ඉන්ධන ලීටරයකින් රුපියල් 200 ක් හොරකම් කරන්නේ කවුද ? – ජයවීර සෙනෙවිරත්න

 

මෙරටට ඉන්ධන ගෙන්වන මිල අනුව පෙට්‍රල්, ඩීසල් ලීටරයක් රුපියල් 250 කට දිය හැකි නමුත් රුපියල් 450 කට විකිණීමෙන් තෙල් සංස්ථාව රුපියල් 200 ක අයුතු ලාභයක් ලබන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. එය තමන් නොපිළිගන්නා බවත්, කොමිසමේ එබඳු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයෝ කියති.

කෝප් කමිටු සාමාජික මහින්ද අමරවීර ඇමැතිවරයා කිව්වේ මේ කතාව ඇත්ත නම් එය කරන උදවියට හිටුවා පස් ගැසිය යුතු බව යි.

ජනක රත්නායක මහතා කියන්නේ ඇමැතිගේ මිල සුත්‍රය කිසිදු පදනමක් නැති බොරුවක් බව යි. ඒ කියන්නේ මෙහි මොකක් හෝ වංචාවක් සිදුවන බව යි.

කෝප් කමිටුවේ අදහස වුයේ මෙම සුත්‍ර හැදීම ඇමැතිගේ වැඩක් නොව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ වැඩක් නිසා ඔවුන් මේ ගැන දැන සිටිය යුතු බව යි. ඔවුන් කීවේ තමන් එවැන්නක් නොදත් බව යි.

කෙසේ වෙතත්, උපයෝගිත කොමිසමේ සභාපතිගේ සංඛ්‍යා පිලිගන්නා ඇතැමුන් සිතන්නේ ඒවා සත්‍ය බව යි. එම සංඛ්‍යා කවදා ගත්  වාර්තා ද, සියල්ල ඒවායේ අඩංගු ද, ආදී ප්‍රශ්න වෙන ම විමසා බැලිය යුතුව ඇත.

කෙසේ වෙතත්, මෙහි දී ප්‍රශ්නය වන්නේ මෙම කතාව ඇත්ත නම් එයින් පෙනී යන්නේ ඉන්ධන අලෙවියෙන් ඛනිජ තෙල් සංස්ථාව අති විශාල ලාභයක් ලබන බවයි. එසේ නම්, එය අයුතු ලාභයක් බවට ද සැකයක් නැත. දැන් බැලිය යුතු කාරනා දෙකක් ඇත. සංස්ථාව ලබන මෙම අයුතු ලාභය ගැන මුදල් අමාත්‍යාංශය නොදන්නේ ද ? යන්න එක් ප්‍රශ්නයකි. දෙවැන්න මෙම අධික ලාභයට සංස්ථාව කරන්නේ කුමක් ද? යන්න යි.

මේ දිනවල පවතින අර්බුදය හමුවේ තෙල් නැව්වලට ගෙවන මුදල් ගැන නිවැරදි අවබෝධයක් මුදල් අමාත්‍යාංශයට නැතිනම් පුදුමයකි. තෙල් ගන්න මුදල් නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහා බැංකුව යි. මුදල් ගෙවන්නේ බැංකු ක්‍රමය හරහා ය. එවිට ඛනිජ තෙල් ගන්නා මිල ගණන් පිළිබඳව කොලේ වහලා ගහන්නට කාට හෝ හැකි වන්නේ නම් එය පුදුම තත්ත්වයකි.

ඛනිජ තෙල් ගෙන්වීමේ දී අතයට කෙරෙන ගනුදෙනු වෙතොත්, ඒවා සොයාගැනීම දුෂ්කර විය හැකි ය. නමුත් මේ කතා කරන්නේ අත උඩින් කරන ගනුදෙනු ගැන ය. මිල කැඳවීම්, ඇනවුම්, ගෙවීම් ආදී ක්‍රමවේද අනුව කරන ගනුදෙනු ගැන ය.

දෙවැන්න ඛනිජ තෙල් සංස්ථාව අධික ලාභයක් ලබන්නේ නම් එම ලාභයට සිදුවන්නේ කුමක් ද යන්න යි. ඉන්ධන ලීටරයකින් රුපියල් දෙසීයක් කියන්නේ සෙල්ලම් ලාභයක් නොවේ. ඛනිජ තෙල් සංස්ථාවේ කෙතරම් අක්‍රමිකතා, දුෂණ තිබුණත් මෙහෙම ලාභයක් ගිල දැමීම පහසු නැත.

ඒ අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කීවේ තෙල් සංස්ථාවට ඩොලර් ගන්නවත් රුපියල් නැති බව යි. රුපියල් මිලියන 217 ක් මුදල් අච්චු ගසා දෙන්නට මහ බැංකුවට සිදු වී ඇති බව යි. විදුලිබල මණ්ඩලයෙන් මුදල් නොලැබීම පරණ ණය ගෙවන්න වීම වැනි හේතු ඒ සඳහා දක්වා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කී ය. වැඩිකළ මිලට තෙල් විකුණුවත්, අලුතින් ඉන්ධන ගෙන්වන්න ඩොලර් ගන්න ඛනිජ තෙල් සංස්ථාවට මුදල් නැත. මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ලැබී ඇති වාර්තා එබඳු ය.

මේ කතාවලින් පෙනෙන්නේ කුමක් ද? උපයෝගිත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියන පරිදි ඉන්ධන ලීටරයකින් රුපියල් 200 ක තරම් අධික ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබන්නේ නම් එම මුදල් කිසියම් කෙනෙකු හෝ කණ්ඩායමක් හෝ සොරකම් කරනවා විය යුතු ය. එමෙන් ම එම හොරකම යට ගැසීමට සියලු ගනුදෙනු වාර්තා ව්‍යාජ ලෙස ඉදිරිපත් කොට මුදල් අමාත්‍යාංශය , භාණ්ඩාගාරය, මහ බැංකුව පමණක් නොව විගණකාධිපති ද නොමග යවනවා විය යුතු ය.

එසේ නොවේ නම් උපයෝගිත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියන ඛනිජ තෙල් සංස්ථාව අධික ලාභ ලබන බව කීම පට්ටපල් බොරුවකි. එක්කෝ ඔහු මාධ්‍යයේ වීරයකු වීමට රට ම රවටන්නට හදයි. නැතිනම් සංඛ්‍යා ලේඛන පරිහරණය නොදත් කමින් ඔහු ද රැවටිලා ය.

ඉන්ධන අධික මිලකට විකිණීමේ මෙම චෝදනාව බොරු නම් ජනක රත්නායක මහතා කරන්නේ බරපතළ හානියකි. ඇත්ත සොරකම් වංචා සෙවීමට මෙබඳු බොරු චෝදනා හානිකර ය.

තමන් සියල්ල දත් කියා සිතා සිටි උදවිය පසුගිය කාලයේ රටට කළ විනාශය අපි දුටුවෙමු. එබඳු විනාශයන්ට තවත් ඉඩ නොදීම ද අප සැමගේ වගකීමකි.

ජයවීර සෙනෙවිරත්න

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *