|

ද්විත්ව පුරවැසි ගීතාට මන්ත්‍රීකම් බැහැ

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිබවින් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ඇගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින් ස්විට්සර්ලන්ත අධිකාරිය කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් තවමත් ද්විත්ව පුරවැසිලාභී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.‍සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති අනුව ද්විත්ව පුරවැසිභාවයක් දරන ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ද ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණය වෙත ඊයේ (26) වැඩිදුරටත් දැන්වීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත ද්විත්ව පුරවැසියෙක් හෙයින් ඇය එම මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම නීති විරෝධී බව හා ඇය එම තනතුරේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්ද දායකයන් පස් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම ඊයේ (26) කැඳ වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා එසේ පැවසීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම ඊයේ (26) කැඳවුණි.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මහ ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇත.

තමා ද්විත්ව පුරවැසි බව අතහරින බව ගීතා කුමාරසිංහ මහත්මිය 2015 අගෝස්තු 15 වැනිදා ස්විස්ටර්ලන්ත අධිකාරිය වෙත දන්වා ඇති බව ලේඛන අනුව පෙනී ගිය ද ඇගේ පුරවැසිබව අත්හල බව සනාථ කිරීමට හැකි කිසිදු ලියවිල්ලක් ස්විස්ටර්ලන්ත අධිකාරිය විසින් ඉදිරිපත් කළ බවට සනාථ කර නැතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ඊයේ (26) පැවසීය.

තවද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉකුත් වසරේ නාම යෝජනා භාර දෙන විටත් ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසියෙක්ව සිටි බව පැවසු ජේ.සී. වැලිඅමුණ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති අනුව ද්විත්ව පුරවැසිලාභියෙකුට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ද අවධාරණය කළේය. ද්විත්ව පුරවැසිලාභියෙක් පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස තේරී පත් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසීය.

මෙම රිට් පෙත්සම වෙනුවෙන් නීතිපතිවරයා හා වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ලබන ඔක්තෝබර් මස 24 වැනිදාට දින නියම කළ අභියාචනාධිකරණය පෙත්සම කැඳවීම ද එදිනට කල් තැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ම‍නෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය.

කුමුදු හෙට්ටිආරච්චි – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *