ඇමතිවරු දෙන්නා හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොක්කොළ හා ගෙඩි තොරන් කියලා .-ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලියු. ජයසිරි

ජනවාරි 08වෙනිදා වෙනසට දායකත්වයක් ලබාදුන් කලාකරුවෙක් හැටියට වත්මන් ආණ්ඩුව පිළිබඳ මගේ ඇගයීම ගැන කථාකරන්නට ප්‍රථම මගේ මූලිකම බලාපොරොත්තුව වූයේ මහින්ද රාපක්ෂ රෙජීමය පලවා හැරීම ය. ඒ මූලික කාර්ය ඉෂ්ට විය. ඊ ළග කාර්ය තමයි නිකම්ම ඒ අය එළවා දැමීම පමණක් ප්‍රමාණවත් නැත ඒ අය රට කාබාසිනියා කළ සමහර බරපතල දූෂණ තිබේ. ඒ නිසා නේ අපි එයාව එළවා දැමුවේ. නිකම්ම එළවා දැමුවා නොව බලය ඉතාමත් කැත ආකාරයට පාවිච්චි කළ නිසා උද්ගතවූ තත්ත්වයන් තුළ රට අගාධයට යෑමෙන් වළක්වා ගන්නට තමයි අපි එයාව ගෙදර යැවිවේ. එහෙම නම් ඔහු විසින් කරන ලද දූෂණ හෙළිදරව්කර සහ ඒවාට වගකිව යුත්තන්ට දඬුවම් දීමට ප්‍රමාද වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මට තිබේ.
ඊ ළගට කාලකරුවෙක් හැටියට මට පෙනෙනවා විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශ, බෙදීමේ දී ඇති වී තිබෙන අවුල. ඉස්සර නම් අධ්‍යපන හා සංස්කාතික අමාත්‍යාංශය තිබුනේ එක තැනක ය. ඒ දෙකම තිබුණේ එක ඇමතිවරයෙකු යටතේ ය. හොඳයි ඒක බෙදන්න අවශ්‍ය නම් අධ්‍යපනය වෙනම තියලා, සංස්කෘතික අමාත්‍යාංශය වෙනම පවත්වාගෙන යන්නට තිබුණි.
නමුත් මේ වර්තමාන රජය විසින් සංස්කෘතික අමාත්‍යාංශය ඉතාමත් අමනෝඥය ආකාරයට දෙකට බෙදා ඇත. වයඹ සංවර්ධන ඇමති යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව තිබේ. සංස්කෘතික අමාත්‍යංශයට අයිති තවත් කෑල්ලක් වන කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට අරගෙන තිබේ. මේ තතු යටතේ පසුගිය වසරේ නාට්‍ය උළෙල පැවැත්වීමේ දී බරපතල ප්‍රශ්නයක් උද්ගත වී ඒක මහ විහිළුවක් බවට පත්විය. අන්තිමට සංස්කෘතික අමාත්‍යාංශය කියන්නේ කවුද කියන එක ගැන විශාල ප්‍රශ්නයක් ඇති විය. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සම්මාන උළෙල පවත්වා සම්මාන බෙදාදීම කළේ ය. නමුත් ඒකට මුදල් තිබුනේ නැත. කළාකරුවන්ට සම්මාන සමග දෙන මුදල් ත්‍යාගය දුන්නේ නිකම්ම පොරොන්දු පත්‍රයකි. එන මාසේ නැත්නම් ඊළග මාසයේ දෙන්නම් කියන පදනමෙන් තමයි එහෙම දුන්නේ. ඒ වගේ මහ විහිළු සහගත තත්ත්වයක් තමයි තියෙන්නේ.
මෙන්න මේක ඇයි බැරි අපිට විසඳා ගන්නට. අගමැතිතුමාට කලාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ. ඒ තිබියදීත්, අගමැත්තුමා විසින් මේ අමාත්‍යාංශ බෙදනවිට ඇයි කලා මණ්ඩලය පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන්නේ. කලා මණ්ඩලය යටතේ තමයි අනිකුත් අනුමණ්ඩල තිබෙන්නේ. ඒ කියන්නේ නාට්‍ය අනුමණ්ඩලය, සංගීත අනුමණ්ඩලය, රූකඩ නාට්‍ය අනුමණ්ඩලය වගේ අනු මණ්ඩල 6ක් පමණ එන්නේ කලා මණ්ඩලය යටතේ ය. එක වෙනම තියෙත් දී සංස්කෘතික දොර්තමේන්තුව වෙනම අමාත්‍යාංශයකට දුන්නාම වැඩකටයුතු කිරීමේ දි මහා විශාල ප්‍රශ්නයක් පැමිනේ. මක්නිසා ද යත්, මේ නිලධාරීන් අතර තියෙන බලතුලනය පිළිබඳ ප්‍රශ්නය නිසා.
ඒකට නිලධාරින්ට අපිට දොස් කියන්නට නොහැක. මේක මේ කැබිනට් අමාත්‍යාංශ බෙදන විට කළ වරදකි. එක්කෝ මේක එක තැනකට ගන්නට තිබුණි. වෙනත් ආකාරයට කියන්නේ නම් සංස්කෘතික අමාත්‍යාංශය අධ්‍යාපන ඇමතිට භාර දීමට තිබුණි. නමුත් ඒක වෙලාත් නෑ. මේ වගේ දුර්වලකම්, මේ වගේ අමනෝඥ වැඩ නිසා මේ වැඩකටයුතු අඩාල වේ. සංස්කෘතිය පිළිබඳ ආණ්ඩුවේ ඇති පසුගාමී අදහස් නිසාද මෙවැන්නක් සිදුවිය හැක. මම දන්නා ආකාරයට වයඹ සංවර්ධන ඇමතිතුමා සංස්කෘතිය පිළිබඳ කිසිදෙයක් තේරෙන අයෙකු නොවේ. එයා සමහර වෙලාවට සංස්කෘතිය කියලා හිතන්නේ මේ ගොක්කොල, ගෙඩි තොරන් දේවල් කියලා. සංස්කෘතිය කියන එක නිතර වෙන්වෙන, අනිකුත් සංස්කෘතින් සමග සම්බන්ධ වී මිශ්‍රවෙන දෙයක් බව එයා දන්නේ නැත. ඒ සමගම අධ්‍යාපන ඇමතිතුමාද සංස්කෘතිය යනු කුමක් ද යන්න දන්නේ නැත. අර ඒඞ්ස් රෝගියෙකුගේ දරුවෙක් ගේ ප්‍රශ්නය ආ වෙලාවේ අධ්‍යාපන ඇමති ඒකට දැක්වූ ප්‍රතිචාරය මොනතරම් මුග්ධ තීරණ ගන්න අයෙක් ද යන්න අපිට අවබෝධ විය. ඒ නිසා මෙවැනි දේ හරියට විසඳාගත නොහැකි වුවහොත්. අපි කළ වෙනසින් කිසි වැඩක් වන්නේ නැත. දැන් නාට්‍යකාරයින් සම්පූර්ණයෙන් කලකිරී ඇත.
මම හිතන්නේ මේක මේ ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය නිසයි මෙහෙම සිදු වී තිබෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා මුල දී සංස්කෘතිය පිළිබඳ පැහැදිළි හා නිර්භිත තීරණ ගන්නා බවට කලාකරුවන්ට පොරොන්දු විය. නමුත් වැඩ කටයුත්ත කරගෙන යනවිට එහෙම දෙයක් පෙනෙන්නේ නැත. ඒ පිළිබඳව මම හිතන්නේ කලාකරුවන් අගමැත්තුමත්, ජනාධිපතිතුමත් මුනගැහිලා මේ ගැන කථා කළයුතු බවයි මට පෙනෙන්නේ.
අපේ රටේ බලයට පත්වෙන කිසිම කෙනෙක් සංස්කෘතිය කුමක් ද යන්න දන්නේ නැත. අර මම ඉස්සෙල්ලා පැවසූ දෙට අමතරව පොල්තෙල් පහනයි පුවක් මලයි යන ටික තමයි සංස්කෘතිය කියලා ඒ අය හිතන්නේ. ඒක නොවෙයි නේ සංස්කෘතිය කියන්නේ. ඇවතුම්. පැවතුම් , අූින පළදින් ආකාරය වැනි බොහෝ දේ මෙයට අයත් ය. මේක දන්නේ නැති එක විශාල ප්‍රශ්නයක්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *