|

සර්ව පාක්ෂික ආණ්ඩුව : නිල කතා සහ නොනිල බා ගැනීම් 

 

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් යන්න පසුගිය කාලයේ බොහෝ පාර්ශවයන් විසින් ඉදරිපත් කරන ලද ඉල්ලීමකි. ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසම්දුම් යෝජනා කළ සිවිල් සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. මහ නා හිමිවරු ප්‍රමුඛ ආගමික නායකයෝ ද එම ඉල්ලීම ඉදිරිපත් කළහ. අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් බවට ද එය පත්ව තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ දී ද, පසුව ජනාධිපති ලෙස පත් වූ විට ද, ප්‍රධාන පොරොන්දුවක් වුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ මහතාගේ රාජාසන කතාවේ දී ද එය නැවත ප්‍රකාශ වූ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ආරාධනයක් ද කළේය.

කෙසේ වෙතත්, කාගේත් අවධානය යොමු වී තිබුණේ මෙම යෝජනාව ක්‍රියාවට නගන ආකාරය යි. එයට විවිධ පාර්ශව නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කිරීම මෙන් ම, සියලු පක්ෂවලින් එන මන්ත්‍රීවරුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම ද බරපතළ අභියෝගයක් වන බව කවුරුත් දැන  සිටි කාරණයකි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්න ගැන කටයුතු කරන ආකාරය ද අවධානයට ලක්ව තිබිණි.

ජනාධිපතිගේ ඇරියුම්

ජනාධිපතිවරයාගේ පළමු පියවර වුයේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළකට සහභාගී වන ලෙස ඇරයුම් කොට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් යැවීම යි. දෙවන පියවර ලෙස එක් එක් පක්ෂ සමග වෙන් වෙන් ව සාකච්ඡා කිරීම ද පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබිණි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ, සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධවීමට එක් ප්‍රධාන කොන්දේසියක් ඉදිරිපත් කොට තිබිණි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය ඉවත්කොට 19 සංශෝධනයේ තත්ත්වය යලි ඇති කිරීම යි. එම ඉල්ලීම ඉටු කිරීමේ මුලික පියවර ගැනීම ද, ජනාධිපතිවරයා සිදුකොට තිබිණි. එනම් නව 22 සංශෝධනය කැබිනට මණ්ඩලයෙන් අනුමත කොට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම යි. දැන්  පෙනෙන්නට තිබෙන්නේ එම සංශෝධනයට බොහෝ පක්ෂවල සහය ලැබී ඇති බව යි.  එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද පසුගිය බදාදා සිදුවීය.

තිරය පිටුපස

මෙම තත්ත්වය යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේය. ස්වාධින වූ පක්ෂ 10 ඒ සඳහා තම කොන්දේසි ඉදිරිපත් කොට ඇතත්, එහි ඇතැම් පක්ෂ තනිව ජනාධිපති හමුවීම ද කැපී පෙනෙන සිදුවීමක් වී ය. පළමුවෙන් ම සාකච්ඡාවට ගියේ අතුරලියේ රතන හිමියන්ගේ විජය ධරණී ජාතික සභාව යි. ඇතැම් සාකච්ඡා තිරය පිටුපස සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට කිසිසේත් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස ප්‍රකාශ කොට තිබු නිසා සමගි ජන බලවේගය සහ ජනාධිපති අතර සාකච්ඡාව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි. පසුගිය අගෝස්තු 5 දා සිකුරාදා සවස පැවති එම සාකච්ඡාවට  සමගි ජන බලවේගයේ කණ්ඩායම විපක්ෂ නායක කාර්යාලයේ සිට ගියේ බස් රථයකිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග සමගි ජන බලවේගයේ කණ්ඩායම පැවැත් වූ සාකච්ඡාව ඉතා සුහද මට්ටමින් පැවතියේ ය. එහි දී ජනාධිපතිතුමා කීවේ “ ඔයගොල්ලෝ හැමෝම එක්ක මම වැඩ කරලා තියෙනවා. මට ඔය හැමෝම එක්ක නැවත වැඩ කරන්න පුළුවන් “ යනුවෙනි.

ධනාත්මක  ආකල්පයකින් ආ සජිත්

තමා සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක ආකල්පයකින් බව කියූ සජිත් ප්‍රේමදාස මහතා 19 සංශෝධනය යලි ක්‍රියාත්මක කිරීම ගැන නැවත අවධානය යොමු කළේය. සජිත් කතා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව වැඩ පිළිවෙළක් ගැන පමණක් වීම විශේෂයෙන් පෙනෙන්නට තිබිණි.

සරත් ෆොන්සේකා මහතා පමණක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එරෙහිව කතා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වී ය. ඔහු කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ප්‍රශ්න විසඳෙන බව තමන් විශ්වාස නොකරන  බව යි.

දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ මතවාදය තමන්ගේ ද මතය බවයි. එහිකිසි වෙනසක් නැති බව යි. කෙසේ වෙතත්, අරගලකරුවන්ට එරෙහි මර්ධනය නතර කළ යුතු බව කී ඒ මහතා ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයට එරෙහිව පියවර ගැනීමට තමන් විරුද්ධ නොවන බවත්, එනමුත් සාමකාමී අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම නැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය. ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ඒ මහතා විශේෂයෙන් ප්‍රශ්න කළේය.

ස්ටාලින්ගේ ප්‍රශ්නය

එයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීවේ ජෝසෆ් ස්ටාලින් සමග තමන් ද කතා කොට ප්‍රශ්නය ගැන විමසු  බව යි. සඳුදා උසාවියෙන් සියල්ල විසඳෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිගේ වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දී ඇති බවත්, ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයට ජනාධිපතිතුමා කීවේ 1941 දී බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂය, විපක්ෂ නායක ධුරය තිබිය දී ම ආණ්ඩුවේ ඇමති ධුර භාරගත් බවත්, එම ආදර්ශය අනුව අපටත් කටයුතු කළ හැකි බවත් ය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන යෙදුමට අකමැති නම්, සර්ව පාක්ෂික පාලනයක් යන්න යොදා ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.

කෙසේ වෙතත්, ආණ්ඩුවක ඇමති ධුර භාර නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතගේ ස්ථාවරය වී ඇත. අගෝස්තු 9 දා පාර්ලිමේන්තුව අසල පැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව ද ඒ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු ක්‍රමය මගින් සර්ව පාක්ෂික වැඩ පිළිවෙළකට දායක වන බව යි.

සජබ තුළ ගැටුම්

දේශපාලන ආරංචි මාර්ග කියන්නේ මෙම ප්‍රශ්නය පිළිබඳව සමගි ජන බලවේගය න තුළ බරපතළ මත ගැටුම් පවතින බව යි. ආචාරය හර්ෂ ද සිල්වා, එරන් වික්‍රමරත්න, කබීර් හසීම්, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ඇමති ධුර අපේක්ෂාවෙන් සිටින බව එම ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලකප්පෙරුම, ජී එල් පීරිස්, කණ්ඩායම ජනාධිපති රනිල් හමුවී කළ සාකච්ඡාව ද අවධානය දිනාගත් එකකි. නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු කණ්ඩායමක් එයට සම්බන්ධ වී සිටියහ. වැදගත් වන්නේ ඔවුන් එහි දී ඉදිරිපත් කළ කොන්දේසි බව කිව හැකිය. එම කොන්දේසි දේශපාලන නිරීක්ෂකයින් දැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුව නොකෙරෙන වෙදකමක් බවට පත් කිරීමේ කොන්දේසි වශයෙනි.

එම කණ්ඩායම කීවේ තමන්ට සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති තනතුරු අවශ්‍ය නැති බව යි. ඒ සමග ම ඔවුන් කීවේ වර්තමාන ඇමති මණ්ඩලය වැඩි නොකළ යුතු බව යි. කිසිදු රාජ්‍ය ඇමති ධුරයක් ද නොදිය යුතු බව යි.

මෙම කොබ්දේසිය ඉටු කරන්නට නම් ජනාධිපතිවරයා එක්කෝ වත්මන් කැබිනට් මණ්ඩලය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යා යුතු ය. එවිට එය සර්ව පාක්ෂික වන්නේ නැත . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍යයෙන් යුතු කැබිනට් මණ්ඩලයකි.

එසේ නැතිනම් ජනාධිපතිතුමා කළ යුතු වන්නේ වත්මන් කැබිනට මණ්ඩලයේ පොදුජන පෙරමුණේ ඇමති පිරිසක් ඉවත් කොට වෙනත් අයට ඉඩ සලසා දීම යි. එවිට සිදුවන්නේ එම පක්ෂය සමග ගැටුමකට යාමට යි.

එමෙන් ම, සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමතිකම් බලාපොරොත්තු වන විශාල පිරිසකගේ සහාය ද එවිට අහිමි වෙයි.

නොකෙරන වෙදකම

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තව ටිකක් අවශ්‍ය බව ගැමියන් කියන්නේ මෙවැනි ඉල්ලීම් ගැන විය හැකි ය.

කෙසේ වෙතත්, සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවීමට ඩලස් පිල හේතුවක් සපයාගැනීම මෙම කොන්දේසිය මගින් ඉටු කරගෙන ඇති බව කිව හැකි ය.

ඩලස් පිලෙන් මෙන් ම සජබ ඇතුළු විපක්ෂයෙන් ද ඉදිරිපත් වන තවත් කොන්දේසියක් ආණ්ඩුවේ වුවමනාවන්ට පටහැනි බව පෙනෙන්නට තිබේ. එනම්, සර්ව පාක්ෂික ආණ්ඩුව කෙටි කලකට සීමා වුවක් විය යුතු බවට වූ කොන්දේසිය යි.

ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩයාමට අමාරු සහ ජනප්‍රිය නොවන තීරණ ගැනීම අවශ්‍ය නිසා සහ එම තීරණවලට සියලු පක්ෂවල සහය අවශ්‍ය නිසා ය. මැතිවරණයක් ඉදිරියේ තිබෙන්නේ නම් කිසිදු පක්ෂයක් එබඳු ජනප්‍රිය නොවන තීරණවලට සහය දෙනු ඇතැයි සිතිය නොහැකි ය.

අනෙක් අතට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වන ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා  ඔවුන්ට පිළිගත හැකි සහතිකයක් ලබා දීම ද, කෙටිකාලීන ආණ්ඩුවකට කළ නොහැකි ය.

එමෙන් ම, එවැනි කොන්දේසියකට එකඟ වීමෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් විශාල සංඛ්‍යාවකගේ සහාය අහිමි කර ගැනීමට ඉදිරිපත් වේ යයි ද සිතිය නොහැකි ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන සියලු දෙනා කතා කළ ද එම ගමනට බොරු වළවල් කැපීම ද බොහෝ දෙනා විසින් සිදු කරමින් සිටින බව යි. ඒ සියල්ල සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි

අරගලයට රනිල්ගෙන් උපදෙස්

සර්ව පාක්ෂික  ආණ්ඩු සාකච්ඡා එලෙස ඉදිරියට යමින් තිබිය දී, ගාලු මෝදර අරගලයේ සිටි කණ්ඩායම් කිහිපයක් සමග ද ජනාධිපති තුමා සාකච්ඡාවක් කළේය. අරගලයේ ආරම්භයේ සිට කැපීපෙනෙන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සංවිධන කිහිපයක් එම සාකච්ඡාවට එක්ව සිටියේ  ය. කළු තොප්පි ව්‍යාපාරය, සර්ව පාක්ෂික අරගලකරුවෝ ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයෝ එයට සහභාගී වුහ. අරගලකරුවන් මර්දනය නවත්වන ලෙසත්, ඔවුන්ගේ වෙනත් ඉල්ලීම් ඉටු කරන ලෙසත්, ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

සාමකාමී අරගලයට ඉඩ පමණක් නොව පහසුකම් ද ලබාදීමට සුදානම් බව ඔවුන්ට කියූ ජනාධිපතිතුමා ඔවුන්ට කීවේ අරගලයේ සමස්තය නියෝජනය වන එක් ප්‍රධාන මධ්‍යස්ථානයක් ගොඩ නගා ගන්නා ලෙස යි. අරගලකරුවන්ට කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් වෙන් කර දීමට ද, ජනාධිපතිතුමා කැමැත්ත පළ කළේය.

සෙනසුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ආර්ථික සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ ඉදිරි මාස කිහිපය දුෂ්කර කාලයක් වන බව යි. මීට පෙර ලෝකයේ විවිධ අර්බුද වලින් ගොඩ යාමට මුල්‍ය අරමුදලේ වැඩ සටහන් දායක වූ ආකාරය පෙන්වා දුන් ජනාධිපතිතුමා කීවේ මුල්‍ය අරමුදල දෙන වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සිදුවන බව යි. රෝගය  දරුණු නිසා තිත්ත බෙහෙත් බොන්නත්, ශල්‍ය කර්මයකට පවා මුහුණ දෙන්නත්,  අපට සිදුවන බව කී ජනාධිපතිතුමා මුල්‍ය අරමුදලේ වැඩ සටහන ප්‍රතික්ෂේප කරන අය ඔවුන්ගේ විසඳුම් ඉදිරිපත් කළ යුතු බව ද කී ය. පිළිගත හැකි සාර්ථක විකල්ප ඇත්නම් ක්‍රියාත්මක කළ හැකි බව ද ඒ මහතා පැවසීය.

නොනිල සාකච්ඡා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පක්ෂ සමග නිල සාකච්ඡා ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙහෙයවමින් සිටිය දී නිල නොවන සාකච්ඡා මෙහෙයවීම වෙනත් මධ්‍යස්ථානයකින් සිදු වෙමින් තිබිණි. එම මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කොළඹ 3 රැජින වීදියේ පිහිටි එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ නිවෙස යි.

වජිර අබේවර්ධන මහතගේ නිවෙස මේ වනවිට ක්‍රියාත්මක වන්නේ එජාපයේ ප්‍රධාන නායකයින් සහ වෙනත් පක්ෂවල ක්‍රියාකාරීන් නිතර හමු වී ඉදිරි සැලසුම් සකස් කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට හැකි සියලු දෙනා සම්බන්ධ කර ගන්නා වැඩ සටහනේ නිල නොවන මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙනි.

ජනාධිපතිතුමා පක්ෂ සමග නිල සාකච්ඡා පවත්වද්දී, වජිර ඇතුළු කණ්ඩායම කරමින් සිටින්නේ අවශ්‍ය සියලු මන්ත්‍රීවරුන් පෞද්ගලික මට්ටමින් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි. එජාප නායකයින් හැරුණු විට හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, නිමල් ලන්සා ආදීන් ද මෙම වැඩ පිළිවෙළට සක්‍රිය ලෙස දායක වී සිටිති.

මෙම කණ්ඩායමේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ  අභිලාෂයන් හඳුනා ගැනීම, එම අභිලාෂයන්ට ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් වලින් පවතින ප්‍රශ්න ගැන ක්‍රියා කිරීම, මෙන් ම, යම් මන්ත්‍රීවරයකුගේ අභිලාශය ඉටු කළ නොහැකි නම් විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කිරීම යි. එනම් ඔවුන් සඳහා විවිධාකාරයේ “සැනසිලි තෑගි “ යෝජනා කිරීම යි.

කොපි කෝප්ප සාකච්ඡා

දුරකතනයෙන් හෝ විවෘතව හෝ සාකච්ඡා කිරීමට නොහැකි මන්ත්‍රීවරුන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල දී හමුවීමට මෙම කණ්ඩායම කටයුතු කරයි. ඒ සඳහා බහුල ලෙස යොදා ගන්නා ස්ථානයක් වී ඇත්තේ කොළඹ 7 ග්‍රෙගරි පාර ආසන්නයේ පිහිටි ඉහළ පැලැන්තියේ කොපි කඩයකි. එනම් coffee shop එකකි.

සමගි ජන බලවේගයෙන් ඇමති මණ්ඩලයට සහභාගී වන කණ්ඩායම පක්ෂයෙන් ස්වාධින වී එම පක්ෂයේ “ උන්නතිකාමී කණ්ඩායම “ ලෙස ආණ්ඩුවට එකතු කර ගැනීම මෙම මෙහෙයුමේ එක් උපක්‍රමයක් බව දැනගන්නට ඇත.

අගෝස්තු 10 දා බදාදා වනවිට සමගි ජන බලවේගයේ සහ විපක්ෂයේ කුඩා පක්ෂ ගණනාවක් සර්ව පාක්ෂික  ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවට එක වී සිටියේ ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන්, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ රිෂාඩ් බදියුදීන්, අනුර ප්‍රියදර්ශන යාපා  මහතා ප්‍රමුඛ කණ්ඩායම, සී වී විග්නේශ්වරන් මහතාගේ තමිල් මක්කල් දේශීය කුට්ටනි ආදී කණ්ඩායම් එලෙස සාකච්ඡාවලට සහභාගී වුහ.

මෙකී නොකී සියලු දෙනාගේ අභිලාෂයන් සපිරෙන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීම පහසු කටයුත්තක් නොවනු ඇති බව පැහැදිලි ය. කෙසේ වෙතත්, සිදුවන මෙහෙයුමේ ප්‍රමාණය අනුව පෙනෙන්නේ සැලකිය යුතු යමක් සිදුවනු ඇති  බව යි.

 

සී ජේ

දේශපාලන සතිය

අනිද්දා

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *