ණය ගැන සාකච්ඡා මේසයේ මුලසුනට ජනපතිගෙන් ජපානයට ඉල්ලීමක්

 

 

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි කවුරුන් හෝ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දුන් ප්‍රධාන රටවලට ආරාධනා කළ යුතු බවත් එසේ සිදු කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

තමන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා මුණගැසීම සඳහා සැප්තැම්බර් මස ජපානයේ සංචාරයක නිරත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා වලට අනුව 2020 වසරේ අවසාන වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2 ලෙස සටහන් වන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ජපානය ක්වාඩ් රටක් වන නිසා චීනය හැර ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දුන් ඉන්දියාව ඇතුළු අනෙකුත් ප්‍රධාන රටවල් එක් මේසයකට රැගෙන ආ හැකි බව විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා චීනයෙන් ලැබුණු ප්‍රතිචාර ධනාත්මක බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ නිලධාරී මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අගෝස්තු මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *