මේ රටේ දෙමළ මිනිසුන්ට පිළිගත හැකි බලය බෙදීමක් කළ යුතුමයි – රාවය කර්තෘ කේ. ඩබ්ලියූ. ජනරංජන

ජනවාරි 08වෙනිදා අපි අපේක්ෂා කළ ඒ වෙනස සිදු කරන්න අපි හැමෝටම පුළුවන්කම ලැබුණි. සමහර වෙලාවට ඒ වේලාවේ අපි පැවැත් වූ කථා බහ අහලා, ඒ වෙනතුරු තීරණයක් ගන්නට නොහැකිව සිටි මිනිසුන් නිශ්චිත වශයෙන්ම රාජපක්ෂ සහ ඔහුගේ රෙජිමය පලවා හැරිය තීන්දු කළහ. ඊට පසු අගොස්තු 17වෙනිදා තව මැතිවරණයක් තිබුණි. අපි ඒ තැන දී ත්, ඉතා පැහැදිළිව ඒ වෙලාවේ රට ඉදිරියට ගෙනියන්නට නම් කා සමග ද කටයුතු කළ යුත්තේ කියන එක ගැන අවබෝධයක් ලබාගන්නට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලෙමු.
දැන් ඒ වෙනස්කම සිදු වී වසරක් එක හමාරක් ගත වී ඇත. අපිත් සමග ඒ මොහොතේ මැතිවරණවලට එකට වැඩකළ සහෝදර සහෝදරියන් සමහරක් අය දැන් කළකිරී, වැඬේ අතහැර දමා ගෙදරට වී සිටිති. සමහර අය අපිට කථාකර කියනවා උඹලා කියූ නිසා අපි ඡන්දය දැම්මා, උඹලා කියූ නිසා අපි මහින්ද රාජපක්ෂට විරුද්ධව කටයුතු කළා, නමුත් දැන් අපිට මේ ආණ්ඩුව තිත්ත වී තිබෙන්නේ යනුවෙන්. අපි ඒ නිසා මොකුත් නොකර ගෙදරට වි සිටිනවා යනුවෙන් ඔවූහූ ද සඳහන් කරති. සමහරු අපෙන් අහනවා උඹලා සියල්ල එකතු වී කළ වෙනස සැප ද කියලා. නැත්නම් වෙනස සනීප ද කියා අපෙන් අසති. මේකට අපි කියන්නේ කුමක් ද?
පුරවැසියන් ලෙස අපි විශ්වාස කරන දේ තමයි දේශපාලන ගමනක් යන විට, දේශපාලන තීන්දු තීරණ ගන්න විට, රටක් දේශපාලන වශයෙන් වෙනස් කරන්නට හදන විට, ඒකට කළකිරීම් නෑ. ඒකට පසුබැසීම් නෑ. අපේ වැඬේ වෙන කාටවත් පවරා ගෙදරට වී නිදා සිටිමට හැකියාවක් නෑ. ඒ නිසා අපි කියන්නෙක් එදා වගේම කළකිරීම් නැති. පසුබෑසිම් නැති, තවමත් මේක වෙනස් කරගන්නට හැකිය යන ධෛර්යයෙන් ඇවිලෙන හදවත් තුලිනි තමයි මේක කරන්නට වෙන්නේ. අපිටත් ඇතැම් දේ සම්බන්ධයෙන් කළකිරීම් තිබෙනවා තමයි, සම්පූර්ණ වශයෙන් අපි බලාපෙරොත්තු වූ දේ ඉටු වී නෑ තමයි, නමුත් අපිට විශ්වාසයක් තිබෙනවා, අපි මැදිහත් වුවහොත්, මේක තීරණාත්මක අවසානයකට ගෙනියන්නට හැකි බව. අපි ජනවාරි 08වෙනිදා පත්කර ගත්තේ, රජ කෙනෙක් හෝ ජනාධිපතිවරයෙකු නොවේ. අපි අගොස්තු 17වෙනිදා පත්කර ගත්තේ අගමැතිවරයෙකු නොවේ. අපි කියන්නේ ඒ අය මේ රටේ මහජනතාව විසින් ඉල්ලා සිටි වෙනස්කම කිරීම සඳහා අපිත් එක්ක එකට ගමන් කරන්න අපි තෝරාගත් ගමන් සගයන් පිරිසක් ලෙසට ය. අපි ඒ අයට වඳින්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ අයට නැමෙන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ අය කියන සියලු දෙවල් ම දේව වචනය ලෙස විශ්වාස කරන්නට බලාපොත්තුවක් නෑ. ඒ අය කියන්නේ වැරදි කථාවක් නම් අපිට හයිය, වගේම ධෛර්යක් තිබෙනවා ඒක වැරදියි කියා මූණටම කියන්න. එහෙම මුහුණට කියන්නට බැරිනම් එළියට ඇවිල්ලා කියන්න අපිට ධෛර්ය තියෙනවා. එපමනක් නොව මිනිස්සුනට කථාකර කියන්න හා ලියන්නට අපිට ධෛර්යක් තිබේ.
ඒ වැරැද්ද තව දුරටත් සිදු කරන්නේ නම් මිනිසුන් එකතු කරගෙන, අපිට කරන්න පුළුවන් උපරිම බලපෑම කරන්න තාමත් අපිට ධෛර්ය තිබේ. අපි මේ ආණ්ඩුවේ අගමැත්වරයාටවත්, අපි මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාටවත් හිස් චෙක්පතක් දී නැත. ඒ අයට ඕන ගණනක් ලියාගෙන ඒ අයට ඕන විදියට රට පාලනය කරගන්ට අපි අවස්ථාවක් දී නැත. ඇයි අපි එහෙම දී නැත්තේ. අපි මේ රටේ පුරවැසියන් නිසයි. අපි තමුන්නාන්සේලා සියලු දෙනාම මේ රටේ පුරවැසියන් බව සිහිපත් කරගැනීම ඉතාම වැදගත් ය. මේ රටේ පුරවැසියන්ටයි මේ රට අයිති. අපි කාලයෙන්. කාලයට භාරකරුවන් හැටියට දේශපාලකයින් තෝරාගෙන රට යම් කාලයක් ඒ අයට ගෙනියන්නට ඉඩ දෙමු. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ දේශපාලකයින්ට ඒ අයට ඕනෑ ආකාරයට වැඩ කරන්නට අපි ඉඩදෙන බව. ඒ නිසා ඉතාම වැදගත් දේ තමයි පුරවැසියන් ලෙස මේ ධෛර්ය, මේ බලාපොරොත්තුව සහ මේ බලපෑම නොනවත්වා දිගින් දිගටම කරන්නට කටයුතු කිරීම.
නැවත වතාවක් මහින්ද රාජපක්ෂට මේ රටේ පාලනය කරන්නට එන්න දෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා හෙට අනිද්දා නුවරින් පටන්ගෙන කොළඹට පා ගමනක් එන්න බලාපොරොත්තු වෙනවා. පා ගමන් එකක් නොව 10ක් ගියත් නැවත කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ රටේ පාලන බලයට එන්නට ඉඩ දෙන්නේ නෑ කියලා අපි පුරවැසියෝ ලෙස ඉතාම පැහැදිළිව කියමු. ඒක තමයි අපේ පළවෙනි ප්‍රතිඥාව. ඒක අපි වෙනස් කරන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රෙජීමයේ සිටි හෙංචයියන්ට, නැතිනම් ඔවුන්ට මේ රටේ වැදගත් තනතුරුවලට ඇවිත් මේ රට හූරගෙන කන්නට අපි නැවත ඉඩ තියන්නේ නැත. යම් කිසි ආකාරයකට ඒ බලවේග නැවත නැවත එන්නට උත්සහා දරනවා නම්, ජාතිවාදය අවුස්සනවා නම්, ආගම්වාදය අවුස්සනවා නම්, කුළවාදය ආදි සියලු භේද අවුස්සමින් මේ රටේ මිනිස්සු අතර තිබෙන්නට අවශ්‍ය සාමය, සහයෝගය, සංහිඳියාව විනාශ කරන්නට හදන්නේ නම් අපි ඉස්සරහට ඇවිත් ඒකට ඉඩ නොදෙන බව පවසමින් අපි ඒකට විරුද්ධ වෙමු.
හැබැයි ඒ සතුරාත් සමග සටන් කරන අතරේ අපි විසින්ම තොරා පත්කර ගත්තු සමහරුන් අපිට සතුරුව හැසිරෙන්නේ නම් අපි ඒ අයටත් කියනවා මහින්ද රාජපක්ෂට වගේම ඒ සතුරු බලවේග වලටත් මේ රට හූරාකන්න අපි ඉඩතියන්නේ නෑ කියලා. ඒක මතයි පුරවැසියන් හැටියට අපිට ඇති වගකීම. මේ අය පෙර සිටි පුරවැසියන් වගේ නොවේ. මේ ඉස්සර හිටිය ජනතාව වගේ කටිටියක් ද නොවේ. අපිට හැකි ආකාරයට, අපිට පුළුවන් හැම තැනකින්ම මේ ගින්න අවුලුවාගෙන අපේ බලපෑම කරන්නෙමු.
මම කිවා අපි හිස් චෙක් එකක් නොදී පු බව. ඒ චෙක්පතේ තිබෙනවා ඉතාමත්ම වැදගත් කොන්දේසි කිහිපයක්. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නම අවශ්‍ය ය. අපි කැපවී සිටියේ ඒ සඳහා ය. අපි ඉදිරියට කටයුතු කරන්නෙත් ඒ සඳහා ය. ජනාධිපති ධුරය තබාගන්නට දැන් හේතු හදාගෙන ඇවිත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් නොකර, ඒක පීරිගාලා, හූරලා, පොඩි පොඩි කෑලිවත් තියාගන්නට අපි ඉඩ දෙන්නේ නෑ කියලා මේ අවස්ථාවේ ඉතාම පැහැදිළිව කියන්නේමු. දෙවැනි එක මේ රටේ බලය බෙදිය යුතු ය. මහින්ද රාජපක්ස මහත්මයා දෙමළ මිනිස්සුන්ට බලය බෙදන්නේ නැති ව, මුස්ලිම් මිනිස්සුන්ට බලය බෙදන්නේ නැති ව, සිංහළ මිනිස්සුන්ටත් බලය බෙදන්නේ නැති ව, ඒ මිනිස්සු අතර කැකෑරෙන ජාතික හැගීම් ඇවිලිලා ගොස් මහා විනාශයක් වෙන තුරු කටවහගෙන සිටියේ ය. පුළුවන් හැම තැන්වල දී ම බොදුබල සේනාව. නැතිනම් රාවනා බලය වගේ චීවරය පෙරවාගත් පිල්ලි යවලා මේ ගින්න තමන්ට හැකි ආකාරයට මහින්ද රාජපක්ෂ ඇවිලුවේ ය. දැන් අපි ඒ යුගය අවසන් කර තිබේ. මේ ආණ්ඩුවට අපි බලය දුන්නේ, මේ ජනාධිපතිවරයාට අපි බලය දුන්නේ, ඒ සියලු වැරදි හදාගෙන මේ රටේ දෙමළ මිනිසුන්ට පිළිගන්නට හැකි ආකාරයේ බලය බෙදීමක් කරන්නට අවශ්‍ය නිසා ය. ඒ බලය බෙදීම කළයුතු මයි. ප්‍රාන්ත වෙන්ට පුළුවන්. පලාත් සභා වෙන්නට පුළුවන්. දිස්ත්‍රික් වෙන්නට පුළුවන්. ඕනෑම නමක් අපිට දා ගත හැක. හැබැයි මේ කේන්ද්‍රයේ තිබෙන බලය පරිධියට බෙදන්ම අවශ්‍යය. ඒක මේ ආණ්ඩු කළයුතු ම ය.
අපි මේ ආණ්ඩුවට බලය දුන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නට ය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලයේ මෙ රට හූරගෙන කාපු, අල්ලස් ගත්තු හොරු, වංචා කාරයින් නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් දෙන ලෙස අපි ඉල්ලා සිටියෙමු. දැන් ඒක ද කළ යුතුමයි. දැන් ඒක සමහර අවස්ථාවල කෙරෙනවා. නමුත් නොකෙරෙනවා වගේ තමයි ඒක කෙරෙන්නේ. සමහර වෙලාවට නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුවේ සිටින යාළුවන්ට නීතිය ඒ අයට ඕනෑ ආකාරයට ක්‍රියාත්මක වන අතරේ, ආණ්ඩුවේ හතුරන්ට නීතිය හරියට ක්‍රිියාත්මක වෙනවා. අපි කියන්නේ අපි බලය දුන්නේ ඒකට නොවන බව ය.
මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, ශිරන්ති රාජපක්ෂට නැතිනම් ගෝඨාභය රාජපක්ෂට නීතිය ක්‍රියාත්මක වන්නේ යම් සේ ද ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න දූෂණ වලට වගකිවයුතු ඩිලාන් පෙරේරා වගේ කෙනෙක් සිටිනවා නම් එයාට විරුද්ධයවත් නීතිය ක්‍රියාත්මක වියයුතුව තිබේ. මහින්ද රාජපක්ෂ මහත්මයා අතහැර දමා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාත් සමග එකට ඇතිවිත් සිටින වංචා හා දූෂණවලට වගකිවයුතු අය සිටිනවා නම් ඒ අය ට ද විරුද්ධව නීතිය ක්‍රිියාත්මක විය යුතු ය. නීතිය සමාන ලෙස ක්‍රිියාත්මක කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මෙන්න මේ න්‍යාය පත්‍රය පැහැදිළිව අපි නැවත නැවතත් හඬගා කියන්නට අවශ්‍ය ය.
තාමත් අපිට පේන ආකාරයට වාසනාවට මේ ආණ්ඩුව මහජනතාවගේ හඬට කන් දෙනවා. පුරවැසියන්ගේ හඬට කන්දෙනවා. පුරවැසියන් විසින් බලවේගයක් ලෙස බලපෑමක් කරන වෙලාවට ඊට කන් දී තමන් වැරදි පැත්තට තියන පියවර නැවත ආ පස්සට ගන්න මේ ආණ්ඩුව තවමත් සූදානම් බව අපිට පෙනේ. නමුත් ඒ අතරේ සමහර නරක වැරදි පියවර ගණනාවක් ගෙන තියෙන බවත් අපිට පෙනෙනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ ඒ වැරදි පියවර වලින් ආණ්ඩුව මුදවාගන්නට හැකි වන්නේ මේ රටේ පුරවැසි බලවේගය තමන්ට පුළුවන් උපරිම ශක්තියෙන් කටයුතු කලහොත් පමණි. සමහර වෙලාවට මේ ආණ්ඩුව හීනෙන් බිය වන ආණ්ඩුවකි. භික්ෂුන් වහක්සේලා හයියෙන් කෑ ගසා මොනවා හෝ කීවාම ජනාධිපතිතුමත්, අගමැතිතුමත් බියවේ. ඊනියා රණවිරුවන් කියන සමහරු කෑගහලා මොනවා හරි කීවොත් ජනාධිපතිතුමත්. අගමැත්තුමත්. බිය වේ. අපි අහන්නේ ඇයි ? බියවන්නේ. මේ රටේ ලක්ෂ 62ක ජනතාව ක් පත්කළ ජනාධිපතිවරයෙකු සිටින්නේ නම්, මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන ආණ්ඩුවක් තිබෙනවා නම් කාට ද ? , මොකට ද ? බියවන්නේ. තව වසර 5ක් යනතුරු මැතිවරණයක් නැති නම්, මේ කාලයේ තමයි හොඳම තීරණ ගන්නට අවස්ථාව තියෙන්නේ. මේ කාලයේ තමයි බැරෑරුම්, ගැඹුරු තීන්දු තීරණ වලට යන්නට තිබෙන අවස්ථාව. බලය බෙදිම ගැන තීන්දු තීරණ ගතයුතු අවස්ථාව මේකය. විධායක ජනාධිපති ක්‍රමය නැකි කරන්න තින්දු තීරණ ගන්න මේක තමයි අවස්ථාව. අනික් පැත්තෙන් මේ රටේ සාමය, සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරිමට, යුද්ධ කාලයේ වැරදි කළ අය නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් දෙන්න මේක තමයි හොඳම අවස්ථාව. ඒ නිසා අපි ආණ්ඩුවට ි කියන්නේ බිය වන්නට කිසිම දෙයක් නෑ. බොරුවට හීනෙන් භිය වෙන්නට එපා. බිය වෙනවිට අපිට තේරෙනවා ඒක ඇත්ත බියක් ද බොරු බියක් ද යන්න. අපි පුරවැසියෝ හැටියට දිගින් දිගටම බලපෑම් කරනවා මේ ආණ්ඩුව නිවැරදි පැත්තට හරවා ගැනීම සඳහා. ඒ නිසා මා කියන්නේ අපේ සටන අවසන් නැත. ජනවාරි 08වෙනිදා ට පෙර මේ සටන් ඇවිලවිමට සම්බන්ධ වූ සියළුම දෙනා නැවතත් ඒක රාශිවිමට අවස්ථාව පැමිණ ඇතිබව අවසාන වශයෙන් කියන්නට කැමති ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *