එට්කා ගිවිසුමට හා අධ්‍යාපනයේ නිදහසට එරෙහි වන්නේ කුහකයින් – ගාමිණි වියන්ගොඩ

මේ රටේ රාජ්‍ය පාලනය සඳහා යම් ක්‍රමවත් පද්ධතියක් ඉතිරි වී තිබුණා නම් රාජක්ෂගේ පාලන කාලයේ දී ඒ සියල්ල විනාශ කළේ ය. අධිකරණය පද්ධතිය කියලා එකක් තිබෙනවා නම්, නීතිය කියා එකක් තිබෙනවා නම්, ඒ ඒ පුද්ගලයාට, ඔහු ජනාධිපති වූවත්, අගමැතිවූවත්, ඔවුන් යටතේ සිටින බලසම්පන්න කෙනෙක් වූවත්, කිසිකෙනෙකුට නීතිවිරෝධි කිසිවක් කරන්නට නොහැකි වේ. එහෙම වෙන්නට නම් ඒ රටේ පද්ධති කියලා දෙයක් තිබිය යුතු ය. පද්ධතියෙන් තමයි යහපත් රාජ්‍ය පාලනය තුළ දේවල් සිදුවන්නේ. අපේ රටේ එහෙම පද්ධතියක් නැත. මේ පද්ධතිය තිබුනේ ද නැත. තිබුනේ නැති නිසා තාජුඩීන් සම්බන්ධව රජපවුලේ පුතෙකුට එරෙහි ප්‍රශ්නයක් පැමිනි විට තාත්තා නැත්නම් අම්මා තීරණය කරනවා, නැත්නම් බාප්පා තීරණය කරනවා ඌව මරන්නට ඕනේ කියලා. ඒ තීරණය ගෙන දින තුන හතරකින් තාජුඩීන්ව ඉවරකර දමනවා.
ඊ ළගට තවත් අවස්ථාවක දී එක්නැළිගොඩ මොනවා හරි පත්තරේ ලියනවා නම් මුගේ කට වහන්න ඕන බව මේ පවුලේ කෙනෙක් තීරණය කරති. එසේ තීරණයකර ඇවිත් කුදලාගෙන ගොස් මරා දමති. ඒවාට පද්ධති නැත. පුද්ගලයෝ සිටිති. තීරණ ගනිති. ක්‍රියාත්මක කරති. අපි ජනවාරි 08වෙනිදා ආණ්ඩු වෙනසක් කළේ ඒ ක්‍රමය වෙනස් කරගැනීමට ය. ඒක වෙනස් කරනවා යැයි කියන්නේ පද්ධති ඇතිකර, මේ පද්ධති ශක්තිමත් කිරීම ය. මේ පද්ධති ශක්තිමත් වෙනවිට රාජ්‍ය කියන එක දුර්වල වේ. එවිට පාලකයා ද දුර්වල වේ.
මගේ අනු කථාව තමයි මේ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන ඉල්ලීම් බොහොමයක් දැක්කාම, අපිට පේනවා ඒ අයත් හදන්නේ, අර රාජ්‍ය ශක්තිමත් කිරීමට ය. ඒ සඳහා තමයි ඒ අයත් මේ කෑ ගසන්නේ. උදාහරණයක් ලෙස මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මේ දිනවල විශාල උද්ඝෝෂණයක් ඇත. මේ අය කියන්නේ කුමක් ද? අධ්‍යාපන කඩ එපා. වෛද්‍ය විද්‍යාල කඩ එපා කියන සටන් පාඨ යටතේ මේ අය කියනවා මේක වසා දැමිය යුතු බව. නැත්නම් ආණ්ඩුවට ගන්නා ලෙස බල කරති. දැන් මේ කියන මිනිස්සු ඇවිල්ලා යම් යම් සංවාද මණ්ඩපවල කථා කරති. බඬේ බිජු තියාගෙන ඔවුන් කථා කරන්නේ. රූපවාහිණි සංවාදයක දී එක වෛද්‍යවරයෙකුගෙන් මම දැක්කා අහනවා ඔබතුමාගේ උසස් පෙළ ප්‍රතිඵය මොනවා ද යන්න. මේ වෛද්‍යවරයාට උත්තර දී ගන්නට නොහැකි වේ. මොනවාද තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵල කියා ඔහුට කියා ගන්නට නොහැකි වේ. මම උසස් පෙළ කළේ 1972 දී ය. මා සමත් වූ විෂයන් හා මට ලැබුණු සම්මාන මොනවා ද යනාදි සියලු දේ මට මතක ය. මේ වෛද්‍යවරයා මගේ පරම්පරාවේ නොව මගෙන් පසු පරම්පරාවේ ය. ඒ කියන්නේ 1980 ගණන්වල, නැත්නම් 90 ගණන්වල වෛද්‍ය විද්‍යාලයෙන් පිටවූ අයෙකි මොහු. ඔහු කියනවා මට ඒ ප්‍රතිඵල මතක නැති බව.
මේකේ තේරුම මොකද්ද ? මේකට උත්තර දුන්නොත්, එයා මේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය වහන්නට ඕනේ කියන කථාව පිටුපස තිබෙන කුහක කථාව එළියට පැමිණේ. මොකද්ද කථාව. අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියා අපි තේරුම් අරන් තිබෙන්නේ, ආණ්ඩුවෙන් දෙන අධ්‍යාපනය වේ. ඒක තමයි අපි මේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක අධ්‍යාපනයේ නිදහස නොවේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ දෙන ආණ්ඩුවේ අධ්‍යාපනයට ය. මේක හොඳයි. හැබැයි මේකේ සීමාවක් තිබේ. ආණ්ඩුවකට නොමිලයේ අධ්‍යාපනය දෙන්නට පුඵවන් සීමාවක් ඇත. මේ සීමාව තීරණය වන්නේ ඒ ඒ රටේ තියෙන ආර්ථික ශක්තිය මත ය. ආර්ථික ශක්තියෙන් වැඩි රටවල උසස් පෙළ සමත්වන සියලුම දෙනාම විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගනිති. උදාහරණයක් ලෙස ප්‍රංශයේ උසස් පෙළ සමත්වනවා නම් 90%ක්, ඒ 90% ම විශ්ව විද්‍යාලයට බඳවා ගනී. ලංකාවේ එසේ ගන්නට නොහැක. ඇයි ගන්නට නොහැකි. ගන්න තරම් අපිට පහසුකම් නැත, ගුරුවරු ප්‍රමාණය නැත, ඒ ඩෙස් බංකු ප්‍රමාණය නැත. ඒ පර්යේෂණ පහසුකම් නැත. ඒ විද්‍යාගාර නැත. කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන්නට හැකියාවක් නැත. ඒ නිසා 80%ක් සමත් වූවත්. විශ්ව විද්‍යාලවලට ගන්නේ 15%ක් නැතිනම් 20%කි. එතකොට 20%ක් විශ්ව විද්‍යාලය ඇතුලට ගන්නවා ඉතිරි 60%ත් ඒ වගේම විභාගය සමත් වී ඇත. හැබැයි අර කී හේතු මත රජයේ විශ්ව විද්‍යාලයට ඔවුන්ව ගන්නේ නැත. දැන් ඒ අය අතරමං වේ. මාළඹේ වෛද්‍ය විදාලයට හා පෞද්ගලික ආයතනවලට විරුද්ධව කතාකරන සෑම කෙනෙකුගේ ම තර්කය වන්නේ, තමන් වගේම විභාගය සමත් වූ අර 60%ට විශ්ව විද්‍යාලයක් දෙන්නට එපා කියන එක නොවෙයි ද? උසස් අධ්‍යාපනයක් ඒ අයට දෙන්න එපා කියන එක නොවෙයි ද මේ කියන්නේ. අපි රටක් විදියට ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතු යි උසස් අධ්‍යාපනය ලබන සියලුම දෙනාම අධ්‍යාපනය ලබා දෙන්නට. එහෙම බැරි නම් ආණ්ඩුවට මේක කරන්නට ශක්තියක් නැති බව තේරුම්ගෙන, වෙනත් අංශයකට ඒක කරන්නට ශක්තියක් ඇත්නම්, ඒ අයට ඒ කාර්ය පවරණ එකයි කරන්නට තිබෙන්නේ. පෞද්ගලික විශ්ව විද්‍යාල එන්නේ අන්න ඒ ආකාරයට ය. ළමයා අතර මං නොකර ඒ ළමයාට මුදල් ඇත්නම්, දෙමාපියන්ට හැකියාවක් ඇත්නම් ඒ වියදම දරන්න, තම අරමුණ ඉටුකර ගන්නට නිදහස තිබිය යුතු ය.
දැන් මේ අය කියන දේ තුළ තිබෙන අසාධාරණත්වය කුමක් ද? ඒක අසාධාරණ ද? දැන් අර වෛද්‍යවරයා කියනවා නම් මගේ උසස් පෙළ ප්‍රතිඵල මේකයි කියලා. එහෙනම් අනික පැත්තට තර්ක කරන්නට පුළුවන් වෙනවා ඔබතුමා ඔය තත්ත්වයට පත්කල ප්‍රතිඵල වලට වඩා ඉහල ප්‍රතිඵල ලැබූ අය අද සිටිනවා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්වීම නොහැකි ව. එසේ වන්නේ ගන්නේ සීමිත ප්‍රමාණයක් නිසා ය. එතකොට ඔබතුමා කියන්නේ ඔබතුමාට වැඩිය හොඳට විභාගය සමත් වූ මෙපමන ශිෂ්‍යය ප්‍රමාණයකට වෛද්‍ය අධ්‍යාපනයට ඉඩක් නොදිය යුතු බව ද? මේ ප්‍රශ්නය ඇසිය හැක. ඒක නිසා තමයි තමන්ගේ ප්‍රතිඵල නොකියන්නේ. එසේ නොකියන්නේ අමතකවිම නිසා නොවේ. අද ඒ අය යෝජනා කරනවා මාලඹේ වෛද්‍ය විද්‍යාලය ආණ්ඩුවට ගන්නා ලෙස. අපිට මේ දැන් තියෙන රාජ්‍යයත් ශක්තිමත් වැඩි ය. ඕනෑවට වඩා මේකට බර පටවා තිබේ. ඇදගෙන යන්නට නොහැක. මෙක ඇදගෙන යන්න තමයි තමුන්නාන්සේලාගෙන් බදු අය කරන්නේ. එසේ තියෙද්දිත් අපි කියනවා නම් මේ විකත් ආණ්ඩුවට ගන්නට. මේ බද්ද ඊ ළගට 18%ක් පමණ වැඩි කරන්නට සිදුවේ. ඒකට කැමති ද? ඒ බද්ද දාන්න ගියාමත්, කියනවා වැට්බදු අයින්කරන්න කියලා. එක පැත්තකින් කියනවා බදු අය කරන්නට එපා කියලා. අනික් පැත්තෙන් කියනවා පෞද්ගලික වෙළෙන්දා නැතිනම් ධනපතියා වියදම්කර පිහිටුවා තිබෙන වෛද්‍ය විද්‍යාලයක් ආණ්ඩුවට ගන්නට කියලා. මේවගේ හතර බීරි කථා තමයි දැන් මේ කියන්නේ.
අද බන්දුල ගුණවර්ධන කියනවා යම් ආකාරයකට ඉන්දියාවත් සමග එට්කා ගිවිසුම අත්සන් කළොත් ලේ වැගිරීමක් පවා මේ රටේ ඇතිවේවි කියලා. රට ගිනි තියෙනවා කියන්නේ මේකට ය. මොකද්ද මේ මිනිසා මේ කියන්නේ. ලේ වැගිරීමක් නොහොමද ඇති වෙන්නේ, රටවල් දෙකක් අතර වෙළ ගිවිසුමක් අත්සන් කළා ම. මතක ද 87-89 සිදු වූ දේ ඉන්දියාවත් සමග ගිවිසුමක් අත්සන් කළවිට. මතක ද ? මියගිය ප්‍රමාණය. මරපු ප්‍රමාණය මතක ද? දැන් මේ එට්කා ගිවිසුම අත්සන් කළොත් එහෙම ආයෙත් ඒ ආකාරයටම මැරේ වී කියන අර බිල්ලාව දානවා මේ මිනිසා දැන් අපේ ඉස්සරහාට. මේ නොකියා කියන්නේ මේක අත්සන් කළොත් අපිත් ඒවගේ වැඩකට හවුල්වන බව ය. ඒ අයම තමයි 87- 89 ඒකට හවුල් වූයේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව. දැන් ඒක අලුත් අදියරකින් ගමන් ගන්නට තමයි මේ ආකාරයේ අනතුරු ඇගවීම් මේ අය මේ කරන්නේ.
මෙහි දි මූලික කාරණා කිහිපයක් තිබේ. එකක් තමයි ජනවාරි 8වෙනිදා අපි අපේක්ෂා කළ ඒ යහපාලනය හිතුපු ආකාරයට ඉටුවී නැතැයි කියන කාරණ ය. මේක ගැන සාකච්ඡා කිරීමේ දී එකපැත්තකින් අපිට මේ ආණ්ඩුව ලවා ඒ යහපාලනයේ ඉටු නොවු දේවල් ටික ඉටුකර ගැනීමට අවශ්‍ය ය. ඒ සඳහා ආණ්ඩුව වරද්දන හැම තැනක දී ම විවේචනයට ලක්කළ යුතු ය. ඒ වගේම අපිට නැවත මහින්ද රාජපක්ෂ බලයට පත්වීම වලක්වා ගැණීම ද ඒ හා සමානවම වැදගත් ය. ඔහු නැවත බලයට එන්නට යන්නේ අර කියන ආකාරයට දේශපාලනඥයාව ශක්තිමත්කර පද්ධති කියන ඒවා පැත්තකට කරන්නට ය. ඒක අපිට අවශ්‍ය නැත. කිසිම නායකයෙකුට තනි තීරණ ගන්නට බැරිවෙන ආකාරයට අපි මේ පද්ධති ටික ඇතිකරගත යුතු ය. ඒක සඳහා මේ ආණ්ඩුව විවේචනාත්මකව ආරක්ෂා කරගැනීමට අපිට සිදුවේ. මක්නිසා ද ? අද අපිට වෙනත් විනල්පයක් නැත. මහින්ද රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන වගේ අය මේ ආකාරයට කියන විට ඒක පිටුපස ඇති දේශපාලනය කුමක් ද යන්න අපි තේරුම්ගත යුතු ය. තමුන්නාන්සේලාගේ බදුබර වැඩිවෙන එක නිසා නොවේ මේ අය කෑ ගසන්නේ. ඒක මේ එට්කා ගිවිසුම නිසා තමුන්නාසේලාගේ රක්ෂා නැතිවන නිසා නොවේ. එතන දී රක්ෂා නැතිවෙන්නේ කාගේ ද? මේ රටේ ගොවියන්ගේ රක්ෂා නැතිවෙනවා ද ? ඒකෙන්. කම්කරුවන්ගේ රක්ෂා නැතිවන්නේ ද? ලිපිකරුවන්ගේ රක්ෂා නැතිවෙනවා ද? ගුරුවරුන්ගේ නැතිවෙනවා ද? කාගේවත් රක්ෂා නැතිවෙන්නේ නැත. ඉතා සුළු පිරිසකගේ විශේෂඥභාවය තුළ තරගයක් ඇතිවිය හැක. ඒක ඇත්ත ය. විශේෂඥ දැනුමට තරයක් ඇතිවිය හැක. ඒක විය යුතු ය. මේ සති දෙකකට ප්‍රථම මගේ බිරිඳව එකතු කරගෙන මා වෛද්‍යවරයෙකු ළගට ගියෙමි. ගාස්තුව රු 2400ක් විය. රෝග පරික්ෂාවට හා බෙහෙත ලිවීමට විනාඩි දෙකක් යන්නට ඇත. මම කැමතියි ඉන්දියාවෙන් ඒ ආකාරයේම සුදුසුකම් ඇති, ඒ වගේම පළපුරුද්ද ඇති යම් වෛද්‍යවරකෙු සිටි නම් රු 1500ට මගේ බිරිඳට ඒ ප්‍රතිකාරය කරන්නට. කවුද ඒකට අකැමැති. මේ අපේ වෛද්‍යවරුන්ට ඕනෑ කරන්නේ කුමක් ද? ඉන්දියාවෙන් එන්නට ඕනේ නෑ. උඹලා මට රු 2500ම ගෙවන්නම ඕනේ කියන එකයි මේ කියන්නේ. බැරිනම් කරන්නේ කුමක් ද? බැරිනම් ගෙදරට වෙලා නිකම් හිටපං. නැතනම් රජයේ රෝහළට පලයං. ගිහිල්ලා පෝලිමේ හිටපං. මේක නොවෙයි ද මේ දොස්තරවරු අද මේ කියන්නේ. ඒ නිසා රක්ෂාවලට තර්ජනයක් මේ එට්කා ගිවිසුමෙන් සිදුවන්නේ නැත. තියෙන්නේ මේ විශේෂඥ දැනුම තියන අයගේ ඒකාධිකාරය කැඩියැමකි. වෙනත් ආකාරයට කියනවා නම් තමන්ගේ කුළකයේ අයට පමණක් මේ වළ ඉහගෙන කන්නට තිබිය යුතුයි කියලා විශ්වාස කරන පිරිසකට, තරගයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නයකි මෙතන තියෙන්නේ.
මේ දේවල් ජනතාවට සන්නිවේදනය කරන්නට වැඩපිළිවෙලක් මේ යහපාලන ආණ්ඩුවට නැත. ඒක නිසා හැමදාම රෑට මහින්ද රාජපක්ෂගේ පිරිස කියන මොන මොන හරි දේවල් රූපවාහිනියෙන් බලගෙන සිට මහජනතාව විශ්වාස කරනවා ඒක තමයි සත්‍යය කියලා. මේ වගේ තත්ත්වයටකට අපි අද මුහුණ දී තිබෙන්නේ. කොහොම හරි අභියෝගය අපි තේරුම් ගතයුතු ය. අභියෝගය තමයි මේ යහපාලන ආණ්ඩුවෙන් අපේ යහපාලන ව්‍යාපෘතියේ සියල්ල ඉටුකර ගතයුතුව තිබේ. ඒ සඳූහා ආණ්ඩුව වරදක් කරන සෑම වෙලාවක ම කොන්දේහි විරහිතව එය ව්වේචනය කළයුතු අතරම ඒක පාවිච්චි කරමින් නැවත මහින්ද රාජපක්ෂ බලයට එන්නට ඉඩ නොදි ඒ ප්‍රතිගාමි නඩය පරාජය කිරීම.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *