ලෝකයේ දියුණු රටවල ගුරුවරයෙකුට පවා වෛද්‍යවරයෙකු විය හැක. ඒ නිදහසවත් අපේ රටේ නෑ- වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

මේ මොහොතේ රාජපක්ෂගේ කණ්ඩායම තුළ කථා වෙන මාතෘකා කිහිපයක් තිබේ. එයින් එකක් වන්නේ නව ව්‍යවස්ථා ය. දෙවැන්න වන්නේ ඝාතකයින් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීම ය. පසුගිය දවසක නීෂා බිස්වාල් මහත්මියගේ පැමිණිම ද මේකට හේතු වි ඇත. ඇය දකුණු ආසියානු කලාපය භාර ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියකි. ඇය ඇවිත් දුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණඩුවට මතක් කළා ය. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදන බවට ආණ්ඩුව පොරොන්දු දී තිබේ. ජිනිවාවලට ගොස් ඒකාබද්ධ යෝජනවාක් පවා ඉදිරිපත් කර තිබේ. ඒ අපේක්ෂාවන් ඉටුවනතුරු මේ රටේ වින්දිතයෝ බලාගෙන සිටිති. දෙමළ සමාජයේ වින්දිතයෝ වගේම සිංහළ සමාජයේ වින්දිතයෝ ද මේ අතර සිටිති. මුස්ලිම් සමාජයේත් වින්දිතයෝ සිටිති. ප්‍රගීත් එක්නැළිගොඩගේ දරුවෝ තමන්ගේ තාත්තා මැරුවේ කවුද කියලා දැනගන්නට බලාගෙන සිටිති. එහෙනම් ඒ සියලු අයට සාධාරණය ඉටුකළ යුතු ක්‍රමවේදයක් ආණ්ඩුව ස්ථාපිත කළයුතු වේ. ආණ්ඩුව එහෙම එකක් පොරොන්දු වී ඇත. එහෙම පොරොන්දු වූවානම් ඒක කරන්න කියන එක තමයි නිෂා බිස්වාල් ඇවිත් කියන්නේ. හැබැයි ඒක එසේ කියන විට ඒකාබද්ද විපක්ෂය හා සමහර කණඩායම් කියන්නේ නිෂා බිස්වාල් පැමිණ ආණ්ඩුවට ෆෙඩරල් දෙන්න කියන බව ය. හමුදාව පාවා දෙන්නට කියන බව ය. රට බෙදන්න හදන බව පවසා හාමුදුරුවරුන්ව උසි ගන්වති. මේ හදන්නේ නැවතත් ජාතිවාදය අවුස්සන්නට ය. ජනවාරි 8වෙනිදා කුජිත කර, අගෝස්තු 17 ඒ ආකාරයෙන්ම එළවා දැමු අයට නැවත බලය ගන්නට තමයි මේ උත්සහාය. හැබැයි අපි ඒ අයට කියන්නට කැමතියි හීනෙන්වත් එහෙම හිතන්න එපා. එහෙම හිතනවා නම් මේ රටේ සිවිල් සමාජය හා වෘත්තිය සමිති ව්‍යාපාරය එයට ඉඩ දෙන්නේ නැත.
හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය පරාජය කිරීමෙන් පසු ජර්මනිය තවමත් අලුත් වෙමින් තිබේ. නමුත් එවැනි දිර්ග කාලයක් අපිට බලාගෙන ඉන්නට නොහැක. ඒකයි තිබෙන ප්‍රශ්නය. ඒක නිසා අපි කියන්නේ මේ රාජ්‍ය නැවත ප්‍රතිනිර්මාණය කරගත යුතු ය. හැබැයි එහෙම ප්‍රති නිර්මාණය කරන්නට ලැස්ති වූ පිරිසක් නොවෙයි අපි සමග ඉන්නේ. පසුගිය ආණ්ඩුවේ හොරු, මැරයින්, ජඩකම් කළ අය, ඒ ආකාරයටම මේ ආණ්ඩුවේ ද සිටිති. සෑහෙන කාලයක් මහින්ද රාජපක්ෂගේ රෙජිමය මේ රට පාලනය කළේ ය. ඒ පාලනයෙන් පසුව අපි විධායකය වෙනස් කළේ ය. ආණ්ඩුව වෙනස් කළේ ය. මහින්ද රාජපක්ෂගේ වචනය දේව භාෂිතය වෙලා තමයි තිබුනේ. එවැනි රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය කරගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ කියන ආකාරයට තමයි රට හැසිරුනේ. එහෙම හැදූණු රට, එහෙම හැසිරුණු රට, නායකයින් වෙනස් කළ පමණින් ඒ ක්‍රම වේදයන් වෙනස් වෙන්නේ නැත. රට අළුතෙන් නිර්මාණය කළයුතු ය. මහින්ද ගේ පාලනය අනුමත කරන පිරිස් මේ ආණ්ඩුවේ ඇමතිවරු වී සිටිති. ඒ අය තමයි කිව්වේ වසර දෙකකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව. ඒ අයත් දැන් ඒකාබද්ධ විපක්ෂයටම තමා ගැළපෙන්නේ. ඒ අය මේ හයිබ්‍රිඞ් ආණ්ඩුවට ගැලපෙන්නේ නැත.
ඒ වගේම අනූෂ පැල්පිට එලවා දැමුවාට පසුව, ශ්‍රි ලංකා පරිපාලනයේ නිළධාරින් අගමැතිට හා ජනාධිපතිට කියනවා මෙහෙම රාජ්‍ය යන්ත්‍රනය ගෙනියන්නට දෙන්නට නොහැකි බව. එහෙම වැඩ කළ නොහැකි බව. උන් කොහොමත් වැඩකරන්නේ නැත. ඒ අයට ඕනේ කොහොමත් මහින්ද රාජපක්ෂ ය. ඒ අයත් මේ රාජ්‍යය නැවත ප්‍රති නිර්මානය කරන්නට සුදුසු අය නොවෙති. ඒ අය එළවා දමා හෝ අලුත් අය අරගෙන මේ රාජ්‍ය නැවත ප්‍රතිනිර්මානය කළයුතු ය. මේකේ ක්‍රමවේදයන් හරිගැස්විය යුතු ය. එහෙම නැතනම් රටක් විදියට අපිට ඉස්සරහට යන්නට නොහැක. ඒක අභියෝගයක් ලෙස අපිට තිබේ. ඒ අභියෝගය අපි ජයගත යුතු ය. ඒක ජය නොගතහොත් අපිට වෙන්නේ ආණ්ඩුව වෙනස් කළත්. විධායකය වෙනස් කළත්, අපි අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබී ඉච්ඡා භංගත්වයට පත්වෙන්නට ය. එට්කා ගිවිසුම ගත්තත් එහෙමයි. අපි අළුතෙන් සිතන්නට අවශ්‍ය ය. රාජ්‍යයන් අතර වෙළද ගිවිසුම් ඉතිහාසයේ දි තිබුණි. ඉන්දියාවත් සමග දැණුත් ගිවිසුම් ඇත. අලුත් එකක් අත්සන් කළා කියා මහලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැත. රටේ ආර්ථිකය හදාගන්නට අවශ්‍ය ය. සයිටම් ගත්තත් එහෙමයි. නිදහස් අධ්‍යපනය කියන්නේ කැමති කෙනෙකුට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඇති අයිතිය වේ. ඒ නිසා ඒකට නිදහස දියයුතු ය. එහෙම නැතිව ආණ්ඩුවක් සියලු දරුවන්ට එක හෙලා, එක විදියට උගන්වන්නට ඕනේ කියනවා නම් ලෝකයේ එහෙම කළ රටක් නැත.
ලක්ෂ 3ක් විභාගය ලියති. එයින් 26000යි විශ්ව විද්‍යලවලට යන්නේ. අනික් 2,74000කට මොනවාද කරන්නට කියන්නේ. මං පහරන්නට කියනවාද? කුඩු විකුණන්නට කියනවා ද? මොනවා ද? ඒ දරුවෝ වෙනුවෙන් හදන්නේ. ලෝකයේ දියුණු රටවල ඉංජිනේරුවෙකුට පුලුවන් වෛද්‍යවරයෙකු වන්නට. ලෝකයේ දියුණු රටවල ගුරුවරයෙකුට වෛද්‍යවරයෙකු විය හැක. ඒ නිදහසවත් අපේ රටේ නැත. ඒ රටවල අධ්‍යපනය හැදුවේ කෙසේද? සෞඛ්‍ය හැදුවේ කෙසේ ? ඒ ජනතාව බදු ගෙවති. බදු ගෙවන්නේ කැමැත්තෙනි. බදු ගැසුවත් බද්දට සාධාරණයක් ඉටුවන බව ඒ අය දනිති. අපේ රටේ බද්ද ගැසුවාම ඒකට සාධාරණයක් ඉටු නොවන නිසායි අපේ මිනිස්සු බද්දට එරෙහි වන්නනේ. නැත්නම් බදු නැතිව රටවල් දුවන්නට නොහැක. ඒ නිසා මේ හැම දෙයක් ගැන අපි අලුතෙන් සිතිය යුතු ය. අලුතෙන් නොසිතුවහොත් ඉතිරි වන්නේ ප්‍රශ්න පමණි.
මෙයට අමතරව මම කැමතියි මේ දිනවල අත්අඩංගුවට ගැනීම් ගැන ද යමක් කියන්නට. පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා නාමල් ජරාජපක්ෂ අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත්වෙනවා වගේම අපි දුටුවා පසුව ඔහු ඇප පිට නිදහස්වන බව. ඇප පිට නිදහස් වෙනවා පමණක් නොව ඇපපිට නිදහස් වී ජනතාවට ආචාර කරමින් ඉතාම සංතෝසයෙන් අත්අඩංගුවට ගත් අයව සම්චචලයට ලක්කළේ ය. මහින්ද රාජපක්ෂ මහත්මයත්, එක අවස්ථාවක මගේ පුතා අත්අඩංගුවට ගත්තා දැන් සංතෝෂයක් තියෙනවා ද කියා ඇසුවේ ය. ඇත්තටම අපිට මේ ගැන තිබෙන්නේ සංතෝෂයකට වඩා කණගාටුවකි. මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් මේ රටේ බිලියන ගණනක් මංකොල්ල කෑ බව ඉතා පැහැදිළි ය. මුදල් ශූද්ධිකරණය යන කාරණාව යටතේ, මුදල් අවභාවිතාව කියන කාරණාව යටතේ නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්නේ.
දැන් අපිට තිබෙන ප්‍රශ්නය තමයි අත්අඩංගුවට ගන්නවා වගේම ඉක්මනින් නිදහස් වෙනවා. ඊට පසු අපිව සමච්චලයට ලක්වෙනවා. නාමල් රාජපක්ෂ එලියට යනවා. ජනතාවටත් තියෙන ප්‍රශ්නයක් තමයි එකෙකුටවත් විරුද්ධව හරියට මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැති එක. යහපාලනය සැප ද කියා අසන්නේ ත්, ඒ නිසාය.
හැබැයි මහින්ද රාජපක්ෂ, ජෙනරාල් සරත් ෆොන්සේකාට කළ ආකාරයට මේ ආණ්ඩුවට වැඩකරන්නට හැකියාවක් නැත. ඒ වගේම මේ ආණ්ඩුවට එහෙම වැඩකරන්නට අයිතියකුත් නැත. මක්නිසා ද යත්, නීතිය ගරු කළයුතු ආණ්ඩුවක් තමයි අපිට අවශ්‍ය වූයේ. අපි එහෙම විධායකයකට තමයි මෛත්‍රිපාල සිරිසේන ගෙනල්ලා ජනාධිපති කළේ. එහෙම ආණ්ඩුවකට තමයි අපි රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කළේ. ඒ අයට වැඩකරන්නට වෙන්නේ ක්‍රමවේදයන් තුළ ය. නීතියේ ආධිපත්‍ය තුළ ය. යුක්තිය පසිඳලන ආයතන වලට ස්වාධිනව වැඩකරන්නට තිබෙන නිදහසක් තුළ ය. එහෙම නැතිව රෑට අවශ්‍ය යැයි කියා උදේට කථා කර කුදලා හිරේට දාපන් කියන නීති ක්‍රියාත්මක කරන්නට කවුරුවත් මේ ආණ්ඩුව තුළ නොසිටිය යුතු ය. ඒකයි මේ අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වන්නේ. අත්අඩංගුවට ගත් පසු නිදහස් වන්නේ. නඩු කල්යන්නේ. ඒ වගේම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා ද මේවා කල්යති. ඒකත් සත්‍යකි. ආණ්ඩුවට මේවා සම්බන්ධවෙන් තියෙන ඕනෑකම පිලිබඳව ද අපිටත් ප්‍රශ්නයක් තිබේ. හැබැයි මේවා ඉතාම කඩිනම් කළයුතු කාරනා විදියටයි ජනතාව සහ අපි දකින්නේ. අපි කැමති නෑ නඩරාජා රවිරාජ්ගේ මරණය ගැන හොයන එක දිගින් දිගටම කල්යන එකට. අපි කැමති නෑ ප්‍රගීත් එක්නැළිගොඩගේ මරණය කවුද කළේ කියන කාරණාව හෙළිදරව් වෙන එක දිගටම කල්යනවාට. අපි කැමති නෑ ධර්මරත්නම් සිවරාම්ගේ මරණය කවුද කළේ කියන එක හෙළිදරව්වෙන එක දිගින් දිගටම කල්යනවාට. ඒ වගේම ජෝශප් පරරාජ සිංහම්ගේ මිනීමරුවන් හෙළිදරව්වෙන එක දිගටම කල්යනවාට අපි කැමැති නෑ. තාජුඩීන්ටත් එහෙමයි. ලසන්ත වික්‍රමතංගටත් එහෙමයි. ඒ සියලු අයගේ ඝාතකයින් වහා වහා හෙලිදරව් කළයුතු යි. නැතිනම් යහපාලනයක් ඇති කළ නොහැක.
අනික් පැත්තෙන් අපි කැමති ද සිරිළිය ගිණුමට සම්බන්ධ ඒ කාන්තාව එළියේ හොඳින් වැජඹි සිටිනවා දකින්නට. ආණ්ඩුවේ අනුකම්පාවේ අනුහසින් තමයි ඒක සිද්ධවුණේ. අපි කැමති ද සිල්රෙදි වංචාවේ වංචනිකයින් එළියේ සිට අපිව සමච්චලයට ලක් කරනවාට. අපි කැමති නෑ මේ සියලුම දේවලට. අපි කැමති ද දිවි නැගුමේ හොරකම් කළ වුන් ඉක්මනින් හෙළි දරව් නොවි සිටීම ගැන. නෑ අපි කැමති නැත. ඒ වගේම තමයි විමල් වීරවංශලා ඥාතීන්ට නිවාස හදා දුන් ඒවා හෙළිදරව් වෙන එක කල්දානවාට අපි කැමති ද? නැත. අප පමණක් නොව ජනතාව ද කැමති නැත. එහෙනම් මේ සියලු දේවල් ඉතාම ඉක්මනින් හෙළිදරව් කරගත යුතු ය. ඒවා හෙළිදරව් කළයුතු බව අපි කියන්නේ ඒ අය සමග තිබෙන පෞද්ගලික වෛරයක් නිසා ද? එහෙම එකක් අපිට නැත. ඒ කළ දේවල් ඉක්මනින් හෙලිදරව් කර නොගතතොත්, ඒ අයට දඩුවම් නොදුන්නොත්, වර්තමාන ආණ්ඩුවේ අය කරන්නෙත් ඒකම තමයි. ඒ ආණ්ඩුවේ සිටි අයගෙන් පිරිසක් මේ ආණ්ඩුවේ ද සිටිති. ඒ අනුව බැලු කළ විශාල වෙනසක් සිදු වී ද නැත. නමුත් පවතින තත්ත්වය තුළ මේ වැඬේ කරගන්න වෙන්නෙත් මේ අයගෙනි. ඒකයි අපි කියන්නේ ක්‍රමවේද හැදිය යුතු බව. ඒකයි අපි කියන්නේ මේවා ඉක්මනින් අවසන් කළයුතු බව. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කාරණා සම්බන්ධයෙන් යුත්කිය පසිඳාුලන්නට විශේෂ අධිකරණ පද්ධතියක් අවශ්‍ය බව. හැබැයි ඒක අර අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව වගේ එකක් නොව, දැන් තිබෙන අධිකරණ ක්‍රමය වෙනස් කළයුතු ය. දැන් අධිකරණයක් ගතහොත් ඒකේ ඉඩම් නඩුවත් අසති. ස්ත්‍රි දූෂණ නඩුවත් අසති. ළමා අපචාර සම්බන්ධව ආවත් ඒකත් අසති. හැම එකම ඒ අධිකරණයේ අසති. මෙතනට බිලියන ගණනක දූෂණ නඩුවක් පැමිණියත්, ඒක මාස 8කට පමණ කල්දමති. එවිට මේ එක නඩුවක්වත් අවුරුදු තුන හතරකින්වත් අවසන් කරන්නට හැකි වන්නේ නැත. ඒක මහින්ද රාජපක්ෂත් දනිති. බැසිල් රාජපක්ෂත් දනිති. නඩු ගොනු කරන්නට වසර එකහමාරක් ගියා නම්, නඩු අහලා ඉවර වෙන්නට තව වසර තුන හතකරක් ගතවේ.
එවිට ඊ ළග මැතිවණය පැමිණේ. ඊ ළග මැතිවරණයේ දී මේ රටෙන් කොල්ලකාගත්ත බිලියන ගනන් ධනය වියදම් කර නැවත බලයට පත්වූවහොත් මේ නඩු කිසිදවසක ඇහෙන්නේ නැති බව මහින්ද රාජපක්ෂලා දනිති. අපිට අවශ්‍ය ඒක කරගන්නට නොවේ. අපිට අවශ්‍ය ඒ කොල්ල කාපු අයට දඩුවම් දෙනවා වගේම මේ අය කරන දේවලුත් නතර කරන්නට, මේ අය ඒ වගේ දේ කළහොත් ඒ අයත් නී්තිය ඉදිරියට යවන්නට තමයි අපිට අවශ්‍ය. ඒ අභිලාශය වෙනුවෙන් තමයි අපි කියන්නේ විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරන ලෙස. ඒක මේ තියෙන අධිකරණයේ ම අධිකරණ කිහිපයක්, මේ නඩු වෙනුවෙන් පමණක් වෙන්කර දිිනපතා ඒ නඩු මේ අධිකරණය තුළ අහන්නට පුළුවන. එතකොට ජනතාවට දැනගන්නට පුළුවන් කවුද වැරදි කළේ, කවුද නිවැරදි දේ කළේ යන්න. ඒක මේ මොහොතේ අත්‍යවශ දෙයක් බව අපි අමතක නොකළ යුතු යි.
මේ ආණ්ඩුව පත්කළ කලපසු මොකුත් සිදු නොවුනේ ද? නැත, වැදගත් දේ සිදුවිය. 19 සංශෝධනය ගෙනාවේ ය.. තොරතුරු දැනගැනිමේ පනත ගෙනාවේ ය. ඒ වගේම විගණන පනත සූදානම්කර ඇත. ඒවා ඉදිරියේ දි කරගත යුතු ය. අපිට කරගන්නට හුගක් දේවල් ඇත.. ඒ හැම දෙයක් ගැන ම හරි දැක්මක් ඇතිව, අපි බලාගෙන සිටිය යුතු ය. එක එක්කෙනා කියන දේවල් ඒ ආකාරයටම අපි පිළිනොගෙන, අපේ විඤ්ඤානයෙන් අපි එකට වැඩකළ යුතු වේ. ඒ වෙනුවෙන් පත් කල විධායකය, පත්කළ ආණ්ඩුව හරි පීල්ලේ යවන්නට අපි ලෑස්ති ය. වැරදි පීල්ලේ යනවා නම් හරි පීල්ලට දාන්නත් අපි ලෑස්තිය. ඒ සඳහා ජනවාරි 8 පෙලගැසුනු බලවේග නැවත් ඉදිරියට පැමිණිය යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *