පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික කමිටුවට අන්ත පරාජයක් !

 

රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු බව පුන පුනා කියූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමුටුවේ විපක්ෂයේ බහුතරයට ජනාධිපති ඡන්ද විමසීමෙන් අන්ත පරාජයක් අත් වී ඇති බවත්, මෙම කමිටුව තුළින් පාර්ලිමේන්තුවේ බහුතර මතය පිළිඹිබු නොවන බව තහවුරු වූ බවත්, දේශපාලන නිරීක්ෂකයෝ කියති.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 90 දෙනෙකු පමණ නියෝජනය කරමින් පක්ෂ නායකයින් ලෙස 20 දෙනෙකු පමණ පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුවට සහභාගී වන නමුත්, එම නායකයින් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 90 ක් තරම් පිරිසෙන් 60 දෙනෙකු වත් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දී නැති බව ඡන්ද ප්‍රතිඵල අනුව පෙනීයයි.

ජනාධිපති තේරීමේ ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් හිමිකර ගනිද්දී ප්‍රධාන ප්‍රතිවාදී ඩලස් අලහප්පෙරුම මහතාට හිමි වුයේ ඡන්ද 82 කි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3 ක් හිමිකර ගත්තේ ය.

ඩලස් අලහප්පෙරුම මහතාට හිමි වූ ඡන්ද 82 තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණයක් වන බව සලකා ගණන් බලු විට පෙනී යන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 60 ක් වත් ඒ මහතාට ඡන්දය දී නැති බවයි.

මෙයින් පෙනෙන්නේ එම ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුව අන්ත පරාජයක් ලබා ඇති බව සහ එම පක්ෂවල සැලකිය යුතු පිරිසක් නායකත්වයට එරෙහිව ඡන්දය දී ඇති බව යි.

පාර්ලිමේන්තුවේ ස්වාධින වු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු වෙනුවෙන් නායකයෝ දහයක් පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙති. සමගි ජන බලවේගය තුළ සිටින පක්ෂ වෙනුවෙන් හය දෙනෙක් සහභාගී වෙති එහි මන්ත්‍රී සංඛ්‍යාව 52 කි. ශ්‍රීලනිප මන්ත්‍රී 14 කි. දෙමළ ජාතික සන්ධානය 10 කි. මේ සියලු පක්ෂ ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දෙන බව ප්‍රකාශ කළේය. ඡන්ද සංඛ්‍යාවේ එකතුව 92 කි. ඩලස් අලහප්පෙරුම මහතාට ලැබුණු සංඛ්‍යාව 82 කි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය ද සමග ය.

මේ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවට මෙය බරපතළ පරාජයකි. ඔවුන්ගේ ම පක්ෂවල සියලු මන්ත්‍රීවරුන් වත් මේ පක්ෂ නායකයින්ගේ මතය පිළිගෙන නැත.

මෙම පක්ෂ නායකයින් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බවට ද මෙය සාක්ෂියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *