සතියකින් රට සාමාන්‍ය තත්ත්වයට – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

 

ගෑස් පෝලිම් , ඉන්ධන පෝලිම් අවසන් කර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයීම විධිමත් කරමින් සතියක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට ඇත.

රාජ්‍ය ආයතන සහ පාසල් කටයුතු ද මෙම කාලය තුළ යථා තත්ත්වයට පත් කිරීමට තීරණය වී තිබේ.

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබී ඇති නමුත්, දිගට ම ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීම සඳහා කොටා ක්‍රමය යටතේ ඉන්ධන සැපයීම වේගවත් කරමින් දිගු ඉන්ධන පෝලිම් අවසන් කරනු ඇත. පොදු ප්‍රවාහනයට සහ කෘෂිකාර්මික සහ ධිවර කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස ඉන්ධන සැපයීම් සහතික කෙරෙයි.

ප්‍රමාණවත් ගෑස් තොග ලබාගෙන ඇති අතර දැනටමත් විශාල ප්‍රමාණයක් බෙදා හැර ඇත. ඉදිරි සතිය තුළ ගෑස් පෝලිම් අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

අනෙකුත් සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම ද මේ සතිය තුළ විධිමත් කෙරෙනු ඇත.

දැනට අක්‍රීය වී ඇති ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ද මෙම සතිය තුළ ක්‍රියාත්මක තත්ත්වයට පත් කෙරෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී, සතියකින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ මෙම තීරණය ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත්,  රටේ නීතිය සහ සාමය ඇති කිරීමටත්, තමා පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට බලය පවරා ඇති බව ද ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *