විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කිරීමට ජනාධිපතිවරයා එකඟයි- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

1978 ව්‍යවස්ථාව හදන මොහොතේ සිට වමේ පක්ෂ එයට තදබල විරෝධයක් දැක්වී ය. මක්නිසා ද යත් අපි හැමදාම එය දුටුවේ මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට අවශ්‍ය නීතිමය පදනම හදන ව්‍යවස්ථාවක් ලෙසට ය. ඇත්ත වශයෙන්ම එය ඒ ආකාරයෙන්ම සිදු වූ බව ඉතාමත් ඉක්මනින්ම පෙනුනි. වෙනත් ආකාරයට කියන්නේ නම් 1980 ජූලි වැඩජනය පරාජය කිරීමට ඒ නීති රාමුව එජාපය එදා පාවිච්චි කළේ ය. 80 වැඩ වර්ජකයින් රැකියාවලින් එළියට දැමූ අවස්ථාවේ අධිකරණය හමුවට ගිය පසු ශ්‍රේෂ්ඨාධිකරණය සේවකයින් එළියට දැමිමට ආණ්ඩුවට විශාල ඉඩකඩක් ලබාදුන්නේ ය. ඉන්පසු අපි පෙන්වා දුන් පරිදි ම පාර්ලිමේන්තුව අවප්‍රමානය කළේ ය. ඊ ළගට මුලු රටේ ම බලය තනි පුද්ගලයෙකු වටා සංකේන්ද්‍රණය කළේ ය. ඊ ළගට එය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් අත්කර දුන්නේ ය.
මේකට එක්තරා ආකාරයකට 1972 ව්‍යවස්ථාව ද පිටිවහලක් වූ බව වාමාංශිකයින් ලෙස අප නිහතමානීිව පිළිගත යුතුව තිබේ. වාමාංශිකයින් බොහෝදෙනා 72 ව්‍යවස්ථාව කොන්දේසි විරහිතව ආරක්ෂා කළේ ය. නමුත් 72 ව්‍යවස්ථාවෙන් බලය සංකේන්ද්‍රණයවීම ආරම්භ වූ බව අපි අත්දැක්කෙමු. ජනතාවගේ බලයේ නාමයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කළ නමුත් ව්‍යවස්ථාවට උඩින් පාර්ලිමේන්තුව නැතිනම් ජාතික රාජ්‍ය සභාව පිහිටවී ය. ව්‍යවස්ථාවට පටහැනිව 72 දී නීති හැදීමට 3/2 බලය ලබා දුන්නේ ය. ඊ ළගට නීති හැදීමෙන් පසුව ඒ නීතිවල ව්‍යවස්ථානුකූල භාවය පසු විපරම් කිරීමේ බලය සම්පූර්ණයෙන් ඉවත් කළේ ය. ඊ ළගට රාජ්‍ය සේවය පිළිබඳව සියලු බලතල එනම් ස්ථානමාරු හා උසස්වීම් ලබාදිම යන සියල්ලම අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩලයට භාරදෙන ලදි. ජාතික රාජ්‍ය සභාව රාජ්‍ය බලයේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය බවට පත් කලේ ය. එහි අත්දැකීම් ඉතාමත් නරක බව සඳහන් කකළ යුතු ය.
1972 රාජ්‍ය සභාව මත බලය කේන්ද්‍රණය වූවා නම්, 1978 දී ඒ සියල්ල ප්‍රයෝජනයට ගෙන එතනින් එහාට ගොස් තනි පුද්ගලයෙක් වටා බලය ඒකරාශි කලේ ය. තව වැදගත් දෙයක් තමයි 78 ඡන්දයේ දි වාමාංශික පක්ෂ හැරෙන්නට පළමුවන වරට දකුණේ ප්‍රධාන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දෙමළ ජනතාවට ප්‍රශ්නයක් ඇති බව මැතිවරණ ප්‍රකාශනයෙන් ද පිළිගැනී ම. එපමණක් ද නොව ඒවා විසඳිමට නොහැකිවීම හේතු කොටගෙන දෙමළ ජනතාව බෙදුම්වාදයට තල්ලු වී ඇති බව ද ජේ. ආර්. ජයවර්ධන මහතා අවධාරණය කළේ ය. ඒ මගින් ඔහු දෙමළ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ලබාදුන්නා පමණක් නොව ඔවුන් බලයට පත්වුවහොත් මෙයට විසඳුමක් සොයා ගැනීමට සර්වපාක්ෂික සමුලුවක් කැඳවන බවට ද ප්‍රතිඥාවක් දෙන ලදි. නමුත් 72 ව්‍යවස්ථාව හැදුවා වගේම ජනතාවගේ සහභාගිත්වය නැතිව දෙවැනි වරටත් 78 ව්‍යවස්ථාවත් දෙමළ ජනතාවගේ සහභාගිත්වය නැතිව නිර්මාණය කළේ ය. ඒ නිසා ඒ ව්‍යවස්ථා දෙකේම සුජාත භාවය ගැන විශාල ප්‍රශ්න මතුවිය. 78 ව්‍යවස්ථාව ආරම්භ වූයේ ඒ ආකාරයට ය. කෙසේ නමුත් මේ වැරදීම් නිවැරදි කරගැනීමට අද අපිට අවස්ථාව ලැබී ඇත. මේ තත්ත්වය තුළ අද අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් ස්ථාපිත කරගැනීම සඳහා කටයුතු කිරීමට අපිට හැකිනම් ඒක විශාල ජයග්‍රහණයකි. අනික් එක ජනවාර්ගික ගැටලුවට කල්පවත්නා විසඳුමක් සොයා ගැනීම. මේ කාරණා දෙක ඉටුකරගැනීම සඳහා දැනටමත් වැඩකටයුතු ආරම්භකර ඇත.
මේ කාරණය සාක්ෂාත් කරගැනීම පිළිබඳ අපිට වගකිමක් පැවරී ඇත. මේ දෙස දේශපාලන වාසි නැතිව බලන්නේ අප පමණ ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් විධායක ජනාධිපති ක්‍රමය එසේම තබාගත යුතු බව කියන්නට පටන්ගත් හ. බලය කොපමණ ප්‍රමාණයකට බෙදන්නේ ද යන්න ගැන ප්‍රශ්න තිබුණි. නමුත් වාසනාවට අද ඒ තත්ත්වය වෙනස් වි ඇත. වත්මන් ජනාධිපතිවරයාට චන්ද්‍රිකා මැතිණියට මෙන්, මේ පිළිබඳ පැහැදිළි දේශපාලන ස්ථාවරයක් නැති බව සත්‍යයක් වන නමුත් ඔහුට ඒ පිළිබඳව ඉවක් තිබේ. ඒ නිසා අපි දකිනවා ජනාධිපතිවරයා සද්ද නැතිව සිට අවසානයේ දී කාගෙන්වත් අසන්නේ නැතිව සාධනීය ප්‍රකාශයක් කරයි ඊයේ පෙරේදා වනතුරුම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිල නියෝජිතයින් වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට සහභාගි වූ අය ප්‍රකාශකළේ මෙය සංක්‍රමණිය තත්ත්වයක් වන හෙයින් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් නොකළ යුතු බව ය. නමුත් මේ ගැන කිසිවක් ප්‍රකාශ නොකළ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන බව ප්‍රකාශ කළ පසු අර සියලු දෙනාම දැන් නිහඩ ය. ඒ නිසා ජූනි මාසයේ තිබුණු තත්ත්වය නොවෙයි අද තිබෙන්නේ. අද ඇත්තේ තරමක් දියුණු තත්ත්වයකි.
මේ ව්‍යවස්ථාව නිර්මානය කිරිම සඳහා ගෙන තිබෙන්නේ 72 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට ගත් ප්‍රවේශය නොවේ. ඒ ව්‍යවස්ථාව හැදුවේ තිබෙන ව්‍යවස්ථාවට පරිභාහිරව ගොසින් ය. 72 ව්‍යවස්ථා ක්‍රියාවලිය ගතහොත්. අවසාන වශයෙන් එහි දි අපිට යම් භූමිකාවක් තිබුණු බව සත්‍යයක් වන නමුත් සමගි පෙරමුණට අවශ්‍ය ආකාරයට අවසාන වශයෙන් ව්‍යවස්ථාව හැදුනේ. වමේ පක්ෂ කාරණා ගණනාවක දි අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ආ දක්ශිනාංශික බලපෑම්වලට යටවිය. සමහර දේවල් කරගත්තා, සමහර දේවල් අපිට කරගන්නට නොහැකි විය. බුද්ධාගම පිලිබඳව ගතහොත් කොල්වින් සකස් කළ පළවෙනි කෙටුම්පතේ තිබෙන්නේ වැඩිදෙනාගේ ආගම නිසා බුද්ධගමට නිසි තැන දෙන්න යන්න පමණි. නමුත් අන්තිමේ ක්‍රිස්තියානුවෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, කොල්වින්ට පහරදීමට ඒවා යොදාගත්තේ ය. ඒ අය එදා යෝජනා කළේ බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමට ය. දැනට තියෙන බුද්ධාගමට ප්‍රමුඛත්වය කියන වගන්තිය පැමිණියේ අතර මැදි විසඳුමක් ලෙසට ය. ඊ ළගට කොල්වින්ගේ මුල් කෙටුම්පතේ ඒකීය භාවය පිළිබඳ සඳහනක් තිබුණේ නැත. ඒ කාරණා පිළිබඳව අප පවා දන්නේ කොල්වින්ලා මියගොස් වසර 20කට පමණ පසුව ය. අපි ගත්තු ඒ ස්ථාවරයන් අපි ප්‍රසිද්ධ කලේ නැත. අපි එවැනි මෝඩකම් ද කළෙමු.

නමුත් කාරණා දෙකක් පිලිබඳව අපි වැරැද්ද පිළිගතයුතු වේ. එකක් තමයි භාෂා දෙක සම්බන්ධයෙන් අපි කථා කළ නමුත් ඒ වෙනුවෙන් සටන් කළේ නැත. අපි එතන දි මුල සිටම ජාතිවාදයට යටවිය. විශේෂයෙන්ම 72 දී අපි කිසිම දෙයක් මේ ගැන කිව්වේ නැත. ඊ ළගට බලය බෙදා හැරිම නැතිනම්, බල හවුල්කාරිත්වය ගැන අපි හිතුවේ ම නැත. කොටින් ම කියනවා නම් ”අපි ඉල්ලන්නේ ෆෙඩරල් වන නමුත් ඒකිය රාජ්‍යය එසේම තියාගෙන හැමදාම මැතිවරණවල දි කියන කච්චේරි ක්‍රමය අහෝසිකර මහජන නියෝජිතයින්ගේ දිස්ත්‍රික් සභාවත්, බල ගන්නවන්නේ නැත්තේ ඇයි ද?” යනුවෙන් ධර්මලිංගම් මන්ත්‍රිවරයා කළ ඒ ඉල්ලීමට හෝ අපි යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඒකට පහර දුන්නේ වාමාංශිකයෙකු වූ සරත් මුත්තෙට්ටුවේගම ය. එයට අනිකුත් වාමාංශිකයින් ද හවුල් විය ඔහුගේ තර්කය වූයේ ෆෙඩරල් ක්‍රමය ශක්තිමත් වි තිබෙන්නේ ඔබලාගේ දක්ෂිනාංශික දේශපාලනය වන නිසා බව ය. ඒක ඇත්ත ය. ද්‍රවිඩ පක්ෂ ඒ කාලයේ එජාපයට හා සමානවම දක්ෂිණාංශික විය. නමුත් මෙය ජනතාවට බලය නොදෙන්නට හේතුවක් නොවිය යුතුව තිබුණි. අප එදා ඒ වගේ මෝඩ වැඩ කළෙමු.
කෙසේ වෙතත් අද අපිට මහගු අවස්ථාවක් ලැබී ඇත. අපේ පක්ෂවලට සම්බන්ධ අය විශාල භූමිකාවක් ඉටුකර ඇත. දැනුද ඉශ්ටකරමින් සිටී. ඒක ඉදිරියට ගෙන යෑම ඉතා මූලික ය. ඒ නිසා වාමංශිකයින්ට ලැබෙන මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගතයුතු ය. ඒ නිසා ක්‍රියාශිලිව අපි මේකට මැදිහත් විය යුතු ය. මෙහි දි විශාල භූමිකාවක් අපි රග දැක්වුවහොත්, අපිට ඉදිරියට යන්නට මාවතක් පාදාගත හැක. ඊ ළගට 72 සහ 78 මෙන් නොව මෙවර අපි ව්‍යවසථාවක් රටට පටවන්නට යන්නේ නැත. මේ සැරේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් 2/3ක තබා සරළ බහුතරයක්වත් නැත. දෙගොල්ලන් එකතු වූ පසු සරළ බහුතරයක් තිබේ. දෙමළ ජාතික සන්ධානය හා අනිකුත් පක්ෂ සමග ගත් කළ 2/3කට වඩා වැඩි අනුමැතියක් නව ව්‍යවස්ථාවකට ගතහැක. ඒ නිසා නව ව්‍යවසථාවක් හදන්නට අද විභවයක් තිබේ. මේ සියල්ල තීරණය වන්නේ පක්ෂ ක්‍රිියාකරන්නෙ කෙසේද සහ ජනතාව ප්‍රතිචාර දක්වන්නේ කොයි ආකාරයට ද යන කාරණා මත ය.
මේ ආණ්ඩුවේ තිබෙන යහපත් දෙයක් තමයි, මේ ආණ්ඩුව ජනතාවගේ බලපෑමට යහපත් ලෙස ප්‍රතිචාර දක්වීම. දැන් මධ්‍යම බැංකුවේ ප්‍රශ්නයේ දී වේවා, වැට් බදු ප්‍රශ්නයේ දී හෝ වේවා හැම එකේදීම අපිට පෙනෙන එකක් තමයි ඒකට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීම. ඒක ඉතාමත් යහපත් ය. අනික් එක තමයි නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීම. එය 72ට වඩා ඉතා යහපත් ය. 72 දී මේ වගේ අදහස් විමසීමක් පළල්ව කෙරුනේ නැත. ලාල් විජේනායක සහෝදරයා දිස්ත්‍රක්ක 22 ට ගොස් අදහස් ලබාගත්තා පමණක් නොව ලිඛිතව මෙන් ම ෆැක්ස් හා ඊ මෙල් මගින්ද අදහස් ලබාගත්තේ ය. විරුද්ධවාදීන් තදබල ලෙස පහරදීමට මහජන අදහස් ලබාගැනීම ද එක්තරා හේතුවකි. විශේෂයන්ම මේ වගේ වාර්තාවක් එයි කියා ඔවුන් සිතුවේ නැත. මෙයින් පෙනෙන්නේ රාජ්‍ය ප්‍රජාතින්ත්‍රිය කිරීමේ ක්‍රියාදාමය පහළින්ම ආරම්භ වී ඇති බව ය. ඊ ළගට පාර්ලිමේන්තුව තුළත්, නව ව්‍යවස්ථාව සඳහා පිහිටුවා ඇති කමිටු ඉතාමත්ම ක්‍රියාශිලි ය. මේ මොහොතේ නම් නව ව්‍යවස්ථාව පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක තමයි තිබෙන්නේ. වාමාංශිකයින් ලෙස අපි 77 සිට ඉතාමත් තදින් කාරණා දෙකක් ඉටුකරගැනිම සඳහා පෙනී සිටියේ ය. එකක් තමයි රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරනය කරගැනීම. දෙවැන්න ජාතික ගැටළුවට විසඳුමක් සොයා ගැණිම. අර පළමුවැන්නට කරුනු ගණනාවක් සම්බන්ධය. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරනය නිකං කරන්නට නොහැක. අධිකරණයේ ස්වාධින්ත්වය රැකෙන්නට අවශ්‍ය ය. අපිට ඉතා නරක අත්දැකීම් තිබේ. මම හිතන්නේ පසුගිය වසර 10 නරක අත්දැකිම් වාසියට හේතු වී තිබේ.. මක්නිසා ද යත්, මිනිසුන් අත්දැකීමේ තමයි යමක් වෙනස් කරගන්නට උත්සාහ දරන්නේ. ඊ ළගට මූලික අයිතිවාසිකම් ඉතා වැදගත් ය. මූලික අයිතිවාසිකම් පිලිබඳව ඇත්ත වශයෙන් ම වමේ අය අවධානය යොමුකරනවා ප්‍රමානවත් නැත. අපි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව සමාජ අයිතිවාසිකම්, ආර්ථික, සංස්කෘතික, කාන්තා, ළමා, මෙන්ම කණ්ඩායම්වල අයිතිවාසිකම් සඳහා සටන් කළ යුතු ය. ඒවා නවින ව්‍යවස්ථාවකට ඉතාමත් වැදගත් ය. ලෝකයේ සමාජවාදි කඳවුර දුර්වල වි ඇති මොහොතක අපිට කරන්නට හැකි උපරිිම දේ තමයි සමාජ ආර්ථික අයිතිවාසිකම් සඳහා සටන් කිරීම ඒ නිසා නව ව්‍යවසථාවට ඒවා ඇතුලත් කරගත හැකි නම් ඉතා අගනේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *