චීන නැවට ශ්‍රී ලංකාව අවසර දුන්නේ කොන්දේසි යටතේ – ඉන්දීය ජනමාධ්‍ය කියයි

 

යුවාන් වෑන් 5, මතභේදාත්මක චීන නෞකාවට  ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළුවීමට බලධාරීන් අවසර දී ඇත්තේ වරායේ රැඳී  සිටිය දී කිසිදු පර්යේෂණ කටයුත්තක නොදෙන බවට කොන්දේසියක් මත බව ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.

ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයේ බලධාරීන් සහ චීන බලධාරීන් සමග කළ සාකච්ඡා ගණනාවක ප්‍රතිඵල ලෙස මෙම එකඟතාව ඇති කරගත් බව එම මාධ්‍ය වාර්තා කියයි.

මෙම නැවට අවසර දීම ගැන ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කොට තිබුණේ එයට අවසර නොදීමට පැහැදිලි හේතු ඉදිරිපත් කිරීමට ඉන්දියානු සහ ඇමෙරිකානු බලධාරීන්ට නොහැකි වීම නිසා නැවට අවසර දුන් බවයි.

කෙසේ වෙතත්, හම්බන්තොට රැඳී සිටිය දී කිසිදු පර්යේෂණයක නොදිය යුතු බවට ශ්‍රී ලංකා රජය කොන්දේසි පනවා ඇතත්, ඉන්දියාවේ WION පුවත් සේවය ප්‍රශ්න කළේ එම කොන්දේසි චීන නැව පිළිපදින්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට තිබේ ද ? යනුවෙනි.

චීන නැව දින හයක් හම්බන්තොට රඳවා තැබීම ගැන ද එම වාර්තා මගින් ප්‍රශ්න කොට තිබිණි.

නැවට අවශ්‍ය ඉන්ධන, කාර්ය මණ්ඩලය ආහාර සපයා ගැනීම සහ ඔවුන්ට විවේකයක් ලබා දීම තම අරමුණ බව චීන බලධාරීන් ප්‍රකාශ කොට ඇත.

යුවාන් වැන් 5 නෞකාව අද උදේ හම්බන්තොට වරායට ළඟා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *