රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා

 

පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳීසිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රටවැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

ඉන්පසු ජනතාව පතන ව්‍යූහාත්මක දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බව කී අගරදගුරුතුමෝ එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බව ද පැවසූහ.

රටේ තත්වය යහපත් වූ වහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද කී අගරදගුරුතුමෝ දේශය මෙම තත්වයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නැයි විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ අගරදගුරු මැදුරේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට පත්ව ඇති උග්‍ර අර්බුදකාරී, තත්වයට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ගත් අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතු යැයි ද කාදිනල්තුමෝ කීහ.

නව අගමැතිවරයා පත්වීමත් සමඟ ජනතාව තුල සුළු වශයෙන් හෝ ඇතිවූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් ටික කලක් නිහඬව සිටිය ද දැන් උදාවී ඇති තත්වය අනුව ආගමික නායකයෙකු සහ වගකිව යුතු පුරවැසියකු ලෙස තමාට නිහඬව සිටිය නොහැකි බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

(ඩයනා උදයංගනී)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *