මුල්‍ය අරමුදලෙන් අලුත් කොන්දේසි පනවා ඇතැයි පලවන වාර්තා බොරු ; මුල් එකඟතා එහෙම ම යි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර කිරීමේ ගිවිසුම සඳහා අලුතින් කොන්දේසි පනවා ඇති බව ඇඟවෙන ලෙස පළකොට ඇති ප්‍රවෘත්ති වාර්තා සත්‍යයෙන් තොර බවත්, සකච්ඡා සිදුවන්නේ මුල සිට ම පැවති එකඟතා අනුව බවත්, මුදල අමාත්‍යංශයේ තතු දත් ආරංචි මාර්ග පරකෂ කරයි.

මුල්‍ය අරමුදලේ ආධාර ලබා දීමට රටේ ණය ස්ථාවරභාවය පිළිබඳව ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍යය යන්න කිසිසේත් අලුත් කොන්දේසියක් නොවන බවත්, ක්ලිෆඩ් චාන්ස් සහ ලෆාර්ඩ් සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කළේ එම අරමුණ සඳහා බවත්, එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉහත කී ආයතන සම්බන්ධ කර ගන්නා ලද්දේ මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අවස්ථාවේ ම ය. ඒ එම ක්‍රියාවලියට තරමක කාලයක් ගතවන නිසා ය.

එමෙන් ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්‍ය අරමුදලේ කොන්දේසියක් නොවන අතර  ණය තිරසාර භාවය නොමැති රටකට මුල්‍ය ආධාර දීම මුල්‍ය අරමුදලේ නීති මගින් ම තහනම් කර ඇත.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පළමු පියවර වන බව සහ ඉන්පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි වන බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බව ද ඒ මහත් කී ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තට ජපානයේ සහය ලබා ගැනීමට ක්‍රියා කිරීම , ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ මහතාගේ අවමගුල් උළෙල සඳහා එරටට යන ගමනේ දී ඉටු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන සඳහා චීනය, ඉන්දියාව ඇතුළු සියලු ණය හිමියන්ට ආරාධනා කරන ලෙස  ජපානයෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිතුමා සුදානම් වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලැබෙන්නේ එලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ය.

කෙසේ වෙතත්, මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල ගිවිසුමට එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු විට වෙනත් ආයතන සහ රටවලින් අන්තර්වාර මුල්‍ය පහසුකම් ලබාගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙයි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.3 ක් සහ ජපානයෙන් ඩොලර් බිලියනයක්  එලෙස ලබාගැනීමට මේ වන විටත් මුලික එකඟතා ඇති කරගෙන තිබෙන බව කියති. චීනයෙන් ද ආධාර ලබා ගත හැකි වනු ඇති බවත්, ඒ සඳහා ඊට පෙර චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව ඇතිකර ගැනීමට සිදුව ඇති බවත්, මුදල් අමාත්‍යංශයට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *