ඒකා බද්ධ වෛරය – අජිත් පැරකුම් ජයසිංහ

ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය.

ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය විසින් නායකත්වය දෙන කුඩා කල්ලි ඒකාබද්ධ විපක්ෂය දරාගෙන සිටින ශක්තියයි. ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වීමට මූලික හේතුව ඔවුන්ට පැවැත්ම ඇත්තේ ද මෙම වැඩසටහනට උර දීම තුළ පමණක් වන බැවිනි.

පොදු දේපල පනත යටතේ ඇප නොමැතිව බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම රාජපක්ෂ පවුල පැත්තෙන් පාද යාත්‍රාවේ සංවිධාන කටයුතුවලට මැදිහත් වීම අවම කිරීමට හේතු වී ඇති බව පෙනේ. රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ප්‍ර‍ධාන අර්බුදය වන්නේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනායි. මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙමින් තිබේ. අපරිණතකම නිසා වඩා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කර තිබෙන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ වැනි අය ඉතා පහසුවෙන්  නීතියේ රැහැනට හසු වන අයුරු පෙනෙන්නට තිබේ. බැසිල් රාජපක්ෂ වැනි අය අධික බලකාමයෙන් පෙළුණු අයයි. මහින්ද හා ගෝඨාභය වඩා දක්ෂ ලෙස කටයුතු කර තිබේ. එහෙත්, පොලිසිය හා අධිකරණය අපක්ෂපාතීව කටයුතු කරන්නේ නම් ඔවුන්ට මෙම චෝදනාවලින් ගැලවීම පහසු වන්නේ නැත.

රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ඇත්ත උභතෝකෝටිකය වන්නේ ආණ්ඩුව සමග සම්මුතියකට එළඹීමෙන් හෝ ගැලවී ගත නො හැකි තරමට විමර්ශන සිදු වීම හා නඩු පැටලීමයි. ආණ්ඩුවට එරෙහිව යාමෙන් ඔවුන් තවත් හිර වෙන්නට තිබෙන ඉඩකඩ ගැන ඔවුහු බිය වෙති. ඒ අතරවාරයේ ම, වෙන විකල්පයක් නැතිකම ද ඔවුන්ට බල පා තිබේ. ඒ නිසා ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමග යනමුත්, ඒ ගමන එතරම් අධිෂ්ඨානයකින් කරන බවක් දක්නට නැත. විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ තුළ මෙම ලක්ෂණය පැහැදිලිව දකින්නට ලැබේ. ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමු වන එක් ප්‍ර‍ධාන කාරණයක් වන්නේ මහින්ද ඒවාට එනවා ද නැද්ද යන්නයි. ඇත්තම කියනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයන්ට ද ඔහු ගෙන්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක්  දරන්නට සිදු වේ.

රාජපක්ෂ පවුලේ මහින්ද, නාමල්, බැසිල් වැනි අය තුළ දැකිය හැකි ප්‍ර‍මුඛ ලක්ෂණයක් වන්නේ ඔවුන් ජනප්‍රිය රැළිවල ගොදුරු බවට පත් වෙන්නට හා ඉන්පසු ඒවායේ නායකත්වයට පත් වන්නට තිබෙන නැඹුරුවයි. එයට මූලික හේතුව වන්නේ මොවුන්ට පැහැදිලි දේශපාලන දැක්මක් නැතිකමයි. දෘෂ්ටිවාදීන් නො වන ඔවුන් හැම විට ම ජනප්‍රිය රැල්ල සමග ඇදෙති. එසේම, මහජන බලවේග විසින් ඉල්ලා සිටින නායකත්වය දීමේ දක්ෂකමක් ද ඔවුන්ට තිබේ.

මෙම ලක්ෂණය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ දශකය තුළ පැහැදිලිව දක්නට ලැබුණු අතර, දෙමළ අරගලය යුදමය වශයෙන් පරාජය කර ලංකාවේ දේශපාලනය සම්බන්ධ සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට ද මහින්ද නායකත්වය දුන්නේ ය. එහෙත්, ඔහුගේ මෙම ලක්ෂණය නිසා ම ඔහුට එම සුසමාදර්ශීය වෙනස ප්‍ර‍ගතිශීලී සමාජ විපර්යාසයක් වෙත යොමු කරන්නට ද රටේ වැඩි ස්ථාවරත්වයක් ඇති කිරීමට ද යොදා ගැනීමට හැකි වූයේ නැත. ඔහුට යම් පැවැත්මක් හෝ ඉතිරි වුණේ යුද්ධයේ ජයග්‍ර‍හණය වෙනුවෙන් දුන් නායකත්වය හා අතිශය දූෂිත මුත්, යුද්ධයෙන් පසු දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති නිසා ය.

දැක්මකින් තොරව, ජනප්‍රිය බලවේග විසින් මෙහෙයවෙන නායකත්වයකට ලැබිය හැකි උපරිම වාසනාව මහින්ද රාජපක්ෂට ලැබුණු අතර, අද වන විට, තව දුරටත් වාසනාව මත පමණක් යැපෙන්නට හැකියාවක් නැත. සීමාන්තිකව මිථ්‍යාව පසුපස යමින් සිටි මහින්ද රාජපක්ෂට බලය ගිලිහීමෙන් පසු තමන්ට හා තම පවුලට අත්පත් විය හැකි තත්වය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා ගැනීමට හෝ හැකි වූයේ නැත. වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයට හේතුව එයයි.

දැන් ඔවුන්ට ඉක්මණින් මේ රජය වෙනස් කර කලින් පැවති ක්‍ර‍මය ස්ථාපිත කර ගන්නට අවශ්‍යව තිබේ. එහෙත්, ව්‍යවස්ථාව අනුව හෝ පාර්ලිමේන්තුවේ පවතින බල තුලනය තුළ හෝ එවැන්නක් කිරීමේ කිසිදු හැකියාවක් නැත. මන්ත්‍රීන් මිළ දී ගෙන පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කරන්නට ඇතැමෙක් තබා ඇති බලාපොරොත්තු සිහින පමණි. ඒවා බලය ඇති කාලයේ කළ හැකි වුවත්, බලයෙන් ගිලිහී දුබලව සිටින මහින්ද රාජපක්ෂලාට එසේ කරන්නට කිසිදු හැකියාවක් ඉතිරි වී නැත. එහෙත්, කුමන හෝ අද්භූත ආකාරයකින් ආණ්ඩු බලය අතට ගත්තත්, මහින්ද රාජපක්ෂ පාලනය පැවති දශකයේ තිබුණු පැරණි ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීම ඉතා පහසු නැත. හේතුව, පසුගිය වසර එකහමාරකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආයතන හා නීති පද්ධති යම් දුරකට ශක්තිමත් වී තිබෙන හෙයිනි.

එහෙත්, පාද යාත්‍රා වැනි වැඩසටහන්වලට සැලකිය යුතු සෙනගක් ආකර්ශනය කර ගැනීමේ හා ඉදිරි මැතිවරණයකදී ශක්තිමත් තුන්වන බලවේගයක් වීමේ හැකියාව මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයට ඇති බව පිළි ගත යුතු ය. එහෙත්, එම ශක්තිය අධි තක්සේරු කර ගත යුතු නැත. ඔවුන් ශ්‍රීලනිපයෙන් කොටසක් කඩා ගත හොත්, එය එම පක්ෂයට කෙටි කාලීනව දරුණු පහරක් වනු ඇත. එහෙත්, ශ්‍රීලනිපය අභිභවා දෙවන තැනට ඒමට හෝ ඒකාබද්ධ විපක්ෂයට පහසු නැත.

ඒකාබද්ධ විපක්ෂය තමනුත් සහභාගි වී කරගෙන යන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථා මර උගුලක් ලෙස නම් කරමින්, සිංහල-බෞද්ධයන් කුපිත කරමින් ජාතිවාදයේ පිළිසරණ සොයන්නේ ඔවුන්ට තිබෙන එකම මාර්ගය වැටී ඇත්තේ ජාතිවාදය තුළින් වන බැවිනි.

ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් නැතැයි කිසිවකුට පැවසිය නො හැකි ය. ඒ පසුපස තිබෙන අයෝමය ශක්තිය පෝෂණය වන කාරණා කීපයක් තිබේ. ඉන් පළමුවැන්න ජාතිවාදය ද නො වේ. ඒ වනාහි සමාජය ඉහ වහා ගිය දූෂණ ලෝලී, උන්නතිකාමී, පාරිභෝජනවාදී අමන මානසිකත්වයයි. මෙම බලවේගයට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව, රාජපක්ෂ සමය තුළ තිබුණු දූෂිත, අයුක්ති සහගත, අවනීතික, පාදඩ ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීමයි. මන්ද, ඔවුන් යැපුණේ එයින් වන හෙයිනි. රාජපක්ෂ දශකය තුළ වූ ප්‍ර‍ධාන සමාජ මැදිහත්වීම වන්නේ දූෂණය, අයුක්තිය හා බොරුව සමාජයේ ඉහළ සිට පහළ දක්වා ඉහවහා යාමයි. මෙම සමාජ බලවේගයේ ස්වභාවය නිරූපණය කරන එක් ජවනිකාවක් පාද යාත්‍රාවේ මුල් දිනයේ ම සිදු විය.

ගිලන් රථ යනු රෝහල්වල ඉතා දුලබ සම්පතකි. ඒවා නිකම් තිබෙන අවස්ථා ඉතා විරළ ය. එසේම ඒවා රැගෙන නිකම් එහේ මෙහේ යාමට රියදුරන්ට හැකියාවක් ද නැත. යම් රෝගියකු රෝහලකට ඇරලූ ගිලන් රථයක් ඉක්මණින් ආපසු යා යුතු ය. මන්ද, එය ආපසු එනතෙක් තවත් අසාධ්‍ය රෝගියකු බලා සිටින්නට ඉඩ ඇති නිසා ය. එවැනි ගිලන් රථයකට පහර දීමෙන් මෙම බලවේගයේ උම්මත්තක ස්වභාවය හොඳින් නිරූපණය වේ.
W3Lanka

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *