රටේ ජනප්‍රිය නායකයා අනුර කුමාර ; දෙවනියට රනිල් ; සජිත්, ඩලස් පිටුපසින් – “සොසල් ඉන්ඩිකෙටර් ” ජනමත සමීක්ෂණයෙන් කියයි

රටේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි නායකයා ලෙස වැඩි ම ජනප්‍රසාදයක් හිමි කරගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානය බවත්, සොසල් ඉන්ඩිකෙටර් ආයතනය කළ නවතම ජනමත  සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා තෙවැනි සහ සිව් වැනි ස්ථාන හිමි කරගෙන ඇත.

සමීක්ෂණයට අනුව, ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි දේ කිරීමට නායකයින් කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ සමීක්ෂණයට අනුව පළමු ස්ථානය හිමි කරගෙන ඇති ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට 48.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 36.6% කි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 29.1% ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා 23.7% ක් ද ලබා ගෙන ඇත.

එමෙන් ම වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් දීමට සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියන සංඛ්‍යාව 83.4 % කි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  (CPA) එහි සමීක්ෂණ සහ පර්යේෂණ අංශය වන සොසල් ඉන්ඩිකෙටර් (Social Indicator) මගින් පවත්වන ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලන දර්ශකය- 3 වැනි රැල්ල  සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් මෙම තත්ත්වය පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ, මහජන අත්දැකීම්, අරගලය පිළිබඳ ඔවුන්ගේ මතය සහ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයේ විවිධ පැතිකඩ ග්‍රහණය කර ගැනීමේ අරමුණින් මෙම මත විමසුම සැලසුම් කර තිබිණි.

‘ගෝඨාගෝගම’ අරගලයට නායකත්වය දෙන තරුණයන පිලිබඳ  සංජානනයට අදාළ සමීක්ෂණයේ දී 84.3% ක ජනතාවක් විශ්වාස කරන්නේ එය වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා රට ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්  මෙහෙයවනු ලබන්නේ සිවිල් මනසක් ඇති තරුණයන් විසින් බව ය.

අරගලයට සම්බන්ධ තරුණයන් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට සම්බන්ධ බවට 82%කට ආසන්න පිරිසක් එකඟ නොවෙති.

එසේම රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතුරු සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි කියන  විරෝධතාකරුවන්ගේ/ මහජනතාවගේ ඉල්ලීම්වලට 83.4% ක ජනතාවක් එකඟ වෙති.

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට 75.6% ක ජනතාවක් එකඟ වන අතර 86.9% ක ජනතාවක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට එකඟ වී ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් ගෘහාශ්‍රිත දුෂ්කරතා පිළිබඳ සමීක්ෂණය පෙන්නුම් කරන්නේ නිතිපතා මිල දී ගන්නා ආහාරවල හෝ ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක වෙනසක් ඇති බවට  83.1% ක ජනතාවක් එකඟ වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *