|

රනිල්, ඩලස් අනුරපුරේ ; සජබ අමාරුවේ 

 

අනුප්‍රාප්තික ජනාධිපති තනතුර සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයට තරග කළ අපේක්ෂකයින් තිදෙනාට ම පසුගිය සති අන්තය ඉතා ම වැදගත් වූ බව පෙනෙන්නට තිබිණි. එසේ වුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන  තිදෙනා ම තම අනාගත වැඩ සටහන් දියත් කිරීමේ වැදගත් ආරම්භයක් ගැනීමට සති අන්තය යොදාගෙන තිබීම නිසා ය. 20 දා, සෙනසුරාදා දිනය ඔවුන් තිදෙනාට ම වැදගත් වූ දිනයක් බවට පත්ව තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනාධිපති ඡන්දයේ ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමත් 20 දා සෙනසුර දා ගත කළේ අනුරාධපුරය පුජා නගරයේ ය. දෙපාර්ශවයේ ම ප්‍රකාශිත ප්‍රධාන අරමුණ වී තිබුණේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම යි.

රනිල් අනුරාධපුරේ

රනිල් වික්‍රමසිංහ මහතාට මෙය මෙම වර්ගයේ දෙවැනි සංචාරය වී ය. මීට සති දෙකකට පෙර ඔහු මහනුවරට ගොස් දළදා වැඳ මහ නා හිමිවරුන් බැහ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

අනුරාධපුරයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මුලින් ශ්‍රී මහා බෝධිය  සහ රුවන්වැලි සෑය වෙත ගොස් වැඳ පුදාගෙන එම විහාරවල නායක හිමිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය. පසුව ඒ මහතා ප්‍රදේශයේ සියලු ප්‍රධාන විහාරස්ථාන වෙත ගියේය. ථුපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, අබයගිරිය, ඉසුරුමුණිය ආදී සියලු පුජනීය ස්ථාන වැඳ එම විහාරස්ථාන භාර නායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීමට වික්‍රමසිංහ මහතා ක්‍රියා කළේය.

එදින සවස අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමකට ජනාධිපතිතුමා සහභාගී වී ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ද, ප්‍රාදේශීය දේශපාලඥයෝ  සහ රජයේ නිලධාහු  ද මෙම රැස්වීමට සහභාගී වී සිටියෝය.

රටේ ආර්ථික තත්ත්වය මෙන් ම, මුහුණ දීමට තිබු ආහාර අර්බුදය ගැන කතා කළ ජනාධිපතිතුමා කීවේ යල් කන්නය යම් පමණකට සාර්ථක කරගත් නිසා බරපතළ ව්‍යසනයෙන් මිදෙන්නට හැකි වූ නමුත් සම්පුර්ණයෙන් ගොඩ යාමට ඉදිරි මාස් කන්නය සාර්ථක කර ගැනීම අවශ්‍ය බව යි.

සෑම ගමකට ම රජයේ නිලධාරීන් නව දෙනෙකු සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කීවේ මෙම නිලධාරීන් ග්‍රාමසේවා කොට්ඨාසවල සියලු ඉඩම් වගා කිරීමට පියවර ගත යුතු බව යි. නිලධාරීන් වැඩ කළ යුතු බවත්, බැරි නම් ඉවත්ව යා යුතු බවත් කී ජනාධිපතිතුමා කීවේ නිකම් කන්න දෙන්න බැරි බව යි. තමන් මෙම ප්‍රශ්න විසඳුවේ නැති නම් තමන්ට ද ගෙදර යන්න වන බව ද, රනිල් වික්‍රමසිංහ මහතා එහි දී පැවසීය.

ඉරිදා දිනයේ මිහින්තලේ පුදබිමට ගොස් වැඳ පුදාගත් ජනාධිපතිතුමා මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන් ද බැහ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඩලස් අනුරාධපුරේ

අනුරාධපුරයේ සංචාරය කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස් , මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, ආදීහු එක්ව සිටියහ. මෙය ඔවුන් හඳුන්වා දුන්නේ රටට නව දේශපාලන ව්‍යාපාරයක් හඳුන්වා දීමේ අවස්ථාවක් වශයෙනි. මෙම කණ්ඩායම ඉදිරියේ දී වෙන ම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීමේ ආරම්භයක් ලෙස මෙම ගමන පෙනෙන්නට තිබිණි.

ප්‍රදේශයේ දේශපාලඥයින් ,ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයින් හමු වී කළ සාකච්ඡා ගණනාවක් ද මෙම වැඩ සටහනට එක් කොට තිබිණි. ප්‍රදේශය ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිකයන් සමග කළ සාර්ථක සාකච්ඡාව පිළිබඳව මෙම කණ්ඩායම ඉමහත් සතුටට පත්ව සිටියහ.

ජවිපෙ නුගේගොඩ

පසුගිය කාලයේ පැවති අරගලයේ වියවුල්වලින් සහ දේශපාලන පෙරළිවලින් පසු,  ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ද කල එලි බැසීමක් සංවිධානය කොට තිබුණේ නුගේගොඩ නගරයේ පැවති දැවැන්ත රැලියකිනි. ගංගොඩවිල විජේරාම මංසන්ධියේ සිට පෙළපාලියකින් නුගේගොඩ නගරය වෙත පැමිණි එම පක්ෂ ක්‍රියාකාරීහු රැලියට සහභාගී වුහ.

පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා රැලිය අමතමින් කීවේ නිවැරදි නායකත්වයක් නොමැති වූ නිසා අරගලය අර්ධ ජයග්‍රහණයකින් අවසන් වූ බව යි. එම අරගලය දැන් අවසන් බව කී දිසානායක මහතා කීවේ දැන් නැවතත් රජය සමග සටන් බිමේ සිටින්නේ තම පක්ෂය පමණක් බව යි. අන් සියලු බලවේග අරගලය සමග අවසන් වී ඇති බව ඒ මහතා කී කතාව යි.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක්  සහ පාලනයක් පිලිබඳ සාකච්ඡා ද දිග්ගසෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීම වී ඇත්තේ පාර්ලිමේන්තුවේ  බහුතරය වූ තමන්ට ඇමති මණ්ඩලයේ බහුතරය ද අවශ්‍ය බව යි. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ , ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේ එම ප්‍රශ්න පිළිබඳව ය. එහි දී ඇමතිකම් ලබා දිය යුතු අයගේ ලැයිස්තුවක් ද ඉදිරිපත් කළ නමුත් එහි ඇතැම් නම් පිළිබඳව ජනාධිපතිගේ අකමැත්ත ප්‍රකාශ වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ, වැඩ කළ හැකි සහ පිළිගැනීමක් සහිත  ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා ම වැදගත් කාරණය වන බව යි.

සජබ අමාරුවේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ප්‍රශ්නයේ දී බරපතළ අමාරුවක වැටී සිටින්නේ සමගි ජන බලවේගය බව පෙනෙන්නට තිබේ. පක්ෂයක් ලෙස ඇමති ධුර ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයක සිටිය ද, එහි ඇතැම් ප්‍රබලයින් තමන්ට ඇමැති ධුර ලබා ගැනීමට කැමැත්තෙන් ඒ සඳහා සාකච්ඡා කරමින් සිටීම එයට හේතුව යි. තම පක්ෂය ඇමති ධුර භාර නොගන්නා බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත නැවත කියන්නේ ඇතුළේ ගැටුම උග්‍ර නිසාය යන්න දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය යි. ඇමති ධුර වෙන්දේසියක්, මස් කටු ලබාදීමක්,  මෙන්ම  මුදලට මන්ත්‍රීවරුන් ගන්න හදන බව ද කියමින් තම පක්ෂයේ පිරිස් ඇමති ධුර ලබා ගැනීම අධෛර්යමත් කිරීමේ උත්සාහයක සජිත් ප්‍රේමදාස මහතා යෙදී සිටින බව පැහැදිලි කාරණයකි.

සමගි ජන බලවේගය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීම ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර 22 දා, සඳුදා පැවතියේ මෙම තත්ත්වය යටතේ ය. එහි දී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ තම පක්ෂයේ කිසිවකුට ඇමති ධුර ලබා නොදෙන ලෙස යි. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සියල්ලෙහි සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ ය. මෙම අධීක්ෂණ කමිටු ක්‍රමය මගින් සර්ව පාක්ෂික පාලනයකට සහය දීමට තම පක්ෂය සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේ ය.

ර්හෂ මුදල් කාරක සභාවට

මේ අතර පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා සඳහා පත්කිරීම් ද මේ වන විට සිදුවෙමින් පවතියි. රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමිව තිබීම එහි දී කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.

අධීක්ෂණ කාරක සභා පත්කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම යි. ඔවුන් කියන්නේ තම කණ්ඩායම සියලු කමිටුවලින් ඉවත් කරමින් පලි ගැනීමක යෙදී සිටින බව යි. කෝප් කමිටුවේ සභාපතිව සිටි මහාචාර්ය චරිත හේරත් මහතා ඉවත් කිරීම කැපී පෙනෙන  පලිගැනීමක් බව එම කණ්ඩායම කියයි.

ඩලස් අලහප්පෙරුම මහතා මේ පිලිබඳ තම විරෝධය ප්‍රකාශ කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමිනි. කෙසේ වෙතත්, එම ලිපියේ අරමුණ, නැති වූ තනතුරු ලබාගැනීම නොවන බව සහ මෙම අප්‍රසන්න ක්‍රියාවට විරෝධය පළ කිරීම පමණක් බව ද එම ලිපියේ සඳහන් කොට තිබේ.

පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව පක්ෂ දහයේ කණ්ඩායම ලෙස ක්‍රියාත්මක වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කණ්ඩායම ද වෙන ම දේශපාලන පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කොට ඇත. සැප්තැම්බර් 4 දා මහරගම තරුණ සේවා සභා ශාලාවේ පවත්වන සමුළුවකින් මෙම පෙරමුණ කල එලි බැසීම සිදු කිරීමට නියමිත ය. සංවිධානයේ සභාපතිත්වය සඳහා විමල් වීරවංශ මහතා තෝරාගෙන ඇති බව මේ වන විටත් ප්‍රකාශිත ය.

පොහොට්ටු සම්මේලන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි. ලබන මාසයේ එම පක්ෂයේ සම්මේලනය පැවැත්වීමට මේ වන විට තීරණය කොට තිබේ. පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දුන් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂ සභාපති තනතුරින් ඉවත් කිරීම ඇතුළු තීරණ රැසක් එහි දී ගැනීමට නියමිත ය.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක වූ තවත් කරුණක් වුයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමට සැලසුම් කිරීම යි. රාජපක්ෂ පවුලේ ඥාතියකු වූ උදයංග වීරතුංග මහතා මෙම තොරතුර මුලින් හෙලිදරව් කරමින් කීවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 24 දා පැමිණෙන බව යි. කෙසේ වෙතත්, එම දිනය වෙනස් වුවත්, හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණීමට සැලසුම් කරන බව මේ වනවිට තහවුරු කොට අවසන් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සඳුදා පැවති සාකච්ඡාවේ ද ප්‍රධාන මාතෘකාවක් බවට ඉහත කරුණ පත්ව තිබිණි. එහි දී බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන් කීවේ හිටපු ජනාධිපතිවරයාට ආපසු මෙරටට පැමිණීමට අවස්ථාව සලසා දීම තමන් ජනාධිපතිවරයාගෙන් කරන ප්‍රධාන ඉල්ලීම බව යි.

කෙසේ වෙතත්, මේ පිලිබඳ ජනාධිපතිවරයා බුද්ධි අංශවලින් කළ විමසීමේ දී ලැබී ඇත්තේ එතරම් යහපත් තොරතුරු නොවේ. ඇතැම් අන්තවාදී ක්‍රියා පිලිබඳ වාර්තා ලැබීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවෙස පිහිටි ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යෙදීමට ද කටයුතු කොට තිබේ.

අන්තර් ජාල සම්බන්ධයක් ඔස්සේ හිටපු ජනාධිපති ඇමතු රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඒ මහතාගේ ආපසු පැමිණීම සුළු කාලයක් ප්‍රමාද කරන ලෙස යි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ගාලු මෝදර “ගෝඨා ගෝ ගම “ අරගල භූමියට පහර දුන් බවට චෝදනා ලබා අධිකරණයේ ඇප මත නිදහස්ව සිටින සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමුතු කතාවක් කීවේ ය. ඔහු කීවේ තමන් අරලියගහ මැදුරේ සිට සන්දේශයක් රැගෙන ජනාධිපති මන්දිරය වෙත යමින් සිටිය දී අරගලකරුවන් තමන්ට පහර දුන් බව යි. සංදේශය තිබුනේ තම සාක්කුවේ බව ද ඔහු ප්‍රකාශ කළේය.

එදින ම පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් මේ ගැන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අදහස විමසීය. ඒ මහතා කීවේ ඡායාරුප අනුව සනත් නිශාන්ත මහතා යන්නේ පොල්ලක් අරගෙන බව යි. ඔහු සංදේශය රැගෙන ගියේ පොල්ලක ඔතාගෙන දැයි ටිල්වින් සිල්වා මහතා ප්‍රශ්න කළේය.

ගෝඨාගෝගම ප්‍රහාරය සම්බන්ධ නඩුව බදාදා කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබීය. එහි දී හෙළිදරව් වුයේ අධිකරණයෙන් පෙර දින නියම කළ පරිදි තම ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට සනත් නිශාන්ත, මිලාන්  ජයතිලක, සහ ඩෑන් ප්‍රියසාද් යන සැකකරුවන් ක්‍රියා කොට නැති බව යි. වහාම දුරකථන භාරදෙන ලෙස සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත් තුමා දුරකථන භාරදෙන තෙක් සැකකරුවන් රඳවා ගන්න ලෙස පොලිසියට නියෝග කළේය.

අයි එම් එෆ් එයි

ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක සාකච්ඡා මාලාවක් බදාදා ආරම්භ වී ය. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර මේ වටයේ සාකච්ඡා බදාදා උදේ ආරම්භ වුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් සමග සාකච්ඡාවකිනි. එදින ම සවස නියෝජිත කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වුහ. නියෝජිත පිරිස ලබන 31 දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ සම්මුතියක් ඇතිකර ගත හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගැනීම යි. එහි දී මෙරට ද්වි පාර්ශ්වික ණය අතුරින් සියයට 44 ක් හිමි චීනයේ ස්ථාවරය බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව කියති. කෙසේ වෙතත්, ජපානයේ ‘ නිකේ ඒසියා ‘ සඟරාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කොට ඇත්තේ චීන ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව චීන රජයට දැනුම් දුන් බව යි.

වත්මන් දේපාලන, ආර්ථික තත්ත්වය පිලිබඳ සමගි ජන බලවේගය බදාදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හසීම් මහත්වරුන් සහභාගී වුහ. ඔවුන් ප්‍රකාශ කළේ අර්බුදයෙන් ගොඩ යෑමට ප්‍රතිසංස්කරණ අවශ්‍ය නමුත් එයින් පීඩාවට පත්වන දිළිඳු ජනයාට මුදල් සහනාධාර ලබාදීමේ සැලැස්මක් ඉක්මනින් අවශ්‍ය බව යි.

මේ අවස්ථාවේ දී ජනප්‍රිය දේ නොව ජනතාවට තිත්ත ඇත්ත කීම අවශ්‍ය බවත්, දේශපාලඥයින් පමණක් නොව ජනමාධ්‍යය ද ඇත්ත කීමට කැපවීම අවශ්‍ය බවත්, කබීර් හෂීම් මහතා එහි දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා බදාදා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු වුයේ අරගලකරුවන් මර්දනය පිලිබඳ ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනවට පිළිතුරු දීම යි. සාමකාමී අරගලකරුවන්ට එරෙහිව පියවර නොගන්නා  බව කී අබේවර්ධන  මහතා කීවේ  එම අරගලය ප්‍රචණ්ඩ කිරීමට කටයුතු කළ පිරිසක් දේපළ 613 කට  හානි සිදු කර ඇති බව යි. එම ක්‍රියා පිළිබඳව විමර්ශන කොට පියවර ගැනීම රජයක් විසින් කළ යුතු බව කී අබේවර්ධන මහතා කීවේ ඒ සඳහා උපයෝගී කරගන්නා නීති ලොව පුරා ඇති එබඳු නීති හා සමාන වන බව යි.

සී ජේ

දේශපාලන සතිය

අනිද්දා

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *