|

ජනාධිපති පාර්ලිමේන්තුව සමග සටනට එයි !

 

පසුගිය සතිය හැඳින්විය හැකි වන්නේ ආර්ථික, දේශපාලන අර්බුදය උග්‍ර වූ  සහ ජනතාවගේ පීඩා දරාගත් නොහැකි තරම් වර්ධනය වන අතර  බලාපොරොත්තු පමණක් ඉතිරි වූ සතියක් වශයෙනි.

මෙරටට ඇනවුම් කළ බව කී ඉන්ධන නැව් අතරින් ලැබුනේ එක දැවිතෙල් නැවක් පමණී . 23 සහ 24 දිනවල ලැබෙන බව කී පෙට්‍රල් සහ ඩීසල් නැව් ලැබුනේ නැත. 29 දා බලාපොරොත්තු වූ බොරතෙල් නැව ද නැත. ඒවා ලැබෙන දවසක් ගැන අදහසක් ද නැත. කලින් ප්‍රශ්නය තිබුණේ ඩොලර් නැතිකම ය. දැන් ප්‍රශ්නය මුදල් ගෙවා හෝ ඉන්ධන ලබා ගැනීමට සැපයුම් කරුවන් නොමැති වීම යි. ප්‍රධාන සැපයුම් කරුවන්ට ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 735 ක් ගෙවීමට ඇති බව සහ ගමේ වචනයෙන් කිව හොත් පොලු තබා ඇති බව කියන්නේ බල ශක්ති ඇමති කංචන විජේසේකර ය.

එපමණක් නොවේ. සැපයුම්කාර සමාගම් මෙරට බැංකු ණයවර ලිපි පිළිගන්නේ නැත. විදේශ බැංකු අපට ණයවර ලිපි නිකුත් කරන්නේ නැත. රට වැටී තිබෙන තැන ඒක ය.

ගෑස් සහ පොහොර එන තෙක්

යම් බලාපොරොත්තුවක් තිබෙන්නේ ලබන සතියේ එන බව කියන පොහොර සහ ඉන් පසු එන බව කියන ගෑස් සම්බන්ධයෙනි. ඉන්දියාවේ මැදිහත්වීමක් ඇති නිසා පොහොර ලැබෙන්නට ඉඩ ඇත. ප්‍රධාන සැපයුම්කරුවකු සමග ගිවිසුම් ගත වූ බව කියන නිසා ගෑස් ද ලැබෙන්නට ඉඩ ඇත.

මෙරටට ඉන්ධන සැපයීම කළ සමාගම්වල නියෝජිතයින් සමග ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් සඳුදා උදේ කොළඹ ජනාධිපති මන්දිරයේ පැවතියේ අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙනි. විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එම් එම් කේ සමරතුංග, බලශක්ති අමාත්‍යංශයේ සහ ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීහු එයට එක්ව සිටියහ.

ඉන්ධන සැපයුම්කාර සමාගම්වලට තිබු ප්‍රධාන ප්‍රශ්නය වුයේ මීට පෙර ලබාගත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 735 ක් වැනි විශාල මුදලක් නොගෙවා තිබීම යි. එම හිග මුදල ගෙවීමට තිබිය දී තවත් ඉන්ධන සැපයීම කළ නොහැකි බව සමාගම් නියෝජිතයෝ කීහ.

ඉන්ධන සමාගම් ජනපතිට කී දේ

හිග මුදල් ගෙවීමට සැලසුමක් ඉදිරිපත් කරන අතර දැනට ඇති මුදල්වලින් ඉන්ධන මිල දී ගැනීමට ජනාධිපති උපදෙස් දුන්න ද සමාගම් නියෝජිතයින් කීවේ ඒ ගැන තීරණ ගැනීමට තමන්ට නොහැකි බව යි. ඒ සඳහා රජයේ වගකිවයුතු ඉහළ නිලධාරීන් තම මව් සමාගම් සමග සාකච්ඡා කළ යුතු බව ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම තත්ත්වය තුළ ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් සොයන්නට බලශක්ති ඇමති කංචන විජේසේකර සහ පරිසර ඇමති නසීර් අහමඩ් කටාර් බලා ගියේ ය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා රුසියාව බලා ගියේ ය. ජනතාවට තිබෙන්නේ යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටින්නට ය.

සඳුදා කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබුණේ ජුලි 10 දක්වා පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට සහ ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කිරීමට ය. ඒ දක්වා ක්‍රියාත්මක වන්නේ නිවසේ සිට වැඩ කිරීමේ සැලසුමකි.

කැබිනට තීරණ දැනුම්දීමට එක්  වූ සංචාරක ඇමති හරීම් ප්‍රනාන්දු මහතා යළිත් ජනතාවට බලාපොරොත්තුවක් දුන්නේ ය. ඒ මහතා කීවේ ජුලි 10 න් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව යි. ඉන්ධන සහ ගෑස් ආදී අත්‍යවශ්‍ය සැපයුම් කිරීමට ප්‍රමාණවත් මුදල් සොයාගෙන ඇති බවත්, සැපයුම් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

තෙල් ගෙන්න ජනාධිපති යන බව මහින්දානන්ද කියයි

ඉන්පසු පැවති තවත් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ජනාධිපතිතුමා රුසියානු ජනාධිපතිට කතා කළ බව සහ තෙල් ලබා ගැනීම ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නියැලීමට තීරණය කොට ඇති බව යි. ඒ අනුව පෙනී යන්නේ මුදලට තෙල් ලබා ගැනීම පවා ශ්‍රී ලංකාවට දුෂ්කර වී ඇති බව යි.

ඒ අතර පසුගිය 22 දා බදාදා පාර්ලිමේන්තුව අමතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තවත් බරපතළ කතාවකි. සමහරු තමා අර්බුදයේ ප්‍රකාශකයා බව කියන අතර රටට ඇත්ත කීම ගැන තවත් පිරිසක් ප්‍රශංසා කරන බව කී අගමැතිතුමා ඒ දෙපිරිස ම සඳහා තවත් කතාවක් කීවේ ය. එනම් ඉන්ධන සහ ගෑස් සපයනවාටත් වඩා බරපතළ ප්‍රශ්නයක් අද පවතින බව යි. එනම් රටේ ආර්ථිකය බිඳ වැටී තිබීම යි. එය යළි ගොඩනැගීම විශාල අභියෝගයක් බව වික්‍රමසිංහ මහතා කී ය.

මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පැමිණි විවිධ කණ්ඩායම් ගණනාවක් ද මෙම කාලයේ මෙරට  සංචාරය කළහ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම මෙරට දින 10 ක් රැඳී සිටිමින් සම්පුර්ණ අධ්‍යනයක් කළේය. ඉදිරි කාලයේ ඔවුන්ගේ වැඩ සටහනකට පදනම් වනු ඇත්තේ එම අධ්‍යයනය යි.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගත් නීති සහ තාක්ෂණික උපදේශක සමාගම් වන ක්ලිෆඩ් චාන්ස් සහ ලෆාර්ඩ් සමාගම්වල නිලධාරීහු ද මේ දිනවල පැමිණ සිටිති.

ලංකාවේ ප්‍රශ්නය ලෝක සමුළුවලට

විදේශ රටවල නියෝජිතයින් ලෙස ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිනිය පැමිණ ගියේ එරටින් ලබා දිය හැකි ආධාර පිලිබඳ අධ්‍යයනයක් සඳහා ය.

ඒ අතර ශ්‍රී ලංකාවට අතිශය වැදගත් සංචාර දෙකක් ද සිදුවිය. පළමුවැන්න නම් ඉන්දීය විදේශ ලේකම් ප්‍රමුක කණ්ඩායමේ පැමිණීම යි. දෙවැන්න ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාරයේ නියෝජිත පිරිසකගේ පැමිණීම යි.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයේ බරපතළ බව ජාත්‍යන්තරයට ද නොතකා හැරිය නොහැකි මට්ටමේ වන බව යි. පසුගියදා පැවති  G7 සමුළුවේ දී ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 20 ක ආධාරයක් ලබාදෙන බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා නිවේදනය කිරීම මගින් එම තත්ත්වය තවත් පැහැදිලි වෙයි. ඇමෙරිකාව මෙම ආධාරය දෙන්නේ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ය. එනම් අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සඳහා ය.

22 සංශෝධනයට වෙච්ච් දේ

මෙලෙස ආර්ථික අර්බුදය පිලිබඳ කරුණු ඉස්මත්තට පැමිණි තත්ත්වය තුළ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන ප්‍රධාන දේශපාලන ප්‍රතිසංස්කරණයක් කෙරෙහි මහජන අවධානය තරමක් යටපත් වූ බවක් පෙනෙන්නට තිබේ. එනම් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ කාරණය යි. කෙසේ වෙතත්, දේශපාලන සමාජය තුළ එය ගැන පවතින්නේ බරපතළ විවාදාත්මක තත්ත්වයකි. එයට හේතුව නම් එම සංශෝධනය තුළින් බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවන තත්ත්වයක් වර්ධනය වීම යි.

මැයි 11 දා ජනාධිපතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශයේ දී ජනාධිපති බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වන විට, බොහෝ දෙන බලාපොරොත්තු වුයේ 19 වැනි සංශෝධනයේ තිබු තත්ත්වයට සමාන තත්ත්වයකි. කෙසේ වෙතත්, පසුගිය සතියේ කැබිනට මණ්ඩලය අනුමත කළ සංශෝධනය අනුව ජනාධිපති සතු බලතල මෙම පාර්ලිමේන්තුවේ නිල කාලයට අදාල වන ලෙස තබා ගැනීමට අන්තර් කාලීන විධිවිධාන ඇතුළත් කොට තිබිණි. ඒ අනුව අගමැති සහ ඇමති මණ්ඩලය පත්කිරීමේ සහ ඉවත්කිරීමේ බලය තව දුරටත් ජනාධිපති සතු ය. එහි තේරුම නම් ජනාධිපතිතුමා බලය අත්හැරීමට සුදානම් නැති බව යි. දැන් බරපතළ විවේචනයට ලක් වන්නේ එම තත්ත්වය යි.

මෙය එකවරම පෙනී යන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අර්බුදය කළමනාකරණයට සහ පාලනයට අවශ්‍ය බලය නොදීමක් වශයෙනි. එය ප්‍රශ්නයේ වැදගත් එක පැත්තකි. නමුත් මෙය පාර්ලිමේන්තුවෙන් කිසියම් ආකාරයක සර්ව පාක්ෂික හෝ බහු පාර්ශවික ආණ්ඩුවක් බිහිකර ගැනීමේ උත්සාහයට මරු පහරකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදින බලවේග සහ සිවිල් සමාජ සංවිධාන ප්‍රශ්නය දකින්නේ එම පැත්තෙන් බව පෙනෙන්නට තිබේ.

ආංඩුවේ සුදුව ගැන විපක්ෂනායක කියයි

සිවිල් සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් පසුගිය සතියේ හමු වූ අවස්ථාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව දේශපාලන සුදුවක යෙදී සිටින බව යි. මේ සියල්ල තුළ ඇත්තේ දිගට ම බලයේ රැඳී සිටීම සඳහා අර්බුද කළමනාකරණය හැර අන් කිසිවක් නොවන බව විපක්ෂ නායකතුමාගේ මතය යි.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේ “ රටේ ම ජනතාව කියන්නේ ජනාධිපති ඉවත්ව යා යුතු බව ය” කියා ය. බලයේ දිගට ම ඉන්න සංශෝධන ගෙන එන්නට නොවන බව යි.

එම සම්මන්ත්‍රණයේ දී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කීවේ තමන් ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගැනීම සඳහා බව යි. එහි තෙරුම නම් මෙම ඇතැම් ප්‍රතිපාදන ඇතුළත් කළේ පොහොට්ටු පක්ෂයේ චන්ද ලබා ගැනීම සඳහා බව යි. ප්‍රශ්නය තිබෙන්නේ එවිට එමගින් මේ මොහොතේ දේශපාලන අවශ්‍යතාවය සම්පුර්ණ වන්නේ ද යන්න යි.

මෙවර කැබිනට් මණ්ඩලයෙන් අවසන් පිටපත සම්මත වන විට ජනාධිපති බලය වඩාත් ශක්තිමත් වී ඇති බවට ද විවේචන එල්ල වී තිබේ. 28 දා, අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ මෙම සංශෝධනයෙන් ජනාධිපති බලය දුර්වල කරනවා වෙනුවට එය වඩාත් ශක්තිමත් කරන බව යි.

අධිකරණ ඇමතිගේ අරමුණ

එදින ම පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කීවේ ජනාධිපති බල රහිත කිරීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණක් නොවන බව යි. එසේ ජනාධිපතිම් බල රහිත කිරීමට නම් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, නව ව්‍යවස්ථාවකට ඉඩ දීමට ජනාධිපති කැමති වී ඇති බවත්, රාජපක්ෂ මහතා කී ය.

මෙය දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා දිගින් දිගට විවේචනය කළ කතාවකි. ඒ මහතා කීවේ නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියමින් රැවටිලි කිරීම දිගට ම සිදුවන බව යි. 19 වැනි සංශෝධනය අවස්ථාවේත් සිදුවුයේ එය ම ය. ඒ නිසා මේ මොහොතේ සමස්ත සංශෝධනයක් කළ යුතු බවත්, ජනමත විචාරණයක් අවශ්‍ය නම් එය ද කළ යුතු බවත්, සුමන්දිරන් මහතා කියන කතාව යි.

කෙසේ වෙතත්, ජනාධිපති තම බලය අත් හරින්නට සුදානම් නොවීමෙන් වඩාත් අර්බුදයට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තුව තුලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට උත්සහ දරන කණ්ඩායම යි. සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මෙම අදහස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත්, දොස්තර රාජිත සේනාරත්න මහතාත්, මාධ්‍ය අමතා කීවේ ජනාධිපති සහ අගමැති ඉවත් වී පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සැලසිය යුතු බව යි.

සජිත් “අපේ ම ආණ්ඩුවක් “ ඉල්ලයි

කෙසේ වෙතත්,සජබ නායක, විපක්ෂ නායක සජිත් කියන්නේ වෙනත් කතාවකි. 28 දා අඟහරුවාදා මාධ්‍ය අමතා ඒ මහතා කීවේ “ අපේ ආණ්ඩුවකින්, අපේ කැබිනට් මණ්ඩලයකින්, අපේ බහුතරයක් ඇති පාර්ලිමේන්තුවකින් රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බව “ යි.

කෙසේ වෙතත්, ජනාධිපති ඉවත් නොවුණත් බලය සීමා කරන ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වුණේ නම් පාර්ලිමේන්තුවේ පක්ෂ විසින් තීරණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට යම් ඉඩක් තිබිණි. එහෙත් මේ  ඉදිරිපත් වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තව දුරටත් ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුවකි. අගමැති, ඇමති මණ්ඩලය සියල්ල ඔහුගේ තේරීම් වෙයි.

මෙම තත්ත්වයෙන් වඩාත් කලබලයට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. ඔවුන් මෙයට ඍජු ලෙස ම විරෝධය ප්‍රකාශ කොට ඇති අතර අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සමග අඟහරුවාදා සාකච්ඡාවක් කළේ තම විරෝධතා දැනුම් දීම සඳහා ය. 20 වැනි  සංශෝධනයේ  තමන් විරුද්ධ වූ දේ මෙයට ඇතුළත් බවත්, එයට තම පක්ෂය විරුද්ධ වන බවත්, සංශෝධන ගෙන ඒමට ක්‍රියා කරන බවත්, ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 22 සංශෝධනය ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර සටනක් වීමට ඉඩ කඩ ඇති බව පෙනෙන්නට තිබේ.

සී ජේ

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *