ඉන්දියාවෙන් ඩීසල් නැවක් ; පෙට්‍රල් එන්නේ සිංගප්පූරුවෙන් ; මිලින්ද – පූරි සාකච්ඡා සාර්ථකයි

 

රටේ උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා-ඉන්දියා රජයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු ඇමැති හර්දීප් සිංග් පූරි මහත්වරුන් අතර එම සාකච්ඡා සිදු වන බව වාර්තා වෙයි.

ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකා දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා-ඉන්දියා රජයන් අතර මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර කඩිනමින් ඩීසල් නෞකාවක් ශ්‍රී ලංකාවට දීම සඳහා ඉන්දියාවේ එකඟතාව පළවී තිබෙන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද එම ඩීසල් නෞකාව මෙරටට ළඟාවීම සඳහා තවත් දින 10 ත් 12 ත් අතර කාලයක් ගතවනු ඇති බවට විශ්වාස කෙරෙන අතර ඊට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා-සිංගප්පූරු රජයන් අතර ද සාකච්ඡා ආරම්භ වී තිබේ. ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවට අදාළ හදිසි කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු ඇමැති හර්දීප් සිං පූරි මහත්වරු ඊයේ (27) පස්වරුවේ නවදිල්ලි නුවර පිහිටි නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙහිදී ඇමැති පූරි මහතා ට විස්තර කළේය.

ඉන්ධන ආනයනය සඳහා ණය වශයෙන් දුන් සහාය වෙනුවෙන් ඉන්දියාවට ස්තුතිය පුදකරන අතරම, ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් කඩිනමින් ගැනීමේ හැකියාව පිළිබඳ ඇමැති පූරි මහතා සමඟ සාකච්ඡා කළ අතර ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ බවද මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට දියහැකි සෑම සහයෝගයක්ම සහතික කළ බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ක්ෂණික අර්බුදයෙන් මිදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාව සහතික කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළහැකි ක්‍රමවේද පිළිබඳ ද මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා සාකච්ඡා කළහ. ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට දිගුකාලීන සබඳතා ඇතිකර ගතහැකි ක්‍රම සහ විධි පිළිබඳ ද සාකච්ඡා කළහ. සිංගප්පූරු රජය සමඟ ආරම්භ කළ සාකච්ඡා බෙහෙවින්ම සාර්ථක වී තිබෙන අතර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත මීළඟ පෙට්‍රල් නෞකාව සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

මහින්ද අලුත්ගෙදර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *