අයි එම් එෆ් ගිවිසුමට මේ මස අග දී අත්සන් තබයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා මුල් පියවර ලෙස දෙරට අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම මේ මස අග දී සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා මෙතෙක් කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර ගිවුසුම අත්සන් කිරීම සඳහා මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ මස අග දී මෙරටට පැමිණෙනු ඇත.

මෙම ගිවිසුම ජුලි අග දී අත්සන් කිරීමට බලාපොරොත්තු වූ නමුත් ඇති වූ කලබල හේතුවෙන් මසකින් කල් ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කාර්ය මණ්ඩල ගිවිසුම සඳහා බොහෝ කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත්, මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ මස අග දී පැමිණීමට නියමිත බවත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද සහභාගී වූ මාධ්‍ය හමුවේ දී තහවුරු කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එයට අයි එම් එෆ් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු ය. එයට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇත.

මුල්‍ය අරමුදලේ ආධාර ලැබීමට පෙර රටේ ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතු ය. ඒ සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි කියති.

කෙසේ වෙතත්, අයි එම් ඒෆ් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මිත්‍ර රටවලින් ආධාර ලබාගැනීමේ හැකියාව වැඩි වන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *