තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ඉක්මන් කළ යුතුයි – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

 

මුල්‍ය කළමනාකරණය පැත්තෙන් මහ බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එසේ වුවත්, රාජ්‍ය මුල්‍ය කලමනාකරණය සහ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය ඉක්මනින් සිදුකිරීම අවශ්‍ය බවත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය. රජයට විශාලම බර වී ඇත්තේ තෙල් සංස්ථාව , විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බව ද කී ඒ මහතා මේවායේ ප්‍රතිසංස්කරණ බොහෝ සේ ප්‍රමාද වීම අද පවතින අර්බුදයට හේ තු වී ඇති බව ද පැවසීය.

රට ඉක්මනින් ගොඩ යාමට නම් මෙම ආයතන ප්‍රතිසංවිධානය ඉක්මනින් සිදුවිය යුතු බව ද මහ බැංකු අධිපතිවරයා කී ය.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ මහ බැංකුවට කළ හැක්කේ මුල්‍ය පාලනය පමණක් බවත්, අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව විසින් සිදු කළ යුතු බවත්, ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සාර්ථක බවත්, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීමට ඉක්මනින් හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඒ මහතා වැඩි දුරටත් කී ය.

“මහ බැංකුව අකමැති වුව ද මුදල් මුද්‍රණය කිරීමට සිදුව තිබේ. මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවට අගමැතිතුමා කළ ප්‍රකාශය සත්‍ය වෙයි. මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 207 ක් ඉල්ලා ඇත. අප ඩොලර් දුන්නත් ඒවා ගැනීමට රුපියල් නැති නිසා එම ඉල්ලීම කර ඇත. එවිට අපට බලන්නට වන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් ඇතිවන ප්‍රශ්නය සහ මුදල් නොදුන්නොත් ඇතිවන ඉන්ධන හිගයෙන් ආර්ථිකයට වන බලපෑමයි . අපට තීරණ ගන්නට වන්නේ ඒ දෙපැත්ත ගැන ම බලලා’ යි ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහ බැංකුව ගත් මුල්‍ය කළමනාකරණ තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, රටේ ආනයන අඩු වී වෙළෙඳ ශේෂය ද අඩු වී ඇති බවත්, ආර්ථිකය කළමනාකරණය කරගත හැකි මට්ටමට පැමිණ ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *