පුරවැසි නැගිටීමක් නැති ප්‍රජාතන්ත්‍රවාදයට ජීවයක් නැත – ධර්මසිරි බණ්ඩාරනායක

Dharmasiri-Bandaranayakeපුරවැසි බලය නමින් නවතම සංවිධානයක් කළඑළියට එන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සම`ග ය. හතු පිපෙන්නාක් මෙන් බිහි වන දේශපාලන සංවිධාන බිහිවන රටක පුරවැසි බලය සංවිධානය වෙනස් මුහුණුවරක් ගන්නේ ජනතා ආකර්ශණය දිනාගැනීමට සමත් වෙමිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ පුරවැසි බලය දේශපාලන සංවිධානයක් මිස දේශපාලන පක්‍ෂයක් නොවීම ය. පුරවැසි බලය ආරම්භ කරන අවස්ථාවේ දී ඔවුන් සිටි ස්ථාවරයේ ම අදත් සිටී ම එම සංවිධානයේ සුවිශේෂීතත්වයයි.
සිය මතවාදය ඉදිරිපත් කිරීම උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම`ග සමීප සම්බන්ධයක් පවත්වන පුරවැසි බලයේ සමාජික සමාජිකාවන්ට අවශ්‍යනම් එළඹෙන මහ මැතිවරණයේ දී තර`ග කිරීම සඳහා ආසන කිහිපයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණත් ඔවුන් එසේ කර නැත. ඔවුන් ගේ අරමුණ වන්නේ ජනතාවගේ පැත්තේ සිට යහපාලනය සඳහා සිය මතවාද ඉදිරිපත් කිරීමය.
පුරවැසි බලයේ සම කැඳවුම්කරුවෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් සම`ග යුක්තිය කරන ලද සාකච්ඡාවක් පහත දැක්වේ.

සංවිධානය බිහිවෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ දීයි. ජනාධිපතිවරණයක් අභිමුඛව “පුරවැසි බලය□ පිහිටුවා ගැනීමට තීරණය කළේ ඇයි?
පුරවැසි බලය නමින් සංවිධානගත වුයේ නැති වුනත්, පසුගිය වකවානුවේ පැවති අසාධාරණ, දූෂිත, මර්ධනකාරී, ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කෙරේ ජනතාව තුළින් මතු වූ විරෝධයත් සම`ගම ජනතාව තුළින් නිතැතින්ම ඇති වූ පෙළගැස්මක් තිබුණා. ඒම විසිරුණු අසංවිධානාත්මක තෙරපුම, නිවැරදි දිසානතියකට හැරවීමේ වුවමනාවත්, එම මතවාදයට ජවයක් දීමේ වුවමනාවත්, පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමටත්, පුරවැසි මතය ජනගත කිරීමටත් යම් සංවිධානයක් නැති හිඩැස අනුවයි ‘පුරවැසි බලය’ බිහිවෙන්නේ.
එය කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂාවක් ඉටුකිරීම උදෙසා ගොඩනගාගත් සංවිධානයක් ද?
පැහැදිළිවම කියන්න ඕනැ එය එදත් අදත් යම් පුද්ගලයෙකුගේවත්, පක්‍ෂයකවත් වුවමනාම උඩ ඇති වූවක් නොවේ. මම කලින් සඳහන් කළා වගේ මැදිහත් ජනතාවගේ වුවමනාව මත ඇති වූවක්. බුද්ධිමතුන්, විවිධ වෘත්තීයවේදීන්, කලාකරුවන්, වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරතවූවන්, වාමාංශික ව්‍යාපාරවල නිරතවන්නන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල පිරිස් මෙම සංවිධානය වටා ගොනුවෙලා තියෙනවා.
පුරවැසි බලයේ කැඳවුම්කරුවෝ කවරහු ද්?
ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින් හා මම එකතුවෙලා පසුගිය සැප්තැම්බර් මාසයේදී තමයි පුරවැසි බලය ආරම්භ කරන්නේ.
පුරවැසි බලය ආරම්භයේ සිටි ඇතැම් අය අද ඔබලා සම`ග නැහැනේද? යම් යම් අයට කැපීපෙනෙන භූමිකාවක් කිරීමටත්, තනතුරු ලබාගැනීම සඳහා හදාගත් සංවිධානයක් ලෙස කෙනෙකුට පුරවැසි බලය හඳුන්වන්න බැරිද?
ඕනෑම පක්‍ෂයක විවිධ අදහස් උදහස් තියන පුද්ගලයෝ ඉන්න පුළුවන්. අපත් සම`ග ආරම්භයේ සිටි එක්කෙනෙක් දෙන්නෙක් විතරයි තනතුරු ලබාගෙන පුරවැසි බලය වැඩකටයුතුවලට සහභාගී නොවී ඉන්නේ. ඔවුන් අප හා එකතු වෙන්නත් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පාළනය කඩාවැටෙන බව දැනගෙන, පැවත්වෙන ජනාධිපතිවරයෙන් දිනන ජනාධිපතිවරයාගෙන් වරදාන, වරප්‍රසාද බලාගෙන වෙන්න ඇති. ඔවුන්ට අවශ්‍ය දේ කරගෙන ඔවුන් අයින් වෙන්න ඇති. ඒත් බුද්ධිමත් ජනතාවට ඔවුන්ගේ දේශපාලන භාවිතය මෙන්ම, ඔවුන් කලා නිර්මාණ කිරීමේ අරමුණ හඳුනාගැනීමට අපහසු වෙන්නේ නැහැ. එහෙත් බහුතරය අපිත් එක්ක එදා වගේම අදත් ඉන්නවා.
පුරවැසි බලය භූමිකාව ජනතාව දකින්නේ කොහොමද? ඒ පිළිබඳව සෑහීමකට පත්වෙනවද?
ඔව් ප්‍රථයෙන්ම අපේ භූමිකාව ගැන අපි සෑහීමකට පත්වෙනවා. අපේ හෘද සාක්‍ෂියට අනුව අපි උපන් රට ට අපි විසින් යම් කිසි මෙහෙයක් ඉටුකරනවා කියලා හිතනවා. මට වුනත් මේ වැඩවලට දිවා රැ නැතිව මහන්සි වෙන්න ඕන කමක් නැහැ. අවශ්‍ය නම් පිටරටකට ගිහිල්ලා බොහොම සැප පහසු ජීවිතයක් ගතකරන්න පුළුවන්. අනිත් අයත් ආර්ථික අමාරුකම් පිරිමහගන්නවත්, අනාගත වරදාන අපේක්‍ෂාවෙන්වත් මේ සංවිධානය වෙනුවෙන් කැපවෙන්නේ නැහැ. හැමෝටම තමන්ගේ රැකියා කරගෙන, තමන්ගේ දැන ඇඳුනුම් කම් මත උසස් රැකියා අරගෙන ජීවත් වෙන්න තිබුණා. ඒත් අයාලේ යන මේ රට නිවැරදි දිසානතියකට හැරවීමට රටේ කලාකරුවන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් වශයෙන් යුතුකමක් ඇති නිසයි අපි කාලය හා හැකියාවන් කැපකරලා, අතේ තියන මුදල් වියදම් කරගෙන මේ කටයුතු කරන්නේ.
අප තවමත් අපේ අරමුණ අත්නොරින්නේ ජනතාව අපිත් සම`ග ඉන්න නිසයි. ඔවුන් අපත් සම`ග රැඳීසිටින්නේ ජනතාව ට පෙරගමන්කරුවෙක් අවශ්‍ය නිසයි. ඒත් හිටපු දුර්දාන්ත පාලකයන් අසීමිතව උපයාගත් ජාතික ධනය වියදම් කරලා, යම් යම් බැලයෝ යොදවලා අන්තර්ජාලය හරහා අපට යම් යම් අවලාද නගනවා. අපි එන්.ජී. ඕ. වල උවමනාවට මේ ව්‍යාපාරය ගෙනියනවා කියලා කියනවා. මේවා කරන්නේ කවදාවත් කලා නිර්මාණක් රසවින්දේ නැති, සමාජයේ ප්‍රගමනය ගැන කිසිම සංවේදීතාවයක් නැති, ස්වාධීනව සිතීමේ ශක්තියක් නැති බත් බැලයන්. අපි ඔවුන් කියන කරන දෙයින් සැලෙන්නේ නැහැ. අපේ ගමන ජීවිතය පරදුවට තියලා ඉදිරියටම ගෙනියනවා. අපි කරන්නේ අපේ මරණ වරෙන්තුව අපි විසින්ම ලියාගන්නවා වගේ වැඩක්. එත් අපි ඇත්ත කියලා, ජනතාව දැනුවත් කරලා සත්‍ය වෙනුවෙන් දෙපයින් සිට මියයනවා.
කොච්චර දැනුම්වත් කළත් වැටිලා තිබුණ රාජපක්‍ෂ යළිත් හිස ඔසවනවා නේද?
රාජපක්‍ෂ පුද්ගලයෙක් වශයෙන් හිස එසවීමවත්, ඔහු දේශපාලනයට ඒමවත් අපි ප්‍රශ්නයක් කරගන්නේ නෑ. ඒක අපිට අදාල නැහැ. ඔහු ඉටුකළේ දූෂිතයන්ගේ, හොරුන්ගේ, කොමිස් කාක්කන්ගේ, මිනීමරුවන්ගේ ඕනෑ එපාකම්. රාජපක්‍ෂ රෙජිමය හැදිලා තිබුණේ ඔවුන්ගේ බලඇනිවල එකතුවෙන්. නැත්නම් රාජපක්‍ෂ නමැති ඒකාධිපති මැදුර තිබුණේ දූෂණය, භීෂණය, හිංසනය, මර්ධනය, මිනීමැරිම, කොමිස් ගැහීම යනු කුළුණු මත. ඔවුන්ගේ පැවැත්මට රාජපක්‍ෂත්, රාජපක්‍ෂගේ පැවැත්මට ඔවුනුත් ඕනෑ. ඒක නිසා ඔවුන් නැවතත් රාජපක්‍ෂ පාලනයක හීන දකින්නේ. මේක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ඔවුන් කියන විදිහට ජාතික, ආගමික, සමාජමය උවමනාවක් මත ගෙනියන ව්‍යාපාරයක් නෙමේ. ඔවුන් අයථා අන්දමින් උපයාගත් කෝටි ප්‍රකෝටි ධනයක් තියෙනවා. ඔවුන් ඒවා තමන්ගේ දේශපාලන සූදුවට යොදවනවා.
කොහොම වුනත් පුරවැසි බලය හිටියේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තේ. ඔහු බලයට පැමිණ ඔහු දුන් පොරොන්දු ඉටු කලාද?
ජනාධිපතිතුමා බලයට ආවට පසුව පොරොන්දු ඉටු කිරීමේ බලවත් උවමනාවක් තිබුණා. ඔහු කළ හැකි උපරිමයක් කළා. එහෙත් ඔහු සම`ග සන්ධාන ගත වූ පක්‍ෂවලින්වත්, ඔහු සභාපති තනතුරට පත් වූ පක්‍ෂයෙන්වත් අවංක සහයෝගයක් ලැබුණේ නැහැ. එහෙත් උත්සාහයත් කැපවීමත් මත යම් සාධනීය තත්වයක් කළා. පසුගිය පාළනය සම`ග බලනවිට එය ගොඩක් සුභවාදී තත්ත්වයක්. අඩුම වශයෙන් අපිට අද බය නැතුව අදහස් ප්‍රකාශකිරීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අද රට පාදඩකරණයෙන් මිදීලා සුභවාදී දිසානතියකට ගමන්කරන බව දකින්න තියෙනවා.
ඒත් 20 (විසි වන සංසෝධනය) දිනාගැනීම, තොරතුරු දැනගැනීමේ පනත ඇතුළු තවත් බොහෝ වැඩකටයුතු රැසක් නොකෙරී ඉතිරිවෙලා තියනවා කියලා පිළිගන්නවා. හැමොටම තිබුණේ දේශපාලන න්‍යායපත්‍රයි. අවංක උවමනාවක් තිබුණා නම්, රට ගැන හිතුවා නම් මෙයට වඩා දෙයක් කරන්න තිබුණා. ජනාධිපතිතුමා ඇතුළු කීපදෙනෙක් හැර අනෙක් හැම කෙනෙකුටම තිබුනේ පුද්ගලික හා දේශපාලන පක්‍ෂ ගොඩගැනීමේ න්‍යායපත්‍රයි. එතනදි ජනාධිපතිතුමා අසරණයි. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාව වැරදියට තේරුම් ගත්තා. එහෙත් බුද්ධිමත් ජනතාව යථාර්ථය තේරුම් ගත්තා කියලා මම හිතනවා.
ආරම්භයේ සිටම වමේ දේශපාලන පක්‍ෂ මෑතක් වනතුරුත්, පාළන බලයට පත්වීමට බැරිවුවත්, මතවාදීව තම ස්ථාවරය රැකගෙන කටයුතු කළා. මුල ඉඳලම එක්සත් ජාතික පක්‍ෂය හැඳින්වූයේ ධනපති පක්‍ෂයක්, එහෙමත් නැත්නම් අධිරාජ්‍ය ගැති පක්‍ෂයක් හැටියට. එහි පෙරළිකාර නායක ජේ.ආර්. ජයවර්ධනව හැඳින්වූයේ යැංකි ඩිකී කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැඳින්වූයේ වාමාංශික නැඹුරුවක් තියන සුළු ධනේශ්වර පක්‍ෂයක් විදිහට. දැන් ඔබලාත්, ප්‍රගතිශීලීන් යයි කියගන්නා පුද්ගලයන් හා කණ්ඩායම් උදව්කරන්නේ එදා අධිරාජ්‍යගැති යයි හැඳින්වූ එක්සත් ජාතික පක්‍ෂයට නේද?
රටේ දේශපාලනික හා සමාජයමය අර්බූද පටන්ගන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවෙන් කියලයි ගොඩක් දෙනෙක් නිර්වචය කරන්නේ. ඒත් ඒ නිර්නායකයන් කොතරම් දුරට නිවැරදිද කියලා යළි හිතන්න වෙනවා.
ඉන්දියාව, නිදහස් සටනේදී ශක්තිමත් පදනමක හිටියා, නිදහස අවශ්‍යයයි කියන තැනට ජන මතයක් ගොඩනැගිලා තිබුණා. එහි සෙවනැල්ලයි ලංකාවට වැටුණේ. අපේ රටේ විවිධ ජාතික හා සමාජ ව්‍යාපාර ඉන්දියානු අනුකාරක හෝ අභාෂය විදිහට පටන් ගත්තා. ලැබුණා කියන නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහිවෙන්නේ ඞී.එස්. සේනානායකගේ එ.ජා.ප. ආණ්ඩුවක්. බණ්ඩාරණායකත් එහි කොටස් කරුවෙක්. එම රජයට වසර කිහිපයක් යද්දී බණ්ඩාරණායක කණ්ඩායමක් සම`ග ඇවිත් 1951 දී තර`ග කරන්නේ මහජන එක්සත් පෙරමුණෙන්. ඊට පසුව ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂය බිහිකරනවා. බණ්ඩාරණායක ඝාතනයත් සම`ගම දේශපාලනයට ඒමට කිසිම අදහසක් නොතිබුණු සිරිමාවෝ මැතිණියට පක්‍ෂයේ බලය ලැබෙනවා. ඇය 1971 දී වාමාංශික පක්‍ෂ සම`ග එක්ව රජයක් පිහිටුවා ගන්නවා. එන්. එම්, කොල්වින්, පීටර් කෙනමන් වැනි සමාජවාදී ව්‍යාපාරයන්හි පිරිස සම`ග සන්ධානගතව රජයක් පිහිටුවනවා. ඒ හවුල වැඩි කලක් නොගිහින් කඩා වැටෙනවා. එතන තමයි මේ අවුලේ මුල. වාමාංශික පක්‍ෂ තම නිවැරදි මාවත, කාර්යාභාරය තෝරා ගත්තේ නැහැ. ඒ නිසා තරුණ කොටස් පැරණි වම ප්‍රතික්‍ෂේප කරනවා. 1971 තරුණ නැගිටීමක් ඇතිවෙනවා. රජයේ පාලනය අවුල් වෙනවා. එයින් වාසිය ගන්නේ ජේ.ආර්. ප්‍රමුඛ එ.ජා.ප. ය. එතනින් පසුව රට යන්නේ අවුලෙන් අවුලකට. 1989 දී යළිත් තරුණ නැගිටීමක් ඇතිවෙනවා. පවතින එයත් යුධමය වශයෙන් පරාජය කරනවා.
දකුණේ තරුණ නැගිටීම මෙන්ම, උතුරේ තරුණයන්ද පීඩනය තුළින් නැගිටීනවා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්නයට විසඳුම මගින් නොව යුද්ධයෙන්. මේ යුධය දඩමීමාකරගෙන රජය කළ නොපනත් කම් කොතෙක්ද කියලා කියන්න බෑ. යුද්ධය හම්බකරන් කන ජාවාරමක් කරගන්නවා. එතනින් පසු රාජපක්‍ෂව රැකන්න කැපවෙනවානම්, ඕන පාදඩකමක් කරන හොරුන්ට, සමාජ විරෝධි වැඩවලට නිලනොවන ලැයිසන් ලබාදෙනවා. දූෂණය, භීෂණය, මැරකම රජකරනවා. කුඩු එතනෝල් වගේ මත්ද්‍රව්‍ය රට ගිලගන්නවා. මාධ්‍ය නිදහස නැතිවෙනවා. මාධ්‍යවේදීන් මැරුම් කනවා. සමහරු රටහැර යනවා. පාළනය ඒකාධිපතිත්වයේ උපරිමයට යනවා. මේ තත්ත්වය මත තමා ගේ පිරිහීම තමාට දැනිලා නියමිත කාලයකට පෙර ජනාධිපතිවරණයක් කැඳවනවා.
මෙතනදී සාපේක්‍ෂකව ප්‍රගතිශීලී අපේක්‍ෂකයා වන මෛත්‍රීපාල සිරිසේනගේ පැත්ත තමයි අපි ගන්නේ. මොන දේශපාලනයකට වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. යළි මේ හොර නඩය නැගිටිනවා. එය නැවැත්වීමට මේ අවස්ථාවේ නිර්මාණය වෙලා තියෙන්නේ එ.ජා.ප. ය ප්‍රමුඛ පෙරමුණ. අපි කරනනේ පෙබරවාරි 18 ජයග්‍රහණය රැකගෙන ඉදිරියට යාමක් මිසක් ආපස්සට යාමක් නොවෙයි.
එජාපප ය ප්‍රමුඛ පෙරමුණ නිවැරදි තැනක ඉන්නවද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.
එ.ජා.ප. ය උතුරේ යුද්ධයේ දී නිවැරදි තැනක හිටියා. ඔවුන් උත්සාහ ගත්තා යුධමය විසඳුමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳන්න. ඔවුන් ද මේ රටේ ජනතාවක් කියන හැ`ගීම එ.ජා.ප.යට තිබුණා. ඔවුන් ගේ ප්‍රශ්න වලට ඇහුම්කන්දීමේ උවමනාවක් එා.ජා.ප. ය ට තිබුණා. එතනදි ජාතිවාදි උන්මත්තක මහින්ද රාජපක්‍ෂගේ නඩයට වැඩිය එ.ජා.ප. ය ඉදිරියෙන් හිටියා. යළි මහින්ද හදන්නේ ජාතිවාදය මතින්, ආගම්වාදය මතින් බලයට ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමටයි. පළමුව එය නැවැත්විය යුතුයි. එය කළහැකිවන්නේ එා.ජා.ප. ය ප්‍රමුඛ පෙරමුණටයි.
වැඩපිළිවෙලත්, ක්‍රියාකාරීත්වයත් අතරින් වඩාත් නිවැරදි ජ.වි.පෙ.යි. එහෙත් ඡන්ද පදනම අතින් මහින්ද රෙජිමය පරද්දන්න තරම් ශක්තිමත් මදි. මහින්ද ආගමනය සිදුවුවහොත් යළි කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත කළ නොහැකියි.
පුරවැසි බලයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
ඡන්දයට පෙර රාජපක්‍ෂ ජුන්ටාවේ ක්‍රියාකාරීත්වය ගැන අවදියෙන් ඉන්නවා. ඔවුන් ජාතිවාදය අවුස්සන සිදුවීමක් නිර්මාණය කර, එයින් වාසි ගන්න සූදානමක් ඇති බවට සැකයක් තියෙනවා. ජනාධිපතිවරණයේ දී මෙන්ම ඉදිරි මහමැතිවරයේදී ද ජනතාව දැනුම්වත් කරනවා. පුරවැසි බලය මැතිවරණයෙන් පසු න්‍යයායපත්‍රය අකුලන්නේ නැහැ. බලයට පත්වෙන රජයට, මේ පැලැස්තර ව්‍යවස්ථාව වෙනුවට උගතුන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක දායකත්වයෙන් රටට ස්ථාවර ව්‍යවස්ථාවක් හැදීමේ තැනට තෙරපුමක් ඇති කරනවා.
ඊට අමතරව අප විසින් ප්‍රධාන කරුණු 8 ක් අඩංගු ‘පුරවැසි බලයේ ඉදිරිදැක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉටුවන තුරු අපේ භූමිකාව අපි කරනවා.

සංවාදය
මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *