මාස හයෙන් රට ගොඩ දාන බවක් මා කීවේ නැහැ ; කෙටි කාලීන වැඩ පිළිවෙළකට සහය දෙන්න සුදානම් – අනුර කුමාර දිසානායක

මාස හයක දී ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න බවක් තමන් ප්‍රකාශ නොකළ බවත්, තමන් කීවේ මුලික හදිසි ප්‍රශ්න විසඳිය හැකි බවත්, යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙන් ම හදිසි ප්‍රශ්න විසඳීමට රජය ක්‍රියාත්මක කරන කෙටි කාලීන වැඩ පිළිවෙලකට සහය දීමට සුදානම් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මාස හයකින් ආර්ථික ප්‍රශ්න විසඳීමට හැකි නම් අගමැති ධුරය අනුර කුමාර මහතාට භාර දීමට සුදානම් බවත්, පාර්ලිමේන්තුව රැස් වී ඒ ගැන තීරණය කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

විනාශ වී ඇති මෙරට ආර්ථිකය කෙටි කලෙකින් ගොඩ ගත නොහැකි බව කී අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත්, ජනතාව අකමැති සහ ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බවත් කී ය.  එබඳු තීරණ ගැනීමට අලුත් ජන වරමක් සහිත ආණ්ඩුවක් අවශ්‍ය බව ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙරට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හෝ තමාට හෝ ජනවරමක් නැති බව කී ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රකට රනිල් වික්‍රමසිංහ මහතා මෙම තනතුර දරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *