ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන ජනාධිපතිට ස්තුතියි – සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය

 

රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටිම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  ස්තූතිය ජනාධිපතිතුමාටත්, අධිකරණ ආමාත්‍යතුමාටත්, රජයටත්, පළකරන බව එම ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

22 වැනි සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් බවත් එය ඒකමතිකව සම්මත කරගැනීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක් බවත් ජයසූරිය මහතාගේ නිවේදනයේ සඳහන් වෙයි. .

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායයන් බරපතල විකෘතියකට ලක්කරමින් ඒකාධිපති රාජ්‍ය පාලනයකට මග විවර කරගෙන තිබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල රහිත කරමින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අප අතිශයින්ම අගය කරන්නෙමු.

එය අප සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යථාවත් කිරීම උදෙසා ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙසටය.

එමෙන්ම මෙයට පෙර අවස්ථාවකදී කෙටුම්පත් කර තිබු ආකාරයට විධායක ජනාධිපති ධුරයේ තීරණාත්මක බලතල ගනණාවක් හිටපු ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ තවදුරටත් පවත්වා ගැනීමට ගනු ලැබූ උත්සහයන් පසෙකලමින් ලබන මස 6 වනදා සිටම ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්වනු නොඅනුමානය.

එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටිම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපගේ ස්තූතිය ජනාධිපතිතුමාටත්, අධිකරණ ආමාත්‍යතුමාටත්, රජයටත්, පළකරන්නෙමු.

22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සැප්තැම්බර් මස 06 වනදින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අවස්ථාවේදී මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවාදී ලෙස පෙනී සිටිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය. එමෙන්ම අදාළ විවාදයෙන් පසු එය ඒකමතිකව සම්මත කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

මේ රටේ ජනතා නියෝජිතයන්ගේ ප්‍රමුඛතම වගකීම වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජන ජීවිතයේ යහපත උදෙසා ක්‍රියාකරමින් අනාගත පරපුරට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීමය. එම වගකීම ඉටුකිරීමට නම් අත්‍යාවශයෙන්ම සිදුකළ යුතුව ඇති දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අප අපගේ අවධානය යොමුකළ යුතුව තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය රජය විසින් සම්මත කරගන්නා අවස්ථාවේ සිට ඊට එරෙහිවත් එය ඉවත්කරගැනීම සඳහා නිරත්තර අරගලයක යෙදෙන්නටත් අපට සිදුවූයේ එනිසා ය. එමෙන්ම රටේ යහපත උදෙසා සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු සමාජ, දේශපාලන පරිවර්තනයන් උදෙසා අප තව දුරටත් පෙනී සිටින්නේත් එබැවිනි.

ඒ සමඟම අප විසින් අවධාරණය කරන අනෙක් වැදගත්ම කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේත් ශිෂ්ඨ සම්පන්න ලෝක ප්‍රජාවගේත් ගෞරවයට හා පැසසුමට ලක්වන 22 වැනි සංශෝධනය වැනි යහපත් දේශපාලන වෙනසකට රජය ක්‍රියාකරමින් සිටියද හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් සිදු කරන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබදව අප කිසිසේත්ම එකග නොවන බවය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *