පොහොට්ටුව කල්ලි හත අටකට කැඩිලා ; රනිල් පාලනය කරන්න බැසිල්ට බැහැ – එජාප ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කරමින් සිටින බව කියන විපක්ෂයේ කතා සත්‍යයෙන් තොර බවත්, පොදුජන පෙරමුණ කණ්ඩායම් හත අටකට කැඩී සැලකිය යුතු පිරිසක් විපක්ෂයට ගොස් ඇති බවත්, පාර්ලිමේන්තුවේ දී පොදුජන පෙරමුණ සුළුතරය වී ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

පොදුජන පෙරමුණ ලෙස පාර්ලිමේන්තුවට පත්ව සිටි 147 දෙනා අතරින් ශ්‍රීලනිප 15 ක් , පක්ෂ 10 කණ්ඩායමේ 16 ක්, අනුර ප්‍රියදර්ශන යප කණ්ඩායම ලෙස 8 ක්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ දෙකක් ලෙස හතළිහකට වැඩි පිරිසක් විපක්ෂයට ගොස් ඇති අතර ඩලස් කණ්ඩායමේ 14 ත් 18 ත් අතර පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියා කරති.

එම පිරිස ඉවත් කොට ගණන් බැලු විට පොහොට්ටුවට සිටින්නේ 90 කට අඩු පිරිසකි. 113 බහුතරය අසලකටවත් ඒමට එම පක්ෂයට තනිව හැකියාවක් නැත.

එලෙස සිටින පිරිස ද විවිධ කණ්ඩායම් ලෙස බෙදී සිටින අතර බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින්නේ ඉතා සුළු පිරිසක් බව ද කියති.

කෙසේ වෙතත්, විපක්ෂය තම දේශපාලන අවශ්‍යතාව සඳහා ආණ්ඩුව මෙහෙයවන්නේ බැසිල් බව ප්‍රචාරය කරන අතර බැසිල් වාදීන් ද තමන්ට නැති බලයක් පෙන්වමින් පාර්ලිමේන්තුවේ බහුතරය තමන් බව කියමින් සිටිති.

මේ අතර පොහොට්ටුවේ සැලකිය යුතු පිරිසක් කෙලින් ම රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කරමින් සිටින බව ද එජාප ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *