අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන සාම්ප්‍රදායික උත්සවයේ දී පැවසීය.

සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ අද  (12) පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි.

දියවඩන නිලමේ සාම්ප්‍රදායානුකූල සංදේශය ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීමෙන් අනතුරුව පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද ජනාධිපතිවරයා  අතින් සිදු විය.

අනතුරුව චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපති ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත  තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් එහිදී ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපති ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.

(අංජුල මහික වීරරත්න)

Lankadeepa

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *