නව ලිබරල්වාදය අවසන්, රනිල් යන්නේ වෙළඳපොල ධනවාදයටය- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

නව ලිබරල්වාදය අපේ රටේ පමණක් නොව පැහැදිළිවම ලෝකය පුරාම අර්බුදයට ගොස් ඇත. ජාත්‍යාන්තර ධනවාදය විසින් ම එය ඉදිරියට ගෙනයෑමට නොහැකි බව තේරුම්ගෙන තිබේ. ඒ නිසා දැන් නව ලිබරල්වාදය කියන පදනමේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කථාකරන්නේ නැත. ඒ අය මීට පෙර පැවසුවේ ඒ අය කියන සියලුම දේ ඉටුකළයුතු බවය. එහි දී එයට විරුද්ධවන අයට තුවක්කු ගෙන වෙඩි තියන්න ලෙස අණ කළේ ය. ඒ ඇරෙන්නට කරන්නට දෙයක් නැති බව ද ඔවූ හූ පැවසූ හ. එහෙම කළ පරිච්ඡේදයක් තිබුණි. එපමණක් ද නොව ඒ තුළින් ධනවාදි සංවර්ධනයක් වූ බව ද පැවසුවේ ය.
නමුත් 2008 අර්බුධයෙන් පසු ඇමෙරිකාවේ ම ලාභ රේට්ටුව බින්දුවට ම අඩු වී ඇති තත්ත්වය තුළ ලාභ රේට්ටුව, එසේ නැතිනම් අතිරික්ත අගය ගැන කථා කරන්නටවත් අද ඒ අය කැමති නැත. මක්නිසාද යත් මාක්ස්ගේ විවරණය නිවැරදි බව සාකෝසි පවා පිළිගත් හ. ඒ නිසා දැන් නව ලිබරල්වාදය පසුබැසීමත් සමග ම ජර්මනියේ දිගින් දිගටම ක්‍රියාත්මක වූ ධනවාදි සමාජ වෙළඳපොල කියන සංකල්පය මත පදනම්ව ඉදිරියට යන්නට උත්සාහ දරමින් සිටී. ප්‍රථමයෙන්ම එය හඳුන්වා දුන්නේ බිස්මාර්ක් ය. බිස්මාර්ක් ගේ ඒ මතය පසුකාලයේ දී ජර්මනියේ බලයට පත් වූ පාලකයෝ ද එය ඉවත නොදැමීමට වගබලා ගත් හ. ඒ අනුව ඒ මත පදනම්ව තමයි ඒ රටේ ධනවාදය ඔවුන් සාර්ථක ලෙස රැකගත්තේ. ඒ අය දැන් කියන්නේ ලාභ රේට්ටුව පහත වැටීම සැළකිල්ලට ගෙන අර කී සංකල්පය මත ධනවාදය ඉදිරියට ගෙන යා හැකි බව ය. එහි දි වන්නේ සුළු නිෂ්පාදනය ඉතාමත් පුළුල් කිරීම ය. මනුෂ්‍යයාගේ නිෂ්පාදන ශක්තිය පවුල් මට්ටමෙන් සභභාගි කරවාගෙන වැඩි දියුණු කළයුතු බවයි එයින් කියන්නේ. ඒ තුළින් ප්‍රධාන ධනවාදයටත් ලාභයක් ඉතිරි කරගතහැකි බව ඔවූ හු පවසති.
මේක රනිල් වික්‍රමසිංහ ද පිළිගෙන ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. තමා සමාජ ධනවාදියෙක් බව ප්‍රසිද්ධියේ ම එතුමා පවසා තිබේ. ඒ වගේම බලහත්කාරයෙන් මේවා ක්‍රියාත්මක නොකර සාකච්ඡාවෙන් පසු ක්‍රියාත්මක කරන බව ද ඔහු කියයි. එදා ජර්මනියේ බිස්මාක් ද ධනවාදය ක්‍රියාත්මක කළේ ඒ ආකාරයට ය. ඔබ කියන ඕනෑම දෙයක් මට ධනවාදය තුළ කරන්නට හැකි බවට බිස්මාක් එදා මාක්ස්ට ද අභියෝග කළේ ය. විශ්‍රාම වැටුප් දෙන බව ද ඔහු කිවේ ය. වැටුප් රහිත නිවාඩු දෙන බව ද ප්‍රකාශ කළේ ය. නිදහස් අධාපනය හා නිදහස් සෞඛ්‍ය ද ඇතිකරන බවට පොරොන්දු විය. මේ ආකාරයේ සමාජ සංධානයක් තුළ ධනවාදය ගෙන යා හැකි බව පවසමින් ඔහු මාක්ස් සමග ගැටුණේ ය. බිස්මාක් හා මාක්ස් අතර තිබූ එම විවාදය බොහෝ විට සාකච්ඡාවට ගැනෙන්නේ නැත. එය නැවත කියවා බැලිය යුතු වේ. මෙහි දි සමහර අය බිස්මාක්ට රැවටුණි. ඇත්තටම පර්ඩිනන්ඞ් ලසාලේ බිස්මාක්ට රැවටුනි. එමෙන්ම එදා සිටි අරාජිකවාදින් ද මාක්ස්ගේ තර්කයට වඩා බිස්මාක්ගේ තර්කය සාධනිය බව පිළිගත්තේ ය. ධනවාදය සමාජයේ වෙළඳ පොල මත ගෙනියන්නට හැකි බවට ගෙනෙන මේ තර්කය මාර්ක්ස්වාදීන් හැටියට අතර මැදි තත්ත්වයක් බව අපි දනිමු. නමුත් ඒක තමයි දැන් නව ලිබරල්වාදයට වෙනස්ව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන්නේ.
ඒකට එතුමා දැන් අලුත් බෙරවාදනයක් ඉදිරිපත් කර ඇත. ලිච්චවීලා මෙන් සාකච්ඡාකර ඒ මගින් සමාජ වෙළපොල ධනවාදය ක්‍රියාතක්මක කරන බවයි ඔහු පවසන්නේ. අර ජර්මනියේ කෙරුන සාකච්ඡාවට වෙනස්ව ආසියාතික ක්‍රමයට අනුව සාකච්ඡාව අවසන් වන්නේ සම්මුතියක් තුළිනි. වෙනත් විදියකට කියන්නේ නම් මෙය ක්‍රියාත්මක වන්නේ වැඩි ඡන්දයෙන් පරාජය කිරීමෙන් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ද දැන් මේක ම කියන්නට පටන්ගෙන තිබේ. ඔහු ද කියන්නේ එකඟ කරගැනීම සඳහා සාකච්ඡා කරන බව ය. මේක රැවටිල්ලක් නොව ඇත්තටම ඒ අය එය විශ්වාස කරති. මේ වගේ රටක අද වෙනත් උපාය මාර්ගයක් ද නොමැති හෙයින් කම්කරුවෝ යමකට විරුද්ධ වුවහොත් එක වරක් නොව කිහිප වතාවක් වූවත් සාකච්ඡා කරති.
මේ ආකාරයට යමින් ග්‍රාමීය මට්ටමෙන් ආර්ථික සංවර්ධනයක් ඇතිකරන අතරම ඒකට සම්බන්ධ නාගරික මට්ටමෙන් මහා පරිමාණ සංවර්ධන සැළැමක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටිති. ගමට ත්‍රීවීලර් ආර්ථිකයක් හඳුන්වා දෙනවා යන්නෙන් අදහස් වන්නේ ඒක ය. මෙයින් කියන්නට උත්සාහ දරන්නේ ත්‍රීවිලර් එකෙන් යනවා කියන එක නොව ත්‍රිවීලර් මට්ටමෙන් කරන සංවර්ධන රාමුවට ය. දැන් යුරෝපයේ ද මේ සංවර්ධන ආකෘතිය ගැන සාකච්ඡාව ආරම්භ වී තිබේ. ඇත්තට ම අද කුඩා පරිමාණ ධනවාදය නැතිව බහුජාතික සමාගම්වලට මේ සංවර්ධනය ඉදිරියට ගෙනයන්නට පුළුවන් කියන එක බොරු කථාවකි. ඒ අනුව අද ඒ අය කූඩා නිෂ්පාදකයාට ඉඩ ලබා දී තිබේ. ඒ පදනම ලංකාවේ ද ඇති කිරීමටයි රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ දරන්නේ.
ඒ තුළින් යම් ප්‍රමාණයකට වෙනසක් දකින්නට හැකිවනු ඇත. නමුත් ඉදිරියට යන්ට, යන්නට යුරෝපය හා ඇමෙරිකාවේ ධනවාදය බිඳවැටෙන විට ඒකට විකල්පයක් අද අපේ වැනි රටවල හදන්නට ලැබෙන්නේ නැත. දියුණු ධනවාදි රටවල සමාජවාදි විප්ලවයක් ඇතිවීමට පෙළ ගැසෙන්නේ නම් ඒකට සම්බන්ධ වියයුතු ය. නමුත් දැනට මේ ලිබරල්වාදීන් ක්‍රියාත්මක කරන්නට යන සැළැස්මේ දී අපි ඒක සංයුක්ත කළයුතුව ඇත. ඔබලා ග්‍රාමීය සංවර්ධනයක් ඇති කරන්නේ නම්, ගමේ බලය ගමට දෙන ලෙස අපිට ඉල්ලා සිටිය හැක. මේක මේ රටේ වාමාංශිකයින් දිගටම කියූ කථාවකි. ආරක්ෂාව ද ඇතුළත් ආර්ථිකය ක්‍රියාවට නැගිය හැකි සම්පූර්ණ බලතල ඇති ග්‍රාම සභාවක් මේ සඳහා ඇති කළ යුතු ය. පොකුරු ගම්මාන 2000ක් පමණ ඇතිකරන බව ආණ්ඩුව මේ වන විට ද පවසා තිබේ. මතක ඇති නම් සමාජවාදයට යනවා යැයි කියූ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ දී දිස්ත්‍රික් මට්ටමෙන් දේශපාලන අධිකාරියක් මෙන්ම ගම් මට්ටමේ ඵලදාවර්ධන කමිටුද පිහිටූවි ය. මේවා ඇත්තටම ක්‍රියාත්මක කළ යුතු ය. අපේ අත්දැකීම වන්නේ සමහර ප්‍රදේශවල ඒවා ක්‍රියාත්මක වී නිෂ්පාදනය වැඩි වී ජනතාව ඉදිරියට පැමිණිය හ. සමහර පලාත් වල දේශපාලන අධිකාරියේ නොදැණුවත්කම හා ගසා කන්නට ගොස් ඒවා විනාශ විය. මේවාගේ ගම් මට්ටමේ බලය ලබාගෙන ක්‍රියාකරන අතර ම නගරයේ දී මහාපරිමාන සංවර්ධනයට යෑමේ සූදානමක් ඇත.
මේ සැළැස්ම ක්‍රියාත්මක කරන්නට යන්නේ නම්, එහි දි දූෂණය පිටුදැක වඩාත් කැපවීමකින් එය ක්‍රියාත්මක් කිරීම පිළිබඳ අපිට සාකච්ඡා කළහැක. ඒ අතරම ජාත්‍යාන්තර මට්ටමින් සමාජවාදි ලෝකයක් දෙසට ගමන් කරන්නේ ද යන්න පිළිබඳව අපි අවධියෙන් දිටිය යුතු ය. එයට සමාන්තරව තමයි වාමාංශිකයින් ලෙස අපි වැඩකළ යුත්තේ. දැන් ඇමෙරිකාවේ ඊ ළඟ පියවර කුමක් ද? බර්නි සැන්ඩ්‍රස් මෙන් වම ගැන කථා කළ අයගේ බලය වර්ධනය වන්නේ නම් හා බලයට පත්වීමට ඉඩ ඇති හිලරි ක්ලින්ටන් වගේ අයටත් ඉදිරියේ දි වාමගාමීව කථා කරන්නට සිදුවන්නේ නම් ඊ ළග පියවර සඳහා සූදානම් විය හැක. ඒ නිසා අපි නැවතත් ට්‍රොට්ස්කිගේ පණිවිඩය මතක තබාගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවය සමාජවාදි විප්ලවය දක්වා ගෙනියනවා කියන ට්‍රොට්ස්කිගේ අදහස පමණක් නොව එහෙම ගෙනගොස් ප්‍රජාතන්ත්‍රවාදයට නොගොස් බලහත්කාරයෙන් සමාජවාදයට ගෙනියන්නට නොහැක. එසේ වුවහොත් අන්ත ධනවාදයකට යන බව අපි මතක තබාගත යුතු ය. රුසියාව දෙස බලන විට ඒ පණිවිඩයත් අද ඇත්ත වී තිබේ. ඒ නිසා සමාජ ධනවාදය කියන පැකේජය එක්තරා කාල පරිච්ඡේදයකදි අවශ්‍ය වන දෙයක් බවට පත් වේ. අප දන්නා ආකාරයට ලෙනින් 1917 සිට 23 වෙන විට බොරු කොමියුනිස්ට් වාදයක් රැකගත් බව පැවසුවේ ය. ඒක මිලිටරි කොමියුනිස්ට්වාදය ලෙස හැඳින්වී ය. ඒක කිසි සේත් වලංගු වූයේ නැත. ඒ අනුව නව ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේ ය. ඒක තමයි සමාජ ධනවාදය කියන්නේ. සමාජ ධනවාදි ප්‍රතිපත්තියක් ඒ මොහොතේ ලෙනින්ට ද ගෙන එන්නට සිදුවිය.
අපි අද බලයේ සිටියත් ලෝක තත්ත්වය තුළ සමාජ ධනවාදි ප්‍රතිපත්තියකට යන්නට සිදුවේ. ඒ ගමන අමතක කර අපිට කථා කරන්නට නොහැක. සමහරු බොරුවට ට්‍රොට්ස්කිවාදය ගැන කථා කරති. නව ආර්ථික ප්‍රතිපත්තිය ගැන එදා කථා කළේ කවු ද? එය කථා කළේ වෙන කවුරුවත් නොව ට්‍රොට්ස්කි ය. වෙනත් ආකාරයට කියන්නේ නම් බලයට පත් වූ කම්කරු පංතියට නැවත ධනවාදයට පසුබසින ලෙස ඔහු පැවසී ය. ඒ නිසා කල්පනාකාරීව වැඩ කිරීමේ අවස්ථාවකට අපි පැමිණ සිටින්නෙමු. ඒ අනුව ප්‍රභල මැදිහත්වීමක් අප කළයුතු ය. ඊ ළගට තිබෙන කාරණාව තමයි හුගක් බොරු සටන් පාඨ අසන්නට ලැබීම. උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනය ගැන කථා කරමින් අධ්‍යපනයේ නිදහසට ඇතැමෙක් එරෙහි වෙති. මෙයට අමතරව අති දක්ෂිණාංශයට සේවය කරන අති වාමවාදයට ද පිලිතුරුදීමට අපිට සිදුවී ඇත.
මේ රටේ ධනවාදි ආර්ථිකය තුළ නිදහස් අධ්‍යාපනයක් තිබේ. ඉතාම බැරෑරුම් ලෙස නිදහස් අධ්‍යාපනය වර්ධනය වේ. දළජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරන්නට එකග වී, ඒ කරා යමින් ඇත. ඒ අතරවාරයේ දී පෞද්ගලික අධ්‍යාපනයත් තිබේ. ඒකටත් ප්‍රජාතන්ත්‍රවාදි ඉඩක් දී ඇත. එවිට හැම විෂයකටම අදාළව මුදල් ඇත් නම් එය වියදම්කර කැමති අයෙකුට වෘත්තිකයෙකු වන්නට පුළුවන. උදාහරණයකට ගණකාධිකාරිවරයෙක් හෝ වරියක් වෙන්නට පුළුවන. . ඉංජිනේරුවෙක් විය හැක. ඒ සියල්ලටම පුද්ගලිකව මැදිහත්විමට ඉඩ දී තිබේ. ඒක දැන් භූක්ති විඳිමින් ද සිටිති. දැන් ඉංජිනේරුවෝ බිහිවන්නේ ඉංජිනේරු පිඨ දෙකෙන් පමණක්ම නොවේ. නීතිය සම්බන්ධයෙන් ද එසේ ම ය. පෙර කි අනික් විෂයන් සම්බන්ධයෙන්ද එසේම ය. නමුත් වෛද්‍ය විෂය පමණක් එහෙම වෙන්නට බෑ කියන තර්කයක් දැන් මතුවි ඇත. මේක මිනිසුන්ගේ ජීවිත සමග කරන මහා වැඩක් නිසා ඒකට ඉඩ නොදිය යුතුය කියන කථාවක් ද ඇසේ. ඒ කථාවේ කිසිදු තේරුමක් නැත. මක්නිසා ද යත් සෑම වෘත්තීයක්ම හොඳට කරනවාද නැති ද යන්න සෑම විෂයකටම එක සේ වැදගත් ය. හැම වෘත්තීයකටම කවුන්සිල් එකක් තිබේ. සෑම වෘත්තීයකටම වෘත්තිකයින්ගේ සංගමයක් තිබේ. ඒ අය තමයි තීන්දු කරන්නේ එය අදාළ සම්මතයට අනුව තිබෙනේ ද යන බව. පිළිගන්නට නොහැකි ප්‍රමිතියක තිබෙන්නේ නම් එය ද ඔවූ හු පවසති. මේකට රජය අවශ්‍ය නැත. මේක දොස්තරලාට ද අදාළ ය. වෛද්‍ය විෂයට අදාලව ද කවුන්සිලයක් මෙන්ම සංගමයක් ද තිබේ. ඒ අය අදාළ වෘත්තීය ප්‍රමිතියට නැතිනම් පිළිනොගෙන සිටින්නටත් ප්‍රතිමියට ඇතිනම් පිළිගැනීමටත් පුළුවන. මේකට රජය ඇගිලි ගහනවා නම් එය වැරදි ය. ඒ අයිතිය ඒ වෘත්තිය සභාවන්ට තිබිය යුතු ය.
වෛද්‍ය විෂයට සම්බන්ධ අය කියන්නේ ඒක කොහොමටවත් පෞද්ගලිකව කළ නොහැකි බව ය. ඔවුන් කියන ආකාරයට එසේ කිරීම මහා භායානක ය. තර්කය ඒක නම් ගණකාධිකරණ විෂය සම්බන්ධයෙන් ද භයානක නොවන්නේ මන් ද? ඒක වැරදුනොත් මුලු ආර්ථිකය කඩා වැටි මහා විනාශයක් වෙන්නට පුළුවන. ඉංජිනේරුවන් ගේ ප්‍රමිතිය හොඳ නැතිනම් බිල්ඩින් කඩා වැටි මිනිසුන් මිය යන්නට පුළුවන. ඒ නිසා මේ වෛද්‍යවරුන්ගේ කථාව පිස්සු කථාවකි. වෛද්‍යවරුන් ප්‍රමිතියට නැති නම් ලෙඞ්ඩු මැරෙන බව සත්‍යයකි. ඒ නිසා එහි ප්‍රමිතිය ආරක්ෂා වියයුතුව ඇත. ප්‍රමිතිය ආරක්ෂා වන්නේ නම් එයට පෞද්ගලික අංශය ද මැදිහත්වීමේ ඇති වැරැද්දක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *