|

සජිත්ගේ ඉවත්වීම ,ෆොන්සේකාගේ කෝපය හා වැඩ බලන ඇඳිරි නීතිය

 

 

පසුගිය කෙටි කාලය දැනෙන්නේ දේශපාලන කුණාටුවක් හමා ගිය කාලයක් වශයෙනි.

කුණාටුවෙන් කුමකින් කුමක් සිදුවේදැයි බොහෝ දෙනා බියපත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, කුණාටුව දැන් තරමක් නිමා වී ඇති බවක් පෙන්නුම් කරන්නේ හිතු තරම් බරපතළ විනාශයකින් තොරව බව කිවහොත් වරදක් නැති බව පෙනෙන්නට තිබේ.

පසුගිය සතියක හමාරක කාලය සිදුවීම් අධික කාලයක් ලෙස ගෙවී ගියේ ය. එසේ වුව ද, ඒ සියල්ල සිදුවුයේ එක් ප්‍රධාන සිදුවීමක් වටා ය. එනම් ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්ව යෑම සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම දක්වා ක්‍රියා දාමය යි.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ  13 දා, බදාදා ඉල්ලා අස්වන බව යි. කතානායකතුමා වෙත සහ අගමැතිතුමා වෙත ඒ බව දැනුම් දී තිබිණි.

වැඩ බලන්න රනිල්

ජනාධිපතිතුමාගේ සැලසුම වී තිබුණේ විදෙස් රටකට ගොස් තම ආරක්ෂාව තහවුරු කරගත් පසු ඉල්ලා අස්වීම භාරදීම යි. එසේ වුව ද, ඔහුට කටුනායක ගුවන් තොටුපකසළින් යා නොහැකි වුයේ විරෝධතා හේතුවෙනි. පසුව ඔහු ගුවන් හමුදාවේ යානයකින් මාල දිවයින බලා ගියේ ය.

මාල දිවයිනට ගිය ද ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නේ නැත. ඒ වෙනුවට ජනාධිපතිතුමා තමා නැති කාලයේ වැඩ බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ ය. ඒ සඳහා වූ ගැසට් පත්‍රයට ජනාධිපතිතුමා කල්තබා ම අත්සන් කොට තිබිණි. සියලු නීතිමය තත්ත්වයන් සොයා බලා මෙම පියවර ගෙන ඇති බව පැහැදිලි ය..

ජනාධිපති ඉල්ලා අස් වී නැති බව වාර්තා වීම නිසා මහජන නැගිටීම දිග්ගැසෙන්නට වීය.  ඒ සමග කැරලිකරුවන් ඉල්ලා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉල්ලා අස්විය යුතු බව යි. රට අරාජික කළ නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත්, කියමින් වික්‍රමසිංහ මහතා එයට විරුද්ධ වී ය.

වැඩ බලන ඇඳිරි නීතිය

කැරලිකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ගැනීමට එය වටලා තිබිය දී රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ වැඩබලන ජනාධිපතිවරයා බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ප්‍රශයට පත් කළේය. පසුව ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබී ය. නීතිය සහ සාමය රැකීම පොලිසියට සහ හමුදාවට භාරදෙනු ලැබී ය.

කෙසේ වෙතත්, අරගලකරුවන් අගමැති කාර්යාලය ද අල්ලා ගත්තේය . රජයේ මෙන් ම, ඇතැම් පෞද්ගලික මාධ්‍යයට ද ගොස් බලපෑම් කළේය. පාර්ලිමේන්තුව ද අල්ලා ගැනීමට අසාර්ථක උත්සහයක් දැරූ අතර එය අසාර්ථක වී ය. අරගලයේ හැරෙන ලක්ෂ්‍යය බවට එය පත් වූ බව පෙනෙන්නට තිබිණි.

යන්නලු , යන්න එපාලු

මේ අවස්ථාව වන විට අරගලයේ සිටි විවිධ කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වී තිබීම ද, පාර්ලිමේන්තුව වැටලීමේ සටන අසාර්ථක වීමට හේතුවක් වූ බව පෙනෙන්නට තිබිණි. එක් කණ්ඩායමක් පාර්ලිමේන්තුව වෙත ජනතාව කැඳවන විට තවත් කණ්ඩායමක් එහි නොයන ලෙසත්, එම සටන නොකරන ලෙසත්,  ඉදිරියට ගියහොත් එය විශාල විනාශයකට හේතු විය හැකි බවත්, අන්තර් ජාලය ඔස්සේ දිගින් දිගට ඉල්ලා සිටින්නට වී ය.

අරගල භුමියේ විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වීමත්, කිසිදු විනයකට යටත් කළ නොහැකි කණ්ඩායම් ඇතැම් විට හිතු හිතු දේ කරන්නට යාමත්, නිසා එහි අභ්‍යන්තරයේ පැවතියේ බරපතළ අවුල් සහගත තත්ත්වයකි. පෙර සතියේ ඉරිදා වන විට අරලිය ගහ මන්දිරයේ ප්‍රචන්ඩ ගැටුමක් වාර්තා වූ අතර තුවාල ලැබූ දහ දෙනෙකු රෝහල් ගත කරනු ලැබීය . සඳුදා උදෑසන  ගෝල්ෆේස් අරගල භුමියේ ගැටුමකින් පසු සිව් දෙනෙකු රෝහල ගත කරන ලද්දේ කැපුම් තුවාල සහිතව ය.

අරගලයේ දිගට ම සිටි ඇතැම් නායකයින් ප්‍රකාශ කළේ අල්ලාගත් මන්දිර තුළ ඇතැම් විනාශයන් කිරීමට කළහකාරී පිරිස් කටයුතු කරද්දී තමන්ට නිහඬව සහ අසරණව බලා සිටින්නට සිදු වූ බව යි.

සිරසයි පාර කිව්වේ

අරගලයේ නාමයෙන් කළ ඇතැම් ක්‍රියා පිළිබඳව ද මේ වන විට බරපතළ විවේචන එල්ල වී තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතගේ පෞද්ගලික නිවෙස ගිනි තැබීම එබඳු බරපතළ විවේචන එල්ල වූ සිදුවීමකි. අරගලයේ මුවාවෙන් මෙය මෙහෙයවා ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී පිරිසක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. මාධ්‍ය ආයතනයක් ද එයට ‘ පාර කියූ’ බවට .චෝදනා එල්ල වී තිබේ. ගිනිතැබීම මෙහෙය වූ දේශපාලක පුත්‍රයා මේ වන විට රටින් පලා ගොස් ඇති බව ද වාර්තා වෙයි.

අරගලයේ නායකත්වය ගැනීමට විවිධ කණ්ඩායම් අතර තරඟයක් ද හටගෙන තිබු බව වාර්තා වෙයි. තමන්ට අවශ්‍ය  ඉලක්ක වෙත අරගලය මෙහෙය වීමට දැරූ උත්සාහයන් ලෙස ද ඇතැම් ක්‍රියා වාර්තා වී තිබේ.

13 දා රාත්‍රියේ පාර්ලිමේන්තුව අසල අරගලය වන විට එයට පක්ෂව සහ විපක්ෂව කණ්ඩායම් දෙකක් නිර්මාණය වී තිබිණි. එදින සවස පොල්දුව මංසන්ධියේ උද්ඝෝෂණය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසකගේ  මෙහෙය වීමෙනි.  එසේ වුව ද , රාත්‍රියේ සටන මෙහෙයවන ලද්දේ ගාලු මෝදර නිර්පාක්ෂික අරගලයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ සහ “ ගෝටා ගෝ හෝම් “ සටන්පාටයේ නිර්මාතෘ බව කියන පැතුම් කර්නර් සහ ඔහු සමග එක්ව ක්‍රියා කරන කණ්ඩායම් විසිනි.

ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමේ සටනේ දී කැපී පෙනෙන කාර්යයක් ඉටු කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ පාර්ලිමේන්තුව අසල අරගලයට සහභාගී වුයේ නැත. එමෙන් ම, ගාලු මෝදර අරගල බිමේ සිටින රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” ඇතුළු කණ්ඩායමක් සියලු අරගලකරුවන්ට දිගින් දිගට අවවාද කළේ විනාශකාරී ගැටුමකට නොයන ලෙස යි. ආණ්ඩුවේ මර්දන ක්‍රියාවකට අවස්ථාව සැලසීමෙන් වලකින ලෙස යි.

වටලන බවට බුද්ධි අංශ තොරතුරු

පාර්ලිමේන්තුව වැටලීම ගැන බුද්ධි අංශ තොරතුරු ලැබී තිබු නිසා පොලිසිය සහ හමුදාව ද , උපරිම ආරක්ෂාව යෝදා තිබිණි. අරගලකරුවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල වී ය. පිරියක් එයට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී නායකයින් එක මොහොතක තීරණය කළේ පසු බසින්නට ය. සිදුවිය හැකිව තිබු බරපතළ විනාශයක් එලෙස අවසන් වී ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිට වීමත්, ඉල්ලා අස්වන බව ස්ථිර ලෙස තහවුරු වීමත්, සමග අරගලයට පැමිණි සාමාන්‍ය ජනයා ආපසු ගිය බවක් පෙනෙන්නට තිබිණි. ජනාධිපති ලේකම් කාර්යාලය හැර තමන් අත්පත් කරගත් මන්දිර, ගොඩනැගිලි ආපසු භාරදීමට අරගල කරුවන් තීරණය කළේය.

කෙසේ වෙතත්,රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන තෙක් උද්ඝෝෂණ ඉදිරියට ගෙනයන බව ද අරගලකරුවෝ කීහ.

ලියුම පිළිගැනීමේ ගැටළුවක්

ජනාධිපතිතුමා 14 දා  සිංගප්පුරුවේ  සිට තම ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපැල් මගින් ඒවා තිබුන ද, එහි මුල් පිටපත ලැබෙන තෙක් පිළිගැනීමේ ගැටළුවක් මතු වී තිබිණි. තානාපති සේවා නිලධාරියකු විසින් මුල් ලිපිය සිකුරාදා රැගෙන ඒමෙන් පසුව එය පිළිගන්නා ලද්දේ අත්සන පිලිබඳ තහවුරු කර ගැනීමකින් ද පසුව ය.

ජනාධිපති ඉල්ලා අස් වී ඇති බව කතානායකතුමා නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස දිව්රුම් දුන් අතර නව ජනාධිපති පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවනු ලැබී ය.

ඒ සමග ආරම්භ වුයේ නව අනුප්‍රාප්තික ජනාධිපති තනතුර සඳහා තරඟය යි.  පළමුවෙන් ම, ඒ සඳහා අපේක්ෂකත්වය ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා ය. ඒ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වශයෙනි.

පසුගිය සිකුරාදා (15 දා ) විපක්ෂයේ පක්ෂ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්වුයේ ජනාධිපති තරඟයේ විපක්ෂයේ පොදු උපාය මාර්ග තීරණය කිරීම සඳහා ය. තම අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා ගැනීමට සමගි ජන බලවේගය එහි දී කරුණු දැක්වුව ද, අනෙක් පක්ෂ එම අදහස පිළිගැනීමට ඉදිරිපත් වුයේ නැත. බහුතර මතය වුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කොට පොදු එකඟතාවයකට පැමිණිය යුතු බව යි.

මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වන බව සිකුරාදා නිවේදනය කරනු ලැබී ය.

පොහොට්ටුවේ සහය රනිල්ට

පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් හිමිව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලින් නිවේදනය කොට තිබුණේ තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව යි. කෙසේ වෙතත්, එම පක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ජනාධිපති තනතුරට තරඟ වදින බව නිවේදනය කළ අතර ඒ සමග ම එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තම පක්ෂය තීරණය කොට ඇති බව යි.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට ම එහි සභාපතිවරයා වුයේ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ය. පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතාට අභියෝග කරමින් නිවේදනයක් නිකුත් කළ පීරිස් මහතා ප්‍රශ්න කළේ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දීමට පක්ෂය තීන්දු කළේ කවදා කොතැන දී ද යනුවෙනි. එයට සහභාගී වුයේ කවුදැයි ඒ මහතා ප්‍රශ්න කොට තිබිණි.

නීතිඥ සාගර කාරියවසම් මහතා එයට පිළිතුරු දෙමින් කීවේ රනිල්ට ඡන්දය දීමේ පක්ෂයේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව යි. මෙම පක්ෂයේ තීරණ ගන්නා ආකාරය දන්නා උදවියට මෙය එතරම් ප්‍රශ්නයක් වුයේ නැත. මීට සති කිහිපයකට පෙර මැතිවරණ කොමිසම හමු වූ ඩලස් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම එහි දී කීවේ තම පක්ෂයේ ව්‍යවස්ථාව කුමක්ද කියා වත් තමන් නොදන්නා බව යි.

වජිරගේ සුත්තර

වැඩබලන ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කොට නොතිබූ නමුත් ඒ මහතාට ඡන්ද ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කොට තිබිණි. එහි ප්‍රධාන මෙහෙයුම්කරු බවට පත්ව සිටියේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනිතබා තිබු තත්ත්වය තුළ ඒ මහතාගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ කොළඹ 3 රැජින වීදියේ පිහිටි වජිර අබේවර්ධන මහතාගේ නිවෙස යි.

පසුගිය ඉරිදා සවස මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේ වජිරගේ නිවසේ දී ය. හරීම් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර, රංගේ බණ්ඩාර ඇතුළු බොහෝ දෙනා  එහි නිතර ගැවසෙනු දක්නට ලැබිණි.

වජිර අබේවර්ධන මහතා රනිල් වෙනුවෙන් තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඇමතුමක් ලබාදෙමිනි. වජිරගේ දුරකථන අංකය හඳුනන සජිත් එම ඇමතුමට පිළිතුරු දුන්නේ නැත. කෙසේ වෙතත්, ඉන්පසු සජබ මන්ත්‍රීන් සියලු දෙනාට ඇමතුම් දෙමින් තමා සජිත් ප්‍රේමදාස මහතා ඇමතු බවත්, ඒ මහතා දුරකථන ඇමතුම ලබා නොගත් බවත්, වජිර ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක් ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා සජිත්, ඩලස් දෙපර්ශවය අතර සාකච්ඡා සෙනසුරාදා සිට දිගට ම පැවැත්වෙමින් තිබිණි. දෙපාර්ශවය ම කීවේ ජයග්‍රහණයේ වැඩි අවස්ථාව ඇත්තේ තම අපේක්ෂකයාට බව යි. ඩලස් වෙනුවෙන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ නාලක ගොඩහේවා කීවේ සජිත් ඉවත් වී ඩලස්ට ඉඩ දුන්නොත් ඡන්ද 135 ක් ලබාගැනීමට ඔහුට හැකියාව ඇති බව යි. සජිත් පිල එය පිළිගත්තේ නැත,

ඩලස් ජනපති – සජිත් අගමැති ලෙස ඉදිරිපත්වීමට ද,  ඩලස් අලහප්පෙරුම මහතා මුල දී එකඟ වුයේ නැත.එයට හේතු වුයේ සජිත් අගමැති කරන බව කීමෙන් තමන්ට ලැබෙන පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණය අඩු විය හැකිය යන පදනම යි.

කෙසේ වෙතත්, අවසන් මොහොතේ සජිත් ප්‍රමදාස මහතා ඉවත් වී ඩලස් සජිත් සම්මුතිය ප්‍රකාශයට පත්කළේ ජයග්‍රහණය ගැන බොහෝ බලාපොරොත්තු ඇතිව ය.

ෆොන්සේකාගේ කෝපය

සජිත් තරගයෙන් ඉවත්වීමෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කුපිත වී සිටියේ ය. ඒ මහතා මුල සිට සිටියේ සජිත් ඉදිරිපත් නොවන්නේ නම් තමා ඉදිරිපත් වන ස්ථාවරයේ ය. සජිත් අන්තිම මොහොතේ ඉවත් වුයේ ඔහුට ඒ සඳහා අවස්ථාව නොදෙමින් ය.

ඡන්දයේ ප්‍රතිඵලය දැන් කවුරුත් දන්නා කාරණයකි.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 21 දා, බ්‍රහස්පතින්දා දිව්රුම් දුන්නේ ය. පහළට ම වැටී සිටි රනිල් ජනාධිපති වීම දක්වා වසර දෙකක් තුළ පැමිණි ගමන දේශපාලනය ගැන උනන්දු වන ඕනෑම කෙනෙකු හොඳින් අධ්‍යයනය කළ යුත්තකි.

සී ජේ

අනිද්දා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *