සමගි ජන බලවේගයේ ගෙම්බෝ කවුද ?
පසුගේය සතියේ වඩාත් ආන්දෝලනාත්මක සහ විවාදාත්මක සිදුවීම වුයේ කොළඹ ගෝල්ෆේස් හි ජනාධිපති ලේකමි කාර්යාලය මුදාගැනීමේ හමුදා පොලිස් මෙහෙයුම යි. එය සිදුවුයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී පැය විසිහතරක් ගත වීමට ද මත්තෙනි.
22 දා ,සිකුරාදා පාන්දර විශාල පොලිස් සහ හමුදා බල ඇණියක් ජනාධිපති කාර්යාලයට පැමිණ එහි රැඳී සිටි අරගල කරුවන්ට පහර දී පලවා හැරියේ ය. එල්ල වුයේ දරුණු ප්‍රහාරයකි. එයින් ජනාධිපති කාර්යාලය මුදා ගැනීමට හැකි වුව ද, දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් එම ක්‍රියාව හෙළා දැකීමට බොහෝ සංවිධාන සහ තානාපතිවරු ඉදිරිපත් වු හ. ඇමෙරිකානු, යුරෝපා සංගම් , සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ ඒ අතරට එක් වූ හ.
අරගලකරුවන් කීවේ ගෝඨාගෝගමට ප්‍රහාරය එල්ල වූ බව යි. ආණ්ඩුව සහ පොලිසිය කීවේ ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල නොකළ බව යි. ජනාධිපති කාර්යාලය නිදහස් කර ගැනීම පමණක් සිදු කළ බව යි. ජනාධිපති කාර්යාලය එදින භාරදෙන බව දැනුම් දී තිබිය දී ප්‍රහාරය එල්ල කිරීම අරගලකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි.
රනිල්ම පිළිතුරු දෙයි
මෙම සිදුවීමට එල්ල වන විරෝධය බරපතළ බව ආණ්ඩුවට ද වැටහුණු බව පෙනී ගියේ, පළමුව පොලිසියත් පසුව ජනාධිපතිවරයාත් එයට පිළිතුරු දීමට ඉදිරිපත් වීමෙනි. පොලිසිය වීඩියෝ දර්ශන සහිතව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයෙන් ඉවත්වන ලෙස අවස්ථා තුනක දී පොලිසිය ඉල්ලීම් කළ ද අරගලකරුවන් එයට අවනත නොවූ බව යි. එමෙන් ම, පොලිස් නිලධාරීන්ට අවමන් කළ බව ද, එහි දී සඳහන් වී ය.
ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරු දීමට ඉදිරිපත් වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ම ය. මෙරට විදේශීය තානාපති නිලධාරීන් ගෙන්වා ඔවුන්ට කරුණු කීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. රජයේ ප්‍රධාන කාර්යාලයක් අල්ලාගෙන සිටීමට කිසිදු රටක් ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චාන්ග් ප්‍රකාශ කළේ අරගලකරුවන් ඉවත් කළ ආකාරය තමන්ට පිළිගත නොහැකි බව යි.
ඉවත් වුණු අරගලකරුවෝ
අරගල භූමියට මෙලෙස ප්‍රහාර එල්ල වුයේ, බොහෝ ස්ථානවලින් අරගලකරුවන් ඉවත්වෙමින් සහ පසු බසිමින් සිටිය දී ය. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය, ඒ වන විටත් ආපසු භාර දී තිබිණි. අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබු නෝඩීල්ගම ආරම්භ කොට තිබු උපවාසය නවතා එහි අට්ටාල ද ඉවත්කර ගනිමින් අරගලකරුවෝ ඉවත්ව ගියහ. මහනුවර ඇතුළු වෙනත් ප්‍රදේශවල ආරම්භ කර තිබු අරගල ගම්මාන එකින් එක ඉවත් කර ගනිමින් තිබිණි.
එමෙන් ම, ඇතැම් කණ්ඩායම් අරගලයෙන් ඉවත්වෙමින් සිටියේය. ඇතැම් නායකයින් කීවේ අරගලය දැන් අවසන් කොට වෙනත් උපාය මාර්ග වෙත මාරු විය යුතු බව යි. අරගලය දිගට ම ගෙන යා යුතු බව කී පිරිස අතර ඇතැම් නායකයින් කීවේ මොවුන් අරගලය දිය කරන්නට ආණ්ඩුව කල් තබා ඒවා තිබු පිරිසක් බව යි.
අරගල භූමියෙන් පිරිස් ඉවත්ව යන බවක් ද පෙනෙන්නට තිබිණි. එහි සංකේතාත්මක ප්‍රකාශනය නම් ආරම්භයේ සිට එහි රැඳී සිටි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තම සේවා ස්ථානයත් රැගෙන ඉවත්ව යාම යි.
හුදෙකලා හර්තාලය
පිරිසක් කීවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග අරගලයේ වෙනසක් සිදුවිය යුතු බව යි. තවත් පිරිසකට අවශ්‍ය වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව යන තුරු අරගලය ඉදිරියට ගෙන යාමට යි. කෙසේ වෙතත්, රනිල්ට ඉවත්වන ලෙස බල කරන්නට ජුලි 19 සහ 20 දිනවල කැඳ වූ දැවැන්ත හර්තාල් ව්‍යාපාර ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වුයේ නැත.
අරගලකරුවන් ඒ වනවිට රැඳී සිටියේ ජනාධිපති මන්දිරයේ සහ ගෝඨාගෝගම ප්‍රදේශයේ පමණී. කුමන හෝ හේතුවක් නිසා ජනාධිපති කාර්යාලය ආපසු භාර දීම අරගලකරුවන් විසින් කල් දමමින් සිටි බව පෙනෙන්නට තිබිණි.
මෙම තත්ත්වය තුළ ජනාධිපති කාර්යාලය නිදහස් කර ගැනීමේ ක්‍රියාන්විතය යම් පමණකට සාධාරණීකරණය වුව ද, අරගලකරුවන්ට කළ පහරදීම ගැන පළවුයේ දැඩි අප්‍රසාදයකි. ජනාධිපති කාර්යාලය නිදහස් කරගත් ආකාරය තමන්ට පිළිගත නොහැකි බවට ඇමෙරිකානු තානාපතිනිය කීවේ එම කතාව යි.
නව අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීම සහ ඇමති මණ්ඩලය දිවුරුම් දීම 22 දා , සිකුරදා සිදුවිය. එතෙක් සිටි ඇමති මණ්ඩලය ම නැවත දිවුරුම් දීම සිදුවුයේ වෙනස්කම් දෙකක් සමග ය.
ජීඑල්ගේ වැරදි අස්වයා
පළමුවැනි වෙනස නම් මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ ඇමති ධුරය අහිමි වීම යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වූ ඔහු අනුප්‍රාප්තික ජනාධිපති තෙරීමේ ඡන්දයේ දී පක්ෂ නායකයින්ගේ මතයට එරෙහි වෙමින් ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව කටයුතු කළේ පක්ෂ ලේකම්ගේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමිනි. කෙසේ වෙතත්, වැරදි අස්වයාට ඔට්ටු ඇල්ලු මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ ඇමති ධුරය අහිමි වූ අතර නව විදේශ ඇමති ලෙස දිවුරුම් දුන්නේ හිටපු අධිකරණ සහ මුදල් ඇමති අලි සබ්‍රි මහතා ය.
අනෙක් අකරතැබ්බය සිදුව තිබුණේ, බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් වී ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ කටයුතු ඇමති ලෙස පත් වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ය. ඇමතිකම ලබාගෙන සතියක් ගතවන්නට පෙර ධම්මික පෙරේරා මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත්විය යුතු බව යි. දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වුයේ ධම්මික පෙරේරා ගෙනාවේ, රනිල් පාලනය කරන්නට බව යි. ඔහු රනිල්ට යන්න කීවේ ඉහළ හයියක් ඇතිව බව එකල තිබු විශ්වාසය යි.
එම විශ්වාසය තහවුරු වුයේ රනිල්ට යන්න කියා දින කිහිපයක් යන්නට පෙර ධම්මික ඇමතිවරයා යටතට තවත් ආයතන කිහිපයක් පවරා ගැසට් නිවේදනයක් නිකුත් වීමෙනි.
ධම්මිකත් නොවෙයාර්
කෙසේ වෙතත්, දේශපාලන චිත්‍රය උඩු යටිකුරු වන්නට සති කිහිපයක්වත් ගතවුයේ නැත. මුදල් ඇමති ධුරයෙන් එලවන්නට ධම්මික පෙරේරා මහතා උත්සහ දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වුයේ අදහාගත නොහැකි සිදුවීම් මාලාවකිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමත් සමග ධම්මික පෙරේරා මහතාගේ තීරණය වී තිබුණේ ඇමති ධුරයෙන් මෙන් ම, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වීම යි. එම ආරංචිය පැතිර යාමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ එම මන්ත්‍රී ධුරයට පත්වීමේ තරඟයක් නිර්මාණය වී ය. ඒ එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා , හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ පක්ෂයේ තවත් ප්‍රබලයකු වන සිරිපාල අමරසිංහ මහත්වරුන් අතර ය. ඔවුන් තම තමන් වෙනුවෙන් විවිධ පිරිස් ලවා බලපෑම් කළේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට සහ පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට ය.
එම අභ්‍යන්තර ගැටුම නිසා හෝ නැතහොත් වෙනත් අනාගත අරමුණක් වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ධම්මික පෙරේරා මහතාට උපදෙස් දුන්නේ ඉල්ලා අස්වීමට ඉක්මන් නොවන ලෙස යි.
රනිල් ගැන මහින්දගෙන් චරිත සහතික
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ද, ධම්මික පෙරේරා මහතා අමතා අවවාදයක් කළේ ය. ඒ මහතා කීවේ “ රනිල් කියන්නේ පරිනත නායකයෙක් , ඔයා කියපු දේවල් එයා ලොකුවට ගන්නේ නැහැ , ඔයා කලබල නොවී ඉන්න” යනුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා රනිල් ගැන ධම්මිකට දුන් සහතිකය එබඳු ය.
ඇමති මණ්ඩලය පසුගිය 22 දා දිවුරුම් දුන්නේ මෙම කතා බහ මෙලෙස සිදුවන්නට පෙරාතුව ය. එහි දී ධම්මික පෙරේරා මහතා ඇමති තනතුරේ දිවුරුම් නොදුන් අතර එම ඇමති ධුරයට වෙනත් කිසිවකු පත් කළේ ද නැත.
මැතිවරණය පරාද වී, ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තුවට පැමිණ අගමැති සහ ජනාධිපති තනතුරුවලට පත්වීමේ මහා මොලය රනිල් වික්‍රමසිංහ මහතාගේ ම නම්, එම සැලසුම් සියුම් ලෙස ක්‍රියාවට නැගීමේ කාර්යයේ ප්‍රධාන කාර්යභාරයක් කළේ පක්ෂයේ සභාපති තනතුරට පත් වූ වජිර අබේවර්ධන මහතා බව දැන් රහසක් නොවේ. මෙම පෙරළිය සිදුවුයේ විශාල මහජන නැගිටීමකින් පසු වුව ද, රනිල් අගමැති වන බව වජිර කීවේ වසරකට කලින් බව කවුරුත් දන්නා කාරණයකි. රනිල් ජනාධිපති වෙන්නත් පුළුවන් බව ද, ඔහු පසුව ප්‍රකාශ කළේ ය. එම අනාවැකි සියල්ල දැන් සත්‍ය වී ඇත්තේ කිසිවෙකු විශ්වාස නොකළ ආකාරයෙනි.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයේ ද, විශාල වැඩ කොටසක් කළේ වජිර අබේවර්ධන මහතා බව දැන් රහසක් නොවේ.
වජිරගේ ඩීල් සහ ගේම්
දේශපාලන ලෝකයේ වජිර ප්‍රකටව ඇත්තේ, ඩීල් කාරයකු, ගේම් කාරයකු වශයෙනි. ඒ මහතා ද එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. ගාල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වජිර අබේවර්ධන මහතා කීවේ ඩීල් දාන්නට, ගේම් ගහන්නට නොහැකි නම් දේශපාලනය කළ නොහැකි බව යි.
වජිරගේ ගේම් සහ ඩීල් සාර්ථක වී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන විට හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර වජිර අබේවර්ධන මහතාට හිමි වී ය. එය සිදුවුයේ පක්ෂයේ ඒ සඳහා සිටි අනෙක් තරඟකරුවන් ඉවත් වීමෙනි. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සාගල රත්නායක , රංගේ බණ්ඩාර, අකිල විරාජ කාරියවසම් ආදීන්ගේ නම් ඒ සඳහා ඉදිරිපත් වුව ද, පසුව සියලු දෙනාගේ එකඟත්වය වුයේ, එම මන්ත්‍රී ධුරය වජිරට හිමි විය යුතු බව යි. රනිල් ජනාධිපති කරවීමේ දී වජිරගේ කාර්යභාරය ඒ සඳහා ඔහුට තිබු ප්‍රධාන සුදුසුකම ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්ව තිබිණි.
ප්‍රේමජයන්තගේ වාසනාව
ජනාධිපතිවරණ සටනේ අනෙක් ජයග්‍රාහකයා ඇමති සුසිල් ප්‍රේමජයන්ත ය. මාස ගණනකට පෙර ඒ මහතා තම සටන පටන් ගත්තේ දෙල්කඳ පොළෙනි. පොළේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විවේචනය කරමින් ඔහු තම සටන ආරම්භ කළේ ය. එය කළු ගලේ ඔලුව ගසා ගැනීමක් ලෙස බොහෝ දෙනා ඒ මොහොතේ කල්පනා කළා වියහැකි වුව ද, පරිනත දේශපාලන සත්වයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දේශපාලනයේ සිදුවිය හැකි පෙරළි ගැන අවබෝදයක් තිබුණා විය යුතු ය.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීමේ දී, විපක්ෂයේත්, ආණ්ඩුවේත් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගැනීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත මහතා විශාල කාර්යභාරයක් ඉටු කළේය.
දැන් ඒ මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත්ව සිටියි. ඒ මහතා ද මෙම සටනේ තවත් ජයග්‍රාහකයෙකි.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවති නමුත් ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට නිල වශයෙන් තීරණය කොට තිබු විපක්ෂයේ ඇතැම් පක්ෂවලින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මෙය සමගි ජන බලවේගයට බරපතළ ප්‍රශ්නයක් වී ය. මෙම තත්ත්වය තරමක් සමනය කරගැනීම සඳහා හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට පක්ෂය තීරණය කළේය. විවෘත ඡන්දයක් වන එහි දී පක්ෂයේ තීරණයට එරෙහි වීමට මන්ත්‍රීවරුන්ට අපහසු වෙයි.
විපක්ෂයේ පක්ෂ සාමුහිකව හදිසි නීතියට එරෙහි වී ආණ්ඩුවට අභියෝග කිරීමට උත්සහ කළ ද ස්වාධින පක්ෂ සහ කණ්ඩායම් එයට සහය නොදෙන බව වාර්තා වී තිබිණි.
දේශපාලන ගෙම්බෝ
සමගි ජන බලවේගය මුහුණ දී ඇති අනෙක් බරපතළ ප්‍රශ්නය නම් යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට තම පක්ෂයේ කණ්ඩායමක් සම්බන්ධ වනු ඇතැයි පැතිර යන විශ්වාසය යි. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය සම්බන්ධ නොවන බව සහ විපක්ෂයේ සිට සහය දෙන බව යි. ඒ අතර දේශපාලන ආරංචිමාර්ග කියන්නේ පක්ෂ නායකයාගේ තීරණය කුමක් වුවත්, එම පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වීමට ඉඩ ඇති බව යි.
මෙම තත්ත්වය මෙසේ තිබිය දී, බදාදා හදිසි නීති විවාදයට සහභාගී වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ, දේශපාලන ගෙම්බන් ලෙස පැති මාරු කරන උදවිය ගැන ජනතා අධිකරණයේ දී තීන්දු ගනු ඇති බව යි. මේ කියන්නේ එලෙස පැති මාරු කිරීමට සුදානම් දේශපාලන ගෙම්බන් පිරිසක් සිටින බව යි.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවාට ය.
සී ජේ
අනිද්දා