමයි තමළිනිගේ කෘතිය සිංහලෙන් කියවන්නට සිද්ධ වෙලා තියෙන්නෙ. කාරණා කිහිපයක් මූලික වශයෙන් කතා කළ යුතුයි කියල මම හිතනව. තමලිනීගේ කෘතිය දෙමළ බසින් පළවෙන්නෙ ලංකාවේදී. එකට මැදිහත් වුනේ ජයම්පති සහෝදරයා. ඒ කෘතිය කිලිනොච්චියෙදි එළිදක්වන්න ගිහිල්ල ලබපු කටුක අත්දැකීම් ජයකුමාර සතුව තියනව. ඒ අවස්ථාවේදී කලාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු පිරිසක් මැදිහත් වෙලා තමයි එම කෘතිය අවහිරයකින් බාධාවකින් තොරව එළිදැක්වීමට හැකි වුනේ.
කණගාටුදායකම තත්ත්වය තමයි යුද්ධය ඉවරවෙලා සංවත්සර පවත්වන රටක තවමත් නිදහසේ ප‍්‍රකාශනයක අයිතියට වැට බැඳෙන තැන් තිබීම. කොහොම නමුත් කිලිනොච්චියේ දී දෙමළ කෘතිය එළි දැක්වීම සිදුවුනා. පසුගිය මැයි 12 වෙනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ප‍්‍රධාන ශාලාවේදී අතුරු සිදුරු පිරී ගිය මිනිසුන් රාශියකගෙ සහභාගීත්වයෙන් එම කෘතියේ සිංහල පරිවර්තනය ‘තියුණු අසිපතක සෙවන යට’ නමින් එළිදැක්වුණා. මම මිනිසුන් කියා හැඳින්වුයේ ඔවුන්ව රසිකයන්, පාඨකයන් කියා හඳුන්වනවාට වඩා ගැඹුරු අර්ථයකින්. එවන් මිනිසුන් රාශියක් මැද්දේ මෙම කෘතිය ඉතාමත් චාම් ඉතාමත් අභිමානවත් අන්දමින් එළිදක්වන්නට යෙදුනා.
තමලිනී දිවියෙන් සමුගත්තේ මේ අපේක්‍ෂා රෝහලේ දී. මේ කෘතිය පිළිබඳ කතා කළ යුතු කාරණා කිහිපයක් තියෙනව. ඇගේ ප‍්‍රයත්නය පිළිබඳ කතාකළ යුතු කාරණා කිහිපයක් තිියෙනව. ඒ වගේම ලංකාවාසීන් හැටියට මේ ප‍්‍රශ්න දිහා බැලියයුතු ආකාර කිහිපයක් තියෙනව. මේ අවුරුද්දේම නොබෙල් ත්‍යාගය ලබපු පුද්ගලයෙක් සමු ගත්ත අවුරුදු අසූගණනෙදි ඒ ‘ඉජසන්’ කියන පුද්ගලයා. ඔහු යුදෙව් ජාතිකයෙක්, ජර්මන් නාසිවාදී ගොදුරක් බවට පත්වෙලා අවුරුදු 14දි තමන්ගේ පියාත් එක්ක සැතපුම් දහස් ගණනක දීග_ පාගමනක යෙදෙනව. ඔහු තමන්ගෙ පියාත් එක්ක ගිහිල්ල ගිහිල්ල ‘අවුට් සිට්’ කියන ඉතාම භිහිසුණු කඳවුරේ දී තමන්ගෙ ජීවිතේ ගලෝගෙන යුද්ධය නිමා වන විට ඔහු සාමාන්‍ය ජීවිතයකට කඳවුරෙන් එළියට පා තබනව. ඔහු තමන් ජීවිතේදී ලබපු ඉතාමත් කටුක අත්දැකීම් රචනා කරනවා ‘නයිට්’ (රාත‍්‍රිය* කියන නමින්. මේ කෘතිය තුළ ඔහු කිසිම තැනක උත්සාහ කරන්නෙ නෑ නාසි වාදීන් කෙරේ බද්ධ වෛරයක් පළ කරන්නටවත්, තමන්ගේ ප‍්‍රජාව කෙරේ අසීමිත පේ‍්‍රමයක් පළ කරන්නටවත්. ඔහු සමස්ථ කෘතිය පුරාම උත්සහ කරන්නෙ බොහොම අවංකව යුද්ධයට එරෙහිව. ඔහු කියනව අවුට් සිට් කඳවුරේ ඉඳල, තවත් කඳවුරකට යද්දි තමන්ගෙ තාත්තා පාර මැද්දෙ කලන්තෙ දාලා ඇදගෙන වැටුණ කියල. ඇදගෙන වැටුණ හැම මිනිහෙකුටම නාසීන් වෙඩිතියල මරණව. ඒ වගේ වෙලාවක තාත්ත ඇදගෙන වැටුණම මට හිතුණ ‘තාත්තා මළා නම් මට මේ කරදරයක් නෑනේ’ කියල. පස්සෙ මම දෙවියන් වහන්සේට යාඥාකළා ‘මම මොනතරම් කෲර මිනිහෙක්ද? මම මේ මොනවද කල්පනා කළේ, මම මගේ තාත්තගෙ මරණය අපේක්‍ෂා කළා නේද’ කියල. ඔහු ඒ විදිහට ස්වයං විවේචනයක යෙදුණ පුද්ගලයෙක්.
තමන්ගේ ජීවිතය දශක ගණනාවක් අති අමානුෂික යුද්ධයකට වැය කරපු සහෝදරියක්, කාන්තාවක් ඒ යුද්දෙ අවසානයෙන් පස්සෙ දීග_ වෙහෙසකර පා ගමණකින් ගිහිල්ල මහා විනාශයක් අත් විඳල, තමන්ගෙ සහෝදර සහෝදරියො, දෙමාපියො, කුඩා දරුවො මැරී වැටෙනව. මහා විනාශක් අත්දැකපු කාන්තාවක් එක්තරා විදිහක අවලෝකනයක යෙදෙනව  තමන්ගේ ජීවිතය, තමන්ගෙ පරිසරය, තමන්ගෙ රට පිළිබඳව. මේ කෘතිය විවිධ කෝනවලින් විවිධ අය බලනව. අපිට මේ කෘතිය පිළිබඳව සංවාදය කරපු තැන් තැන් වලදි අහන්න ලැබුණ විවිධ කාරණා තියෙනව. වැඩි පිරිසක් මේ කෘතිය ඉතාමත්ම හොඳ හිතකින් කියෙව්ව කියල හිතෙනව. හොරණ අපි තියපු සම්මන්ත‍්‍රණයකින් පස්සෙ පානදුර රෝහලේ වෛද්‍යවරියක් මට කතා කරල කියපු දේ තමයි ‘මගෙ ජීවිතයේ දී මම කියවපු හොඳම පොත් කිහිපයෙන් එකක් මේක’ කියල. මේක ඇතුළෙ මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව. මට ඒකම එක දෙයක් හිතට කා වැදුණ. ‘අනේ මේ කෘතියට ලැබෙන ප‍්‍රතිචාර බලා ගන්න තමළනී ජීවතුන් අතර නැහැ නේද?’ කියල.
ඇගේ ජීවිතය බේරගන්න සෑහෙන වෙහෙසක් දරපු වෛද්‍ය මහේන්ද්‍ර පෙර්රා මහතා ඇතුළු ඒ වෛද්‍ය කණ්ඩායමේ සෑහෙන පිරිසක් මෙතන ඉන්නව. ජාති, කුල මේ කිසිවක් නොතකා මේ ශ‍්‍රී ලාංකික දියණිය වෙනුවෙන් මහත් කැපකිරීමකින් වැඩ කරපු මේ රෝහලේ කාර්ය මණ්ඩලයට අපේ කෘතඥතාවය පළ කළ යුතුයි. අපිට ජීවිතේ ගැන ඉගෙන ගන්න මීට වඩා දෙයක් නැහැ. අපි ජීවත් වෙන්නෙ අමුතු ලෝකෙක. අපි ජීවත් වෙන සමාජය පිළිබඳව අපි කවුරුත් සතුටින් නෙමෙයි ජීවත් වෙන්නෙ. අපිට ගාන්ධිලා, මැන්ඩෙලා අවශ්‍ය කාලෙක අපි හදන්න යන්නෙ රම්බෝලා, ස්වසනගර්ලා, සලමන් කාන් ලා තමයි අපි හදන්න යන්නෙ. ඒ නිසා තමයි පාසල් වෙනුවට ෆිට්නස් සෙන්ටර් වැඩිපුරම හැදෙන්නෙ. මට තමකයි හොරණ රෝහලට ගියහම එහි භෟතික චිකිත්සක අංශයේ ප‍්‍රධානියා කියපු දේ. ඔහු කිව්වෙ ‘මගේ අංශයට එන්නේ ෆිට්නස් සෙන්ටර් වලින් යකඩ කාලා දිරව ගන්න බැරිවුන’ අය කියල. ෆිටනස් සෙන්ටර් වැඩි කරගන්නව, පාසල් වැඩි කරගන්නව වෙනුවට.
මේ කෘතිය පිළිබඳව යම් යම් අදහස් විවිධ කණ්ඩියම් අතර තිබුණ. සමහරු කියනව තමළිනී සිය කෘතියෙන් යුද්ධයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් ගැන කතා කෙරුවෙ නෑ කියල. සමහරු කියනව මෙහි යුධමය අත්දැකීම් පිළිබඳ කතන්දරය මතු වෙන්නෙ නැහැ කියල. නමුත් මම හිතනව තමළිනීගේ අරමුණ වුණේ මේ කිසිවක් සඳහා නෙමෙයි. යුද්ධයේ තියෙන අමානුෂික ක‍්‍රියාදාමය හා තමන්ගේ ප‍්‍රජාව ගැන කතා කිරීමයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *