ගල් අඟුරු හොරු කව්ද..?

ගල්අඟුරු ජාවාරමක් පිළිබඳව රාජපක්ෂ කල්ලියෙන් විරෝධතා හඬක් නැගී තිබේ. මෙය සම්පූර්ණයෙන්ම ගල්අඟුරු වලින් තමන්ට ලැබුණු ලාභ ප‍්‍රයෝජන නැතිව යාම නිසා රාජපක්ෂ කල්ලියෙන් පැමිණි වියරු ප‍්‍රතිවිරෝධයකි. සත්‍ය කතාව නම් ශ්‍රී ලංකාවට 2009 සිට 2015 දක්වා ගල්අඟුරු ගෙන්වීමෙන් ප‍්‍රකෝටි ගණන් මුදල් උපයා ගත්තේ රාජපක්ෂ පවුල ප‍්‍රමුඛව ඔවුන්ගේ ඥාතින් බවයි. මේ පිළිබඳව සිදුකළ ගවේශනාත්මක තොරතුරු මෙසේ පෙළගස්වමි.

ගල්අඟුරු පළමු ටෙන්ඩරය 2009 – 2012 නෝබල් රිසෝසස්

ලංකාවේ පළමු ගල්අඟුරු ටෙන්ඩරය සඳහා 2009 දී සුදුසුකම් ලැබුවේ සමාගම් 4 කි. එයින් ටෙන්ඩරය කැඳවූ  FOB අගය මත තාක්ෂණික ඇගැයීම් කමිටුව තීරණය කළේ එය කෝල් ඔෆ් ඇෆ්රිකා (Coal of Africa) සමාගමට ලබාදීමටය. ඉන්පසු එවකට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ෆර්ඩිනැන්ඩු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මැදිහත්ව රාජපක්ෂලාගේ උපදෙස් මත ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර CIF අගය ගන්නා ලෙස තීරණය කරන ලදී. එවිට තේරුණේ හොල්සිම් සමාගමයි. පසුව ජනපති මහින්ද රාජපක්ෂ යටතේ වූ PAB මණ්ඩලයේ තීරණයක් ගෙන නෝබෙල් සමාගම ඉහළම කැලරි අගය දෙන ගල්අඟුරු සපයන බවට පෙන්වා (කිසිදු කලෙක එම අගයට 6300 Kcal/kg නෝබෙල් සමාගම ගල්අඟුරු ලබාදී නොමැත) නෝබෙල් සමාගමට ටෙන්ඩරය ලබාදෙන ලදී. ඊළග සතිය ඇතුළත චමල් රාජපක්ෂගේ වරාය අධිකාරියේ නැව් සංස්ථාව මගින් ගල්අඟුරු ප‍්‍රවාහනයට යෙදවීමට තීරණයක් ගන්නා ලදී. එවිට නැවතත් අගය ගැනුනේ FOB ක‍්‍රමයට වුවත් කෝල් ඔෆ් ඇෆ්රිකා ට ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන්නේ නැත. මේ සියළු කරුණුවලින් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව ප‍්‍රකෝටි ගණනකි. ශ්‍රේෂ්ඨාධිකරණය එදා මේ ප‍්‍රසම්පාදන ක්‍රියාවලිය විමසුවා නම් මේ සහගහන අපරාධය පිළිබඳව ඔවුන්ගේ හද පැලී යනු ඇත.

නෝබෙල් සමාගම දේශීය වශයෙන් ලියාපදිංචි වූ ආයතනයක් නොවූ අතර, රජයේ කොන්ත‍්‍රාත් පනත යටතේ එයට ටෙන්ඩරය ලබාදීම පවා නීති විරෝධී කටයුත්තකි. මේ බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීීන්දුවේද සඳහන් වේ. කෙසේ වෙතත් නෝබෙල් සමාගමේ දේශීය ඒජන්තයා ලෙස බවර් සමාගමේ සෙනරත් කහඳලියනගමගේ පත්කර තිබුණි. නමුත් සම්පූර්ණ ක්‍රියාවලිය අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවූයේ අමල් පීරිස්, ජෙහාන් අමරතුංග සහ රවී විජේරත්න විසිනි. මේ සඳහා ඔවුනට කොමිස් මුදලක් ලැබුණු අතර, ගල්අඟුරු ලාභයෙන් වැඩි කොටස ඇදී ගියේ මහින්ද රාජපක්ෂගේ සහෝදරියකගේ දරුවන් වන හිමාල් හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චිට (දැනට නාමල් රාජපක්ෂට හා යෝශිත රාජපක්ෂට එරෙහිව ඇති මුදල් විශුද්ධිකරණ නඩු දහ අටේම මොවුන් විත්තිකරුවන් වී සිටීමද විශේෂ අවස්ථාවකි) මුල් වටයේදී එවක ජනපති මහින්ද රාජපක්ෂගේ නියමය අනුව රවී විජේරත්න රිවිර සමාගමේ කොටස් සේන යද්දෙහිගේ ගෙන් රුපියල් මිලියන 70 ක් වියදම් කර මිලදී ගත් අතර, ඒ සඳහා ප‍්‍රසන්න වික‍්‍රමසූරිය රිවිර අධ්‍යක්ෂ මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්කෙරිණි. මෙයට අමතරව සී.එස්.එන්. ආයතනයේ මාධ්‍ය ජාලය සඳහා හිමාල් හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි මිලියන 100 කට අධික ප‍්‍රමාණයක් ආයෝජනය කර ඇත. නැසීගිය ලසන්ත වික‍්‍රමතුංගගේ සහෝදරයා වෙතින් රවී විජේරත්න මිලියන 45 කට ලීඩර් සහ ඉරුදින පුවත්පත් ද මිලදී ගත්තේය. (එකල පුවත්පත් වාර්තා බලන්න) එසේම, ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකම ප‍්‍රවෘත්ති කර්තෘවරුන්ගේ දරුවන් විදේශගත කිරීමටද, ඔවුන්ට මාසික දීමනා ලබාදීමටද, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ දරුවන්ගේ විවාහ මංගල උත්සව වලටද ගල්අඟුරු වංචාවලින් ලද මුදල් යොදවා තිබිණි. මෙයින් විශාල ධනයක් හිමාල් හෙට්ටිආරච්චි, ලයිකා මොබයිල් ආයතනයේ (මෙය කොටි සංවිධානයේ හිතවතුන් විසින් ආරම්භ කරන ලද්දකි) ආයෝජනය කර තිබිණි.

දෙවැනි ගල්අඟුරු ටෙන්ඩරය

2012 වසරේදී දෙවැනි ගල්අඟුරු ටෙන්ඩරය ඉදිරිපත් කළ අතර, එහිදී බලාගාරය පුළුල්වීම නිසා ගල්අඟුරු තොග ටොන් මිලියන 2.2 ක් හෙවත් තුන්ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිවිය. එහිදී සිදුවූයේද විවිධ ආයතන මැදිහත්වී අභියාචනා, නඩුහබ හරහා ටෙන්ඩරය පමාකොට ගල්අඟුරු හිඟයක් ඇතිකොට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නෝබෙල් සමාගමටම ටෙන්ඩරය ලබාදීමය. එතැන් සිට ටෙන්ඩරය හරහා ගල්අඟුරු වල ලාභය ගලාගියේ යෝශිත රාජපක්ෂටය. සී.එස්.එන්. ආයතනය සඳහා ප‍්‍රකෝටි ගණන් ධනයද, ඩුබායි සහ යුක්රේනයේ විදේශ බැංකු ගිණුම්වල අරමුදල් ද යෝශිතට හිමිවූයේ ඒ අයුරිනි. 2013 වසරේ ටෙන්ඩරයටද මිල ගණන් කැඳවූ අතර, එය ස්විස් සිංගප්පෝ ආයතනයට ලබාදීමට තීරණය විය. එහිදී නෝබෙල් ඇතුළු සෙසු සියළු සමාගම් නීති විරෝධී සමාගම් බවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කළේය. එහි අරමුණ වූයේ වෙනකකි. එනම් දකුණු අප්‍රිකාව හරහා විදෙස්ගත කොටි කල්ලිවලට කප්පමක් ගෙවීමය. මෙය පිටුපස සිටියේ සජින් වාස් ගුණවර්ධන, එස්. සුබ‍්‍රමනියම් සහ දකුණු අප්‍රිකානු තානාපතිවරයාය. කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍ය වලින් හෙළිදරව් වීමෙන් පසු ස්විස් සිංගප්පෝ ටෙන්ඩරය අවලංගු කර නැවත නෝබෙල්ටම ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් අතර ස්විස් සිංගප්පෝ සමාගමට තෙල් අානයනය සඳහා තරගයකින් තොරවම බලපත‍්‍රයක් ද ලබාදෙන ලදී. 2015 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය වර්ජනය කරලීම සඳහා විදේශගත දෙමළ කල්ලි මෙම තෙල් සල්ලිවලින් උත්සාහයක් දරන ලද නමුත් එය එතරම් සාර්ථක වූයේ නැත. (ජනාධිපතිවරණයේදී රටේ ඡන්ද ප‍්‍රකාශිත ප‍්‍රතිශතය 80% ක්වූ අතර යාපනය සහ වන්නියේ එය 65% ක් විය).

දින 100 වැඩපිළිවෙල යටතේ ස්විස් සිංගප්පෝ සමාගමේ තරගකාරී නොවන ටෙන්ඩරය අවලංගු කර තරගකාරී ටෙන්ඩරයකට ඉඩදීම නිසා (මේ සමගම යුනිපෙක් සිංගප්පෝ වෙත ද ලබාදී තිබුණු ටෙන්ඩරයද අවලංගු කෙරිණි.) ප‍්‍රකෝටි ගණනක ඉතුරුවක් තෙල් සංස්ථාවට හිමිවිය. එමෙන්ම, 2015 දී වසර 5 ක් නෝබෙල් සමාගමට දී තිබුණු ගල්අඟුරු අධිකාරියද බිඳ දැමුණු අතර, ක්ෂණික මිලදී ගැනීම් හරහා ගල්අඟුරු මිලදී ගැනීම් සිදුකර තිබේ. මේ නව ක‍්‍රමය නිසා වසරක් තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති ලාභය රු. මිලියන 1800 ක් බව ද විගණකාධිපති විමසුමෙන් පෙනීයයි. පෙර දී නම් මේවා රාජපක්ෂලා ගසා කෑ මුදල් බවට පත්වී තිබිණි.

ටෝරියන් ගනුදෙණුව සහ රොකට් රෝහිතගේ චන්ද්‍රිකාව

2009 – 2015 කාලයේදී නෝබෙල් සමාගම විටින් විට ගල්අඟුරු සැපයීම පමා කිරීම හා අත්හිටුවීම නිසා ලංවිමට කෝටි ගණනක පාඩුවක් සිදුවිය. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් පසුගිය ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. මෙවැනි එක් අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ යටතේ වූ ලංකා නැව් සමාගම විසින් ගල්අඟුරු නැව් තුනක් ටෝරියන් නම් සමාගමෙන් මිලදී ගෙන තත්වයෙන් බාල ගල්අඟුරු තොගයක් සපයන ලදී. මේ සඳහා රුපියල් මිලියන 460 ක් ගෙවීම එවකට විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක විසින් ප‍්‍රතික්ෂේප කරන ලද නිසා ඔහුව තාක්ෂණ ඇමති ලෙස මාරුකර යවා පවිත‍්‍රා වන්නිආරච්චිව විදුලිබල ඇමති ලෙස පත්කර 2013 ජූනි මස මෙම මුදල් ටෝරියන් සමාගමට ලබාදෙන ලදී. මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව අද දක්වා පියවා නොමැති බවද දැනගන්නට ලැබේ. ටෝරියන් සමාගමේ දේශීය නියෝජතයා වූ මනිවන්නන් මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ හරහා ව්‍යාජ චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ අතර, සුප්‍රීම් සැට් නම් වූ එම ව්‍යාපෘතියට අරමුදල් සම්පාදනය කෙරුණේ ලංකා නැව් සංස්ථාව විසින් වංචා කළ ගල්අඟුරු නැව් තුන හරහාය.

රාජපක්ෂලා රිමාන්ඞ් බන්ධනාගාර ගතවූ විට දේශපාලන පලිගැනීම් යැයි කෑ ගසමින් වීරයන් වීමට නාමල් සහ යෝශිත දඟලන්නේ ගල්අඟුරුවලින් සොරාකෑ මේ කෝටි ගණනක ධනය සිහිවීමෙන් බව දැන් පැහැදිලි වනු ඇත. ගල්අඟුරු වංචාව පිටුපස දිවෙන මේ ගුප්ත කතාන්දරයේ සත්‍යතාවය මෙහි සඳහන් තොරතුරු විමර්ෂණය කිරීමෙන් තවදුරටත් දැනගත හැකිය.

 

ගවේශන සටහන නිදහස් මාධ්‍යවේදී

සඳමාල් එදිරිසිංහ විසිනි

lankaenews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *