රනිල් ජනපති වෙනවා කිව්වම මට පිස්සු කිව්වා – එජාප සභාපති වජිර අබේවර්ධන

 

 

රනිල් වික්‍රමසිංහ ජනපති වන බව මාස දෙක තුනකට පෙර නිශ්චිතව ප්‍රකාශ කළේ එජාප සභාපති වජිර අබේවර්ධනය. රනිල් ජනපති කිරීම පිටුපස ඡන්ද සටනේ ප්‍රධානියා වූ ඔහු මන්ත්‍රිවරු සමග ඩීල් දැමූ බවද පැවසුණි. ඒ සඳහා ඔහු ව්‍යාපාරිකයන් සමගද ඩීල් දැමූ බවටද කතාවක් පැතිර ගියේය. මේ කතා කෙසේ වෙතත් රනිල් ජනාධිපති වූ පසු එජාපයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පත් වූයේ වජිරය. මේ ඒ ගැන ඔහු අරුණ සමග කළ කතාබහකි.

ඔබට සාත්තර කියන්න පුළුවන්නෙ.?

ඔව්. දේශපාලන සාත්තර කියන්න පුළුවන්. එක මන්ත්‍රි ධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනපති වෙනවා කියලා මම මාස කීපයකට පෙර කීවා. එය හරි ගියා. දේශපාලන පර් යේෂණයක් අනුව තමයි මම ඒ සාත්තරේ කීවේ.

එම පර් යේෂණ කරන්නේ ඔබද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මා ඇතුළු කණ්ඩායමක් 2019 දී මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණා. ඒ වෙලාවේ මම ඇහුවා අපට කවදද ආය බලය ගන්න පුළුවන් කියලා. එතුමා මට කීවා 2023 වන විට බලය ගන්න පුළුවන් කියලා.

ඒ සඳහා බලපාන හේතු රනිල් පැහැදිලි කළාද?

ඔව්. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා යහපාලන කාලේ අපි කරගෙන ආපු වැඩ මේ ආණ්ඩුව නතර කරලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැති කරගෙන තියෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇතුළු ආධාර දෙන කණ්ඩායම්වල සහාය නැති කරගෙන තිබෙනවා. ඒ නිසා මේ අයට ආණ්ඩුව කරගෙන යන්න බෑ. සල්ලි නෑ. 2023 වනවිට රට පාලනය කරන්න වෙන්නේ අපිට කියා එතුමා ප්‍රකාශ කළා. 2021 වර්ෂයට ඩොලර් මිලියන 3000ක් අවශ්‍ය වෙලා තිබුණා. 2022 වර්ෂයට ඩොලර් මිලියන 6000ක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ ජාත්‍යන්තර මුදල් සොයා ගැනීම නොකරන බව පෙනී ගියා. රට වැටෙනවා කියා අපි දැක්කා. යළි රට ගොඩ නගන්න නායකයෙක් අවශ්‍ය නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත් කළේ. රටේ ප්‍රශ්න අවසන් කරන්න එතුමාට පුළුවන් නිසා තමයි මම කීවේ එක ආසනයයි. අගමැති වෙලා ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ලෝකයේ රටවල් ගණනාවක මෙවැනි දේශපාලන විපර්යාස සිදු වෙලා තියෙනවා.

ජනාධිපතිවරයාට රටේ පවතින ප්‍රශ්න අවසන් කරන්න පුළුවන් කියා ඔබ හිතනවාද?

මාස හයක් ඉවසීමෙන් බලා ගෙන ඉන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවිට රට ඉහළට ඔසවා තියයි. එය කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි.

තනි මන්ත්‍රි රටේ ජනාධිපති ධුරයට පත් වන බව ඔබ කියන විට පක්ෂයෙන් හා සමාජයෙන් විරෝධයක් මතු වුණේ නැද්ද?

මාධ්‍යයම මෙම ප්‍රකාශය හෑල්ලුවට ගත්තා. කාටුන් විශාල ප්‍රමාණයක් ඇන්දා. අන්තිම කාටුනයේ තිබුණේ ‘‘වජිරට පිස්සු හොඳටම තද වෙලා කියලයි. නමුත් මම ඒ ගැන සතුටින් බැලුවේ. ඉන් පස්සේ මම කීවා මන්ත්‍රිවරු දෙසිය විසි පහම ගෙදර යන්න රනිල්ට රට භාර දෙන්න කියලා. පක්ෂයෙන්ද විරෝධතා ආවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය පටන් ගන්න කොට සාමාජිකයන් ප්‍රකාශ කළා මොනවද ඔයා කරන්නේ අපිට පාරේ බැහැල යන්න බැහැ කියලා. මම අහගෙන හිටියා. සත්‍ය අද ඔප්පු වෙලා තිබෙනවා. කාගෙවත් දක්ෂකම නොවෙයි. මෙය නායකයාගේ දක්ෂතාවයි. නායකයාට යන්න පාර හැදුවා. පක්ෂයේ නිලධාරී මණ්ඩලය කවුරුවත් කකුලෙන් ඇද්දේ නැහැ. නායකයා ගමන් කරන මාර්ගය අපි එළිපෙහෙළි කළා පමණයි.

රනිල් ජනපති වුණේ රාජපක්ෂලා සමග කළ ඩීල් එකකින් නොවෙයිද?

ඕනෑම ක්‍රියාවලියක් දිහා බැලුවම ඩීල් එකක් කියා හිතන්න පුළුවන්. සමහරු කියනවා මෙය රාජපක්ෂලා රකින්න කරපු වැඩක් කියලා. බොළඳ සටන් පාඨ රාජපක්ෂලා රකිනවා නම් යහපාලන කාලයේ රාජපක්ෂලා කී පාරක් හිරේ දැම්මද? රාජපක්ෂලා හිරේ දැම්මේ තරහකට නෙවෙයි. නීතියට අනුවයි. නඩු තුන්සියයක් විතර ගොනු කළා. නමුත් මැතිවරණයේදී යළි රාජපක්ෂලාටම බලය ලැබුණා. බොළඳ සටන් පාඨ නිසා තමයි ලංකාව විනාශ වෙලා තියෙන්නේ. අපහාස කිරීමේ අවස්ථාව ‘ෆේස් බුක්’ වලින් ලබා දී තියෙනවා. චරිත ඝාතනත් කරනවා. අපේ රටත් සිංගප්පූරුවක්, ජපානයක් කරන්න බලාපොරොත්තු වෙනවනම් නීතිරීති ගෙන ආ යුතුයි. ෆේස් බුක් එක නිසි ලෙස භාවිත කරනවා නම් හරිම වැදගත්. එහෙම අපහාස කරමින් ​බොළඳ සටන් පාඨ ගේන අයට මම කියන්නේ ‘සුවපත් වේවා’ කියලයි.

ඔබත් ඩීල් කාරයෙක් ලෙස චෝදනා එල්ල වෙනවා.?

පැහැදිලිවම මගේ ඩීල් එක තියෙන්නෙ ජනතාව සමග පමණයි. ගනුදෙනු කරන්නේ ඔවුන් සමගයි. පක්ෂයක සිටිනවා නම් පක්ෂ නායකයා සමග ගනුදෙනු කළ යුතුයි. අතරමැදි කතා අනවශ්‍යයි.

රාජපක්ෂලා සමග ගනුදෙනු කළ ප්‍රබල ව්‍යාපාරිකයන් සමග ඔබට ඩීල් එකක් තියෙනවද? මන්ත්‍රිවරු ගන්න මුදල් වියදම් කළා කියලත් විපක්ෂය චෝදනා කරනවා. ?

එහෙම කිසිම චෝදනාවක් නැහැ. ඔවුන් සමග ඩීල් එකකුත් නැහැ. දේශපාලන විග්‍රහයක් තුළ පමණයි මම කටයුතු කරන්නේ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී මහජන නියෝජිතයන් සමග මම කතා කළා. ඔවුන් සියලු දෙනා ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී රට ගොඩ ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට පමණයි කියලා. කවුරු මොන කොන්දේසි පැනවුවත් අපි ඡන්දෙ දෙන්නෙ රනිල්ට කියලා මන්ත්‍රිවරු එකසිය පනහක් විතර එදා කීවා. මුදලට කරන්න පුළුවන් දෙයක් නම් බොහෝ අය ජයග්‍රහණය කරයි. අපි මතවාදයක් සිතුවිලි සමග ක්‍රියා කළේ. මුදලට වඩා මතවාදය හා සිතුවිලි බලවත්.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට ඔබම තෝරා ගත්තේ ඇයි?

මෙම තෝරා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි මතයට වුණේ නැහැ. පක්ෂයේ සියලු දෙනා ඒකමතිකව තීරණය කළේ මම මන්ත්‍රි ධුරයට යා යුතුයි කියලයි. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පෙර දින ජනාධිපතිවරයා සමග පක්ෂයේ නිලධාරී මණ්ඩලය සාකච්ඡාවක් පැවැත්වුවා. පක්ෂයේ ඉදිරි ගමන් මග ගැන තමයි එකතු වෙලා අපි කතා කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනවාද?

එය ජනාධිපතිවරයා ගන්න ඕන තීරණයක්. ජනාධිපතිවරයාගේ තීරණය සමග මම ඉදිරියට යනවා.

ඔබට ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධුරය ලැබෙනව නේද?

මම දන්නෙ නැහැ. ජනාධිපතිවරයාගේ විෂයය මට කතා කරන්න අයිතියක් නැහැ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමේ වැඩපිළිවෙළ කොහොමද?

සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. පක්ෂ සමග සාකච්ඡා කිරීම ආරම්භ කළා.

සර්ව පාක්ෂික ආණ්ඩුව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.?

ඒ ගැන මට මොකුත් කියන්න බැහැ. ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා සමගි ජන බලවේගය සතුව ඇති සුවිශේෂී හැකියාව ඔවුන්ගෙන්ම අහන්න ඕනි. සියලු පක්ෂ සමග අපි කතා කරනවා. කිසියම් පක්ෂයක් අපි අතහැර යනවා නම් ඔවුන්ගේ අරමුණු ජනතාව සොයා බැලිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවාද?

පක්ෂයේ නායකයා සමත් වෙලා තියෙනවා වසර විසි අටකට පසු ජනාධිපතිවරයකු බිහි කිරීමට. දැන් එතුමාගේ වැඩ ඉවරයි. නිලධාරී මණ්ඩලයේ වැඩ තියෙන්නේ දැන් තමයි. පාක්ෂිකයොත් දැන ගන්න ඕනි තමන්ගේ ආණ්ඩුවක් හදන්න අවශ්‍ය පියවර ගම් මට්ටමින් ගන්න.

සමගි ජන බලවේගය හා අරගලකරුවන් ඉල්ලීමක් කරනවා මාස හයකින් මැතිවරණයක් පැවැත්විය යුතුයි කියා. ඔබගේ මතය කුමක්ද?

මේ වෙලාව මැතිවරණයක් තියන්න අපි නම් කතා කරන්නෙ නැහැ. මහජනතාව තවම ඉන්ධන පෝලිම්වල. කර්මාන්ත ශාලා හරියට ආරම්භ කරන්න බැරි වෙලා තියෙනවා. රට බංකොලොත් වෙලා. බංකොලොත් රටක රාජකාරිය වෙනස්. රට බංකොලොත් භාවයෙන් මුදා ගත යුතුයි. ඉන්පසු ප්‍රජාන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතුයි. මන්ත්‍රිවරුන්ගේ නිවාස ගිනි තියලා තියෙනවා. ගම්වලත් නිවාස ගිනි තියලා. ගිනි තැබූ නිවාස ඉදි කරන්න​ ලෝකයෙන් ආධාරයක් ලබා ගත යුතුයි. යළි එම නිවාස ඉදි කළ යුතුයි. නැතිනම් අනාගතයේ දේශපාලනයට එන්න බලාපොරොත්තු වන අය බය වෙනවා. එම නිසයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුත්තේ. නීතිය හා සාමය පිහිටුවීමෙන් පසු මැතිවරණය ගැන කතා කරන්න පුළුවන්.

පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් වෙයිද?

වසර දෙකක් පොහොර දැකපු නැති ගොවීන් දැන් පොහොර දකිනවා. ගෑස් අඛණ්ඩව දෙනවා. ගෑස් පෝලිම් ඉවරයි. ඉන්ධන ප්‍රශ්නය විසඳීම ගැන කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. සිකුරාදා පෙරවරුවේත් ඒ ගැන සාකච්ඡාවක් තිබුණා. මම දන්න තරමින් ඉදිරි කාලයට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට ජනාධිපතිවරයා පියවර ගන්නවා.

අරගලයට මොකද වෙන්නෙ?

අරගලයේ තිබුණු සුන්දර යෝජනා හා අදහස්වලට අපි ගරු කරනවා. ඒවා භාර ගන්නවා. අරගලයේ තිබෙන ත්‍රස්තවාදය, පැසිස්ට්වාදය අපි පරාජය කළ යුතුයි.

උදයජීව ඒකනායක

අරුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *