ජනපති සටනට නාමයෝජනා අද

  • තේරීම් භාර නිලධාරියා පාර්ලිමේන්තු මහලේකම්
  •  ධුරයට ඇති කැමැත්ත අපේක්ෂකයා ලිඛිතව දිය යුතුයි
  • අද පාර්ලිමේන්තු පැමිණීමත් අනිවාර්යයි
  • නාම යෝජනා එකයි නම් තොරා ගැනීම අදම

අභිනව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (19) දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා ඉදිරිපත් කළ හොත් 20 වැනිදා (හෙට) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පවත්වන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙම තෝරාපත් කර ගැනීම සිදු කරන අතර ඊට අදාළ නාම යෝජනා අද දින භාර ගැනීම සිදු කිරීමට නියමිතය. ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාම යෝජනා භාර දීමට නියමිතය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත 5 වැනි වගන්තිය ප්‍රකාරව, පාර්ලිමේන්තුව 16 වැනිදා රැස් වූ අතර එම රැස්වීමේ දින සිට පැය හතළිස් අටකට කලින් නොවන්නා වූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාම යෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව ලෙස අඟහරුවාදා එනම් අද දින පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා භාරගැනීමේ කාර්යය සිදුකරන බව මහලේකම්වරයා ප්‍රකාශ කළේය. මෙහිදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ලෙස තමන් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එමෙන්ම පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරා පත්කර ගනු ලැබුව හොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට එතුමා කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබාගත යුතු අතර එහි පිටපතක් නාම යෝජනා භාරගනු ලබන අද (19) දින තමන් වෙත වෙත භාරදිය යුතු බවද හෙතෙම පැවසීය. නාම යෝජනා භාරගන්නා දිනයේදී, නාම යෝජනා කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම අද දින සභාගර්භය තුළට පැමිණ සිටිය යුතු අතරම ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයකු ස්ථීර කළ යුතු වේ. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවසර නොමැති බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

එක් මන්ත්‍රීවරයකුගේ නමක් පමණක් ජනාධිපති ධූරය සඳහා යෝජනා කර, ස්ථීර කරනු ලැබුවහොත් එලෙස යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තෝරා පත්කර තිබෙන බව තමන් ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම පැවසීය. කෙසේවුවද එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙ‍නෙකුගේ නම් යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලබයි නම් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව නාම යෝජනා භාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම සිදු කරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතු වේ. ඒ අනුව, දැනට අදහස් කර ඇති පරිදි 20 වැනි බදාදා පාර්ලිමේන්තු රැස් කර ජනාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම සිදු කිරිමට නියමිත වේ. එමෙන්ම පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව මහ‍ලේකම්වරයා සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *