වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නෑ – විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022 සම්මාන උලෙළේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

 

 “2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. එහෙත් නොයකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල වුණා. දින 52 ආණ්ඩුව කාලයේ ඒ පරතරයත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමත්, 2019 දේශපාලන හා ආර්ථික හේතු මත බදු අඩු කිරීම වැනි කරුණු සහ 2020 කොරෝනා ව්‍යසනයත්, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය වගේම කෘත්‍රිමව විනිමය අනුපාතය පාලනය කිරීම වැනි හේතු මත අපේ රට  අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. මේ වසරේ ජනවාරිපෙබරවාරී වන විට එම තත්ත්වය  තවත් උග්‍ර වුණා.

අපේ වෙළෙඳ ශේෂය අද තිබෙන්නේ හිතකර තත්ත්වයක නොවෙයි. ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද? අප ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් දීමට සැලසුම් කරලා චීන ණය ආපසු ගෙවීම සඳහා අමතර මූල්‍යාධාරයක් දීමට සූදානම් වීමයි.”

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා තරගකාරී අපනයන ආර්ථිකයක් හැර වෙනත් විකල්පයක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පෙරේදා (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උලෙළ අමතමිනි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට ඉමහත් වූ සේවාවක් සිදු කළ විද්වත් වෘත්තිකයන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට ඉමහත් වූ සේවාවක් සිදු කළ විද්වත් වෘත්තිකයන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර ආචාර්ය කීර්ති ගුණසේකර (කෘෂිකර්ම හා පශු වෛද්‍ය), සරත් ජයතිලක (ඉංජිනේරු සහ තක්ෂේරු), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (මූල්‍ය සහ බැංකු), ආචාර්ය දිනේෂ් වීරක්කොඩි (මූල්‍ය හා බැංකු), වෛද්‍ය ගෝඨාභය රණසිංහ (සෞඛ්‍ය හා වෛද්‍ය සේවා), ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න (නීති), අද්මිරාල් පියල් ද සිල්වා (සමුද්‍ර හා ආරකෂාව) සහ මහාචාර්ය චන්දන ජයරත්න (විද්‍යාව හා තාක්ෂණය) මහත්වරු ඒ අතර වෙති.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ආනයන මත යැපෙන ආර්ථිකයක් ලෙස තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි. අද වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂයට හිතකර තත්ත්වයක් නැහැ. එවැනි අවස්ථාවක අප කළ යුතු වන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමයි.

අප අතර පරස්පර විරෝධිී අදහස් තිබුණට අපට සමහර අංශවලින් එකඟ වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අංශවලට එකඟ වෙන්න බැහැ. වෘත්තිකයන් ලෙස ඔබ රටේ ආර්ථිකයට සහ සමාජයට විශාල දායකත්වයක් දී තිබෙනවා. අද අප මේ සම්මාන උලෙළට සහභාගී වෙන්නේ රට මින් පෙර අත් නොවිඳි බොහෝ භයානක ආර්ථික අර්බුදයක් හමු වෙයි. 2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. නමුත් නොයකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල වුණා. දින 52 ආණ්ඩුව කාලයේ ඒ පරතරයත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමත්, 2019 දේශපාලන හා ආර්ථික හේතුන් මත බදු අඩු කිරීම වැනි කරුණු සහ 2020 කොරෝනා ව්‍යවසනයත්, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය වගේම කෘත්‍රිමව විනිමය අනුපාතය පාලනය කිරීම වැනි හේතුන් මත අපේ රට අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. මේ වසරේ ජනවාරි, පෙබරවාරී වන විට එම තත්ත්වය තවත් උග්‍ර වුණා.

ඒ ආර්ථික අර්බුදය දේශපාලන අරගලයකට පෙරළුණා. මුලදී එයට තරුණ ප්‍රජාව සහභාගී වුණත් පසුව මධ්‍යම පාන්තිකයින් ද ඊට එකතු වුණා. නමුත් පසුව කලහකාරී අන්තවාදීන් එම අරගලයට සම්බන්ධ වෙලා තරුණ ප්‍රජාව ඉන් ඉවත් කළා. මෙවැනි අරගල දෙකක් අප අත්වින්දා. දෙවැනි අරගලයේ ඉලක්කය වුණේ රජයේ ආයතන අකර්මණ්‍ය කරලා රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන් බැඳ දැමීමයි. කථානායකතුමා දන්නවා අප නීතිය ස්ථාපනය කරලා පාර්ලිමේන්තුව ඉන් මුදා ගත්තා. දැන් අප පසුකරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාලසීමාවක්. අපි නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මම නැවතත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නෑ. මම හිතන විදිහට හදිසි නිතිය මේ සති අන්තය වන විට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපට නැවත 2019 – 2020 කාලයට ආපස්සට ගමන්න කරන්න බැහැ. අප කල්පනා කළ යුතුයි.

අප ආකල්පමය වශයෙන් වෙනස් වීමට අවශ්‍යයි. එසේ කළහොත් ඉන් පසු මේ රටට අනාගතයක් තිබෙනවා. එසේ නොවුණ හොත් අප තවත් ලෙබනනයක් බවට පත් වෙනවා. අද රටේ ආර්ථිකය කෙතරම් නරක තැනක ද තියෙන්නේ කියලා මම ඔබට කිවයුතු නැහැ. මුදල් ඇමැතිවරයා ලෙස පත් වූ විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොස‍තෙක් බව. මගේ නිවෙසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්. සංජීව් ගාර්ඩිනර් වගේ අය ගත්තොත් මේ ජනරජයට වඩා මිලියන් ගණනකින් පොහොසත්. ඒක තමයි යථාර්ථය. දැන් අප අසීරු කාලය පසුකරමින් ඉන්නේ. අපේ අවශ්‍යතාවන්ට ගෙවීම් කිරිම සඳහා ඩොලර් මිලියන දෙක තුන හොයාගන්න මහන්සි වුණ කාලය වාසනාවකට දැන් අප පහුකරලා තිබෙනවා. නමුත් අප තවම අර්බුදය ජය ගෙන නැහැ. ආනයනය මත යැපෙන ආර්ථිකයක් ලෙස තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි.

අපේ වෙළෙඳ ශේෂය අද තිබෙන්නේ හිතකර තත්ත්වයක නොවෙයි. ඉතින් දැන් අප කළ යුත්තේ කුමක් ද, අප ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවක් සඳහා අවසන් කොනේදේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් දීමට සැලසුම් කරලා චීන ණය ආපසු ගෙවීම සඳහා අමතර මූල්‍යාධාරයක් දීමට සූදානම් වීමයි. මෙම ඉලක්ක කරා ළගා විය හැකි ආකාරය ගැන අප ජපානය සමඟ සාකච්ඡා කළා. ඉන්දියාව සමඟත් අප දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද කළහොත් සියල්ලන්ටම විඳවිමට සිදු වෙයි. අපි නැවතත් පැරණි දේශපාලනයේම නිරතව සිටින්නේ පැරණි ක්‍රමය නැවත ගෙන ඒමට ද යන ප්‍රශ්නය මතු වෙනවා. අපි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත කර ගනිමු.

මමත්, ඔබත් ඊට සහාය දක්වන බව මම දන්නවා. ඉන් පසුව අපි පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත් කිරීමට උත්සාහ කරමු. ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික සභාව, අධීක්ෂණ කාරක සභාවට සහභාගීවිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවෙයි. ඒ සඳහා ඔවුන්ට තරුණ නියෝජිතයන් පස් දෙනකුට ආරාධනා කළ හැකියි. ඔවුන්ට කමිටු සභාපතිවරයාගේ අවසරය පරිදි පක්ෂවලින් ප්‍රශ්න කළ හැකියි. ලෝකයේ වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් තරුණ පිරිසට ආංශික කමිටුවලට සහභාගී වීමට අවස්ථාවක් දී නැහැ. අපට මේ පාර්ලිමේන්තුව හරහා නව ක්‍රමවේදයකට අවතීරණය විය හැකියි. අපට එය තවත් පිරිසකට පැවරිය නොහැකියි. මේ අනුව නව ව්‍යවස්ථාවක් කරා යෑමට අපට හැකියාවක් තිබෙනවා. ජනවර්ග අතර ගැටලුව අප විසඳාලිය යුතුයි. යුද්ධය 2009 වසරේ දී අවසන් වූ බැවින් අප නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නැහැ. අප ඩයස්පෝරාව දෙස බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මුලාශ්‍රයක්.

ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීම සඳහා මෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න. අපි දැන් හතරවන කර්මාන්ත විප්ලවකට සූදානම් විය යුතුයි. මුදල් ඉපැයිය හැකි මාර්ග පිළිබඳ සොයා ගැනීමට අපට එය භාවිතා කළ හැකියි. නමුත් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රාජ්‍ය අංශය බිඳ වැටෙන විට අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපට මුදල් තිබිය යුතුයි. ඒ නිසා සමස්ත ක්‍රියාවලියම ප්‍රතිව්‍යුගත කරන්නේ කොහොමද කියලා අප සොයා බැලිය යුතුයි. අපේ ඡන්ද ක්‍රමවේදය ගැන අප නැවත සිතිය යුතුයි. මනාප ඡන්ද ක්‍රමය තමයි අපට ඉතා හානිදායක වී තිබෙන්නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවට හැකියාව තිබිය යුතුයි නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න. අපට මෙය වෙන පාර්ශ්වයකට පැවරිය නොහැකියි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා-

විද්වත් වෘත්තිකයන්ට රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් තිබෙනවා. රට නිවැරදි මාවතට යොමු කරන්න ඔවුන්ට ප්‍රධාන භූමිකාවක් තිබෙනවා. මෙවැනි අර්බුද පවතින කාලයක විද්වත් වෘත්තිකයන් ඉදිරියෙන්ම ක්‍රියාකරන්න ඕනෑ රට ඉදිරියටම ගෙනයන්න. මිනිසුන්ගේ ආකල්ප වෙනසක් අනිවාර්යයෙන් කරන්න ඕනෑ. එය කිරීමේ දී වෘත්තිකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. විද්වතුන් කාර්යය හරියට කරන්න ඕනෑ රට දියුණු කරන්න. අනිත් අය කරන දෙස නොව තමන්ගේ දායකත්වය රටට දිය යුතු වෙනවා. ඔවුන් තමයි රට නිවැරදි කරන්න පුළුවන් හොඳම කණ්ඩායම. අද වන විට අපේ රට පවවතින තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා. මේ අභියෝග ජයගෙන කෙසේ හෝ ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු වෙනවා. මෙහිදී යම් යම් භේද සැලකිල්ලට ගත යුතු නැහැ. තමන්ගේ රට වෙනුවෙන් තම දායකත්වය දීමට සියලු දෙනාම එක් විය යුතු වෙනවා. එවිට අප ඉදිරියේ තිබෙන අභියෝග ජය ගැනීම අපහසු වන්නේ නැහැ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා-

විද්වතුන් තමයි රට දැන් තිබෙන විනාශය සම්බන්ධයෙන් එක් ආකාරයකට වගකියන්න ඕනෑ. රට තුළ යහපාලනය සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ වගකීම විද්වතුන් ගත යුතු වෙනවා. නමුත් ඒ අය එම කාර්යභාරය අනිත් අයට කරන්න දීලා ඔවුන්ගේ කාර්යභාරය අතපසු කර තිබෙනවා. විද්වතුන්ට රටතුළ යම් යම් වෙනසක් කරන්න අවශ්‍ය වන්නේ නම් ඔවුන් නායක්තවය ගත යුතු වෙනවා. දේශපාලඥයන් ක්‍රියාත්මක වන තුරු සිටිය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ විද්වතුන් වශයෙන් අප විශාල ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා රට නිවැරදි මාවතට ගේන්න. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන්ට එරෙහිව ප්‍රධානම චෝදනාව තිබෙන්නේ දූෂණයයි. විනිවිදභාවයෙන් තොර සහ යහපාලනයේ ප්‍රතිඵලය තමයි අරගලය.

කෝප් සභාපතිවරයා වශයෙන් සිටි කාලයේ රුපියල් බිලියන 300ක පමණ සංවර්ධන චෝදනා ආදිය සම්බන්ධ තොරතුරු අනාවරණය කළා. නමුත් එය ඉදිරියට ගෙන යන්න නොහැකි වුණා. කෝප් සභාපතිත්වයෙන් ඉවත් කළා. විද්වතුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් 2010 වසරේදී වත්මන් ජනාධිපතිවරයා මට බලපෑම් කළා දේශපාලනයේ තවදුරටත් රැදී සිටිය යුතුයි කියා. මෙවැනි තත්ත්වයන් වෙනස් කරන්න ඕනෑ කිව්වා. දූෂණයට හා වංචාවට විරුද්ධව පනතක් ගේනවා. ඒ වෙනුවෙන් දැනටමත් අැමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම කෙටුම්පත පිළියෙල කරන්න සරත් ජයමාන්න මහතා සහාය දුන්නා. එයට විද්වත් අදහස් ගන්නත් අප බලාපොරොත්තු වෙනවා. වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද ඊට ඇතුළත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා-

බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වෙනවා. පළපුරුද්ද සහ ගුණාත්මකව සිතන අය සිටිය යුතුයි. ඇතැම් දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපේ රටේ දූෂණයට සහ වංචාවට තිත තැබිය යුතු වෙනවා. අපි රැකියාවක් සඳහා අන්තර්ජාතික බැංකුවක් සමඟ සම්බන්ධ වන විට යම් කිසි ප්‍රකාශනයකට අත්සන් කළ යුතු වෙනවා. එහිදී තෑගි වශයෙන් යම් මුදලක් ලැබුණ ද එය ඩොලර් 10කට වඩා අපට ගන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මිනිසුන්ගේ විශ්වාසය අද වන විට පහළ වැටී තිබෙනවා. අරගලය සමඟ අද වන විට එය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. මේ තත්ත්වය තුළ අපි වංචාවෙන්, දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් එක් අයකුට හෝ පුද්ගලයන් දෙදෙනකුට යමක් කරන්න බැහැ. අප සියලු දෙනාම මේ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු වෙනවා.

විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා මහතා-

විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් හා වෘත්තිකයන් මේ සම්මේලනය නියෝජනය කරනවා. විද්වතුන්ගේ හා වෘත්තිකයන්ගේ සේවය අපේ රටට අතිශයින්ම වැදගත්. ඔවුන්ගේ සේවය නොපිරිහෙළා ඉටු කරන්න කටයුතු කර තිබෙනවා. අපේ රටේ අනාගතය තීරණය කිරීමේදී විද්වතුන් හා වෘත්තිකයන්ගේ කාර්යයභාරය තීරණාත්මක සාධකයක් වෙනවා.

හිටපු ඇමති ජෝන් අමරතුංග, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප

හිරන්ත ගුණතිලක

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *