හම්බන්තොට වරාය හදන්න චීන බැංකුවකින් මිලියන 1,29,848ක් ගිනි පොලියට අරන්

 

පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීන රජයේ බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අටක (මිලි. 1,29,848) ණය මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැඩි ලෙස මූල්‍ය අර්බුදයකට පත් කරන ණය බරක් බවට පත්ව ඇතැයි රාජ්‍ය විගණන වාර්තාවකින් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් රජයක් විදෙස් රටකින් ණය ලබාගන්නේ දශම තුනක පමණ වූ පොලියකට වෙයි. එහෙත් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා පසුගිය රජය ඉහත සඳහන් චීන බැංකුවෙන් ණය රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අට ලබාගෙන ඇත්තේ සියයට හයයි දශම දෙක (6.2) පොලියට බවද රාජ්‍ය විගණනය පෙන්වා දෙයි.

හම්බන්තොට වරාය ඉදිකිරීමට වැය කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් හතර දහස් එකසිය හැත්තෑවකි. (1,44,170) ඉන් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අටක් එම චීන බැංකුවෙන් ලබාගත් ණය වෙයි.

හම්බන්තොට වරාය ඉදිකිරීම පළමු අදියරේදී රුපියල් මිලියන හැත්තැතුන්ලක්ෂ අටසිය තිස්තුනක් යොදවා ඇත. දෙවන අදියර සඳහා රුපියල් මිලියන හැත්තෑදහස් තුන්සිය තිස් හතක් යොදවා ඇති බවද රාජ්‍ය විගණනයෙන් හෙළිවෙයි. රුපියල් මිලියන එක්ලක්ෂ විසිනව දහස් අටසිය හතළිස් අටක ණය මුදල නිකුත් කිරීමේදී එම චීන රජයේ බැංකුව බැඳීම් ගාස්තු වශයෙන් රුපියල් මිලියන තුන්දහස් හත්සිය අසූ අටක් අය කර ඇත. මේ අතර වරාය ඉදිකර විවෘත කිරීමෙන් පසු ආරම්භක පළමු වසර හතර තුළම පාඩු මිස කිසිදු ලාභයක් සිදුවී නැති බව විගණනය පෙන්වා දෙයි. 2015 වසරේ මුළු පාඩුව රුපියල් මිලියන තිස්හත්දහස් එකසිය අසුහයක් වෙයි.

මීට අමතරව රුපියල් මිලියන එකළොස්දහසක් (11,000) වැය කර ඉදි කළ හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණයත් ඔලුවිල් වරායත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් වී ඇති බවද පෙන්වා දෙයි.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන ඇති රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස සඳහා වූ ණය වාරිකයක් ඊට අදාළ පොලියත් තවත් අවුරුදු 20ක පමණ කාලයක් ගෙවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදුවී ඇත. මෙතරම් විශාල ණය මුදලක් ගෙවීම මහා භාණ්ඩාගාරයටද විශාල ගැටලුවක් වී ඇත. එපමණක් නොව ඉදිරි වසර ගණනාවක් යනතෙක් හම්බන්තොට වරායෙන් එම ණය ගෙවීමට තරම් හැකි ආදායමක් ලැබේද යන්න පවා සැක සහිත බවද රාජ්‍ය විගණනය මඟින් සකස් කර ඇති වාර්තාවක් පෙන්වා දෙයි.

විජයානි එදිරිසිංහ – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *