|

රනිල් අගමැති කරන්න කිව්වේ කවුද ?

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැන තිබු අවිනිශ්චිතතාවය දුරු කරමින් පසුගිය සඳුදා ,20 දා එයට අනුමැතිය හිමි විය. එය මෙරට දේශපාලන සමාජයේ මෙන් ම සිවිල් සමාජයේ ද ප්‍රධාන අවධානයක් යොමු වූ කාරණයකි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවරට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මැයි 23 දා ය. එතැන් සිට මේ දක්වා මෙය වරින් වර ප්‍රමාද කරන ලද්දේ එයට වෙනත් පක්ෂවලින් ඉදිරිපත් කරනු ලැබූ සංශෝධන ඇතුළත් කිරීම සඳහා ය. පසුගිය සතියේ එය ඉදිරිපත් කළ අවස්ථාවේ එම සංශෝධන පිළිබඳව යළි  විමසීමක් කළ යුතු බව කීම නිසා එය තවත් සතියකින් කල් ගියේය. මෙවර ප්‍රධාන ප්‍රශ්නය වුයේ එය තව දුරටත් සාකච්ඡා කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කිරීම යි..

රටේ විශාල අවිනිශ්චිතතාවයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 16 දා බ්‍රහස්පතින්දා මුණ ගැසුණේ එම අවසන් සාකච්ඡාව සඳහා ය. දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ ඇමතිවරු සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ද එයට සහභාගී වී සිටිය හ.

එහි දී සාගර කාරියවසම් මහතා කතාව ආරම්භ කරමින් විජේදාස රාජපක්ෂ මහතාට කීවේ මේ මොහොතේ කළ යුත්තේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව ආර්ථික ප්‍රශ්න විසඳීම බව යි. එයට පිළිතුරු දීමට අධිකරණ ඇමතිවරයාට අවස්ථාව ලැබුණේ නැත. කෙහෙලිය රඹුක්වැල්ල මහතා කටහඬ අවදි කළේය. “ එහෙම කියන්න එපා සාගර , රටේ විශාල අවිනිශ්චිතතාවයක් තියෙනවා. එයට විසඳුම් නොදී ඉන්න බැහැ “ ආදී වශයෙන් කෙහෙළිය ඇමතිවරයා කියන විට අනෙක් ඇමතිවරු ද එය අනුමැත කළහ.

ගෝටාට බල නොපාන 21

පසුව මෙම පිරිස ජනාධිපතිතුමා හමු වූ අතර ජී එල් පීරිස් ඇමතිවරයා ද එයට එක් වී ය. එහි දී සිදු වූ වැදගත් කරුණක් වන්නේ ජනාධිපතිගේ ඇතැම් බලතල ඉවත්කිරීම වත්මන් ජනාධිපතිගේ නිළ කාලයෙන් පසුව ක්‍රියාත්මක වන පරිදි ඇතුළු කළ අන්තර් කාලීන විධිවිධාන තහවුරු කර ගැනීම යි.

20 දා, සඳුදා කැබිනට් මණ්ඩලයේ අනුමත කරගන්නා ලද්දේ එලෙස සංශෝධනයට ලක් වූ ව්‍යවස්ථා සංශෝධනයකි. එය දැන් දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ ද, අධිකරණයේ ද සාකච්ඡාවට ලක්වනු ඇත.

හිටපු මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ මන්ත්‍රී ධුර පුරප්පාඩුවට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කිරීම අධිකරණයේ අභියෝගයට ලක්වී ය. ඒ මහතා වෙනුවෙන් විශේෂ අමාත්‍යංශයක් හදිසියේ පිහිටුවන ලද්දේ වහා ම ඇමති තනතුර ලබාදීම සඳහා ය. එසේ වුවත්, නීතිමය අභියෝග එල්ලවීමත් සමග ඒ සියල්ල අසුපසට තල්ලු වූ බවක් පෙනෙන්නට  තිබිණි..

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සමාජ ක්‍රියාකාරී ගාමිණී වියන්ගොඩ ඇතුළු පස් දෙනෙකුගේ පෙත්සම් සලක බැලීම සඳුදා ආරම්භ වී ය. එහි දී ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පොරොන්දු වුයේ පෙත්සම් විභාගය ගැන අධිකරණ තීන්දුව ලැබෙන තෙක් ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු හෝ ලෙස දිව්රුම් දීමෙන් වැළකී සිටින බව යි.

ජාතික ලැයිස්තුවෙන් ඕනෑ කෙනෙක් පුළුවන්

කෙසේ වෙතත් එම පෙත්සම් විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා තීරණය කළේය. ඒ සමග ධම්මික පෙරේරා මහතාට තිබු නීතිමය බාධා ඉවත් වී ය. මෙම නඩු තීන්දුවෙන් තහවුරු වන්නේ ජාතික ලයිස්තුවෙන් ඕනෑ ම තැනැත්තකු පත් කිරීමට පක්ෂ ලේකම්වරුන්ට අයිතිය ඇති බව යි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් සහ සදාචාරය කුමක් වුවත් දැන් නීතිය එය යි.

මට ගන්න කියනවා , මං එපා කියනවා

අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ තරම පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මාවතගම පැවති ජන රැළියක දී ය. සමගි ජන බලවේගයේ මාවතගම ආසන බල මණ්ඩලය රැස් වූ අවස්ථාවේ පැවති ජන රැලිය අමතා සජිත් ප්‍රකාශ කළේ දැන් තිබෙන පෝලිම් මාස අටකින් දහයකින් වත් අවසන් කළ නොහැකි බව යි. විනාශය එතරම්ම දරුණු බව ද ප්‍රේමදාස මහතා කී ය. “ සමහරු කියනවා මට වගකීම ගන්න කියලා . රට විනාශ කළ හොර නඩයත් එක්ක ආණ්ඩු කරන්න මම සුදානම් නැහැ “ යි සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. තම කණ්ඩායමට වසර පහක් සඳහා පිරිසිදු ආණ්ඩුවක් ලබා දෙන්නේ නම් රට ආර්ථික වශයෙන් ගොඩ දමන බව ඒ මහතා කියන කතාව යි.

ඒ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳුදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ වත්මන් අර්බුදයට විසඳුම් දීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙටි කලකට පිහිටුවීම අවශ්‍ය බව යි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ධුරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දිය යුතු බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එම පක්ෂයේ ම දොස්තර රාජිත සේනාරත්න මහතා ද අඟහරුවාදා ප්‍රකාශ කළේ එම අදහස ම ය. කෙසේ වෙතත්, ඒ මහතා කීවේ ජනාධිපති මෙන් ම අගමැති ප්‍රමුක ආණ්ඩුව ද ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දිය යුතු බව යි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සඳුදා සවස පැවැත්විණි. ආර්ථික අර්බුදයට විසඳුම් දීම සහ විශේෂයෙන් තෙල් පෝලිම් ප්‍රශ්නය එහි දී සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන කාරණයක් වී ය. විදුලි බල සහ බල ශක්ති ඇමති කාංචන විජේසේකර මහතා තත්ත්වය විස්තර කරමින් කීවේ මේ වන විට ඉන්ධන මිල දී ගැනීමට මුදල් සොයාගෙන ඇතත්, සැපයුම්කරුවන් සොයා ගැනීමත් , බැංකුවලින් ණයවර ලිපි විවෘත කර ගැනීමත් බරපතළ ප්‍රශ්න බවට පත්ව ඇති බව යි.  එම ප්‍රශ්න විසඳා ගැනීමට දරන උත්සාහයන් ගැන ඒ මහතා විස්තර කළේය.

කලින් නැගිටින රනිල් එපා

රැස්වීම ආරම්භයේ එයට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කලින් ම නික්ම යෑම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කාරණයක් වී ය. රනිල් ඉවත්කර පොහොට්ටුවේ අගමැතිවරයෙකු පත්කිරීමට ද එහි දී යෝජනා ඉදිරිපත් වුව ද ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කීවේ නැත.

අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු සභා රැස්වීම කරුණු ගණනාවක් නිසා අවධානයට ලක් වී ය. පළමුවෙන් සිදුවුයේ සමගි ජන බලවේගය ඉදිරිපත් කොට තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකතුමා විසින් සභාවට දැනුම් දෙනු ලැබීම යි.

මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා සම්මත කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවත්, ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබිණි.

විසඳුම් නැති නිසා වර්ජනයක්

ඉන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන බවත්, එයට විරෝධය දැක්වීම සඳහා මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවත්, ප්‍රේමදාස මහතා කී ය. ඒ මහතා තම කතාව කරගෙන යද්දී ‘වගකීම් භාරගන්නේ නැතිව දැන් කතා කරන්න එපා ‘ යැයි ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශ වීමත් සමග තරමක උණුසුම් වචන හුවමාරුවක් සිදුවීය.

ජාතික ජන බලවේගය ද පාර්ලිමේන්තු වර්ජනයට එක් වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කී ය. ඒ මහතා කීවේ, ආණ්ඩුව, පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත් කොට ඇති බව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා කීවේ පාර්ලිමේන්තුව තිබෙන්නේ කතා කරන්නට සහ නීති හදන්නට බව යි. ජනතා ප්‍රශ්න විසඳීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය. එසේ වුවත්. ජනතාව සිතන්නේ පාර්ලිමේන්තුව ප්‍රශ්න විසඳිය යුතු බව යැයි කී ජයසේකර මහතා කීවේ ඒ නිසා ජනතාව 225 ට බනින බව යි. ප්‍රශ්න විසඳන තෙක් පාර්ලිමේන්තුව වසා තබන්නට ද ඒ මහතා යෝජනා කළේය.

රනිල් පත්කරන්න කිව්වේ කවුද ?

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය පසුව පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වුයේ අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කළේ කවුද ? යන ප්‍රශ්නය මතුවීමෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ස්වාධින වූ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති හමු වී මෙම ඉල්ලීම කළ බවට විමල් වීරවංශ මහතා චෝදනා කළේය.

මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කීවේ  එදා පැවති අර්බුදයට විසදුම් සෙවීමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ ද, එබඳු ඉල්ලීමක් තම කණ්ඩායම නොකළ බව යි. එබඳු ඉල්ලීමක් තමන් ද නොකළ බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කී ය.

විමල් වීරවංශ මහතා කීවේ රනිල් අගමැති කරන්නට ශ්‍රීලනිප සහ ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලැබුණු බව තමන්ට කීවේ ජානධිපතිතුමා බව යි.

මෙම විවාදයේ දී නැවත නැවත කියවුණු කරුණක් නම් ආණ්ඩුව භාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටීම සහ ඒ මහතා එය ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ කාරණය යි

මෙහි දී තිරයෙන් පිටුපස සිදුවීම් විස්තර කරමින් විජේදාස රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේ නිතර නිතර රැස්වෙමින් ද, විපක්ෂයේ පක්ෂ සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් ද, අර්බුදයට විසඳුම් සෙවූ බව යි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට සජිත් ප්‍රේමදාස මහතා අකමැති වූ පසු විපක්ෂයෙන් ආණ්ඩුවක් හදන ලෙසත්, ආණ්ඩුවෙන් ඉවත් වූ 53 දෙනාගේ සහාය ද ඒ සඳහා ලබාදෙන බවත්, යෝජනා කළ බවත්, කී රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීවේ පිළිගත නොහැකි කොන්දේසි ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාව ප්‍රතික්ෂේප කළ බව යි.

එලෙස අගමැතිකමට රනිල් යෝජනා කළේ කවුදැයි යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ සිදු වූ සංවාදය අවසන් වුයේ වගකීම බාර ගැනීමට සජිත් අකමැතිවීම පිලිබඳ චෝදනාව නැවත නැවත මතුවීමෙනි.

ෆුල් ටීම් එක හොඳට අහගනියි

විපක්ෂයේ පක්ෂ නවයේ කණ්ඩායමේ නියෝජිත පිරිසක් අඟහරුවාදා සවස මෙරට රුසියානු තානාපතිවරයා හමුවීමට ගියේ මෙරටට අඩු මිලට ඛනිජ තෙල් සහ වෙනත් ආධාර ලබා ගැනීම ගැන සාකච්ඡා කිරීම සඳහා ය . විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර ඇතුළු මෙම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් රජයට චෝදනා කළේ රුසියාවෙන් අඩු මිලට තෙල් ලබාගත හැකි වුවත්, බටහිර ගැති ආණ්ඩුව එම අවස්ථාව පැහැර හරින බව කියමිනි. බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඔවුන්ට කීවේ තමන් රුසියානු තෙල් ගැනීම සඳහා කළ උත්සාහය මෙතෙක් සාර්ථක නොවූ බව සහ හැකිනම් මැදිහත්ව  එම තෙල් ලබාදෙන ලෙස යි. පක්ෂ නවයේ නියෝජිත පිරිස ගියේ එම කටයුත්ත සාර්ථක කරගන්නට ය. ඒ සඳහා එහි ගියේ පක්ෂ නායනයින්ගේ “ෆුල් ටීම්” එකකි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රුසියාවෙන් ආධාර ඉල්ලා ගිය මෙම කණ්ඩායමට සිදුවුයේ ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ යථාර්ථතය  ගැන රුසියානු තානාපතිවරයාගෙන් පාඩමක් ඉගෙන ගන්නට ය.

බංකොලොත් නම් දෙන්නේ කොහොමද ?

රුසියානු තානාපතිවරයා මෙරට පක්ෂ නායකයින්ට කීවේ බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටකට ආධාර දීමට කිසිදු රටකට හැකියාවක් නැති බව යි. සානුකම්පිත පදනමින් ආධාර දෙන්නට වුවත්, මෙරට ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති පුටින් මහතා අමතා කතා කිරීම, ආණ්ඩුවේ ඉහළ මට්ටමේ ධුත පිරිසක් රුසියාවේ සංචාරය කිරීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය බව තානාපතිවරයා පැහැදිලි කළේය.

රුසියාවෙන් ලාබෙට සහ සහන පදනමින් තෙල් ලබාගැනීමට ගිය මෙරට වමේ පක්ෂ නායකයින්ට රුසියානු තානාපතිගෙන් ලැබුණු පිළිතුර ඒක ය.

රටක් ලෙස අප වැටී සිටින වළේ ගැඹුර තේරෙන්නේ මෙබඳු සිදුවීම්වලිනි.

සී ජේ

දේශපාලන සතිය

අනිද්දා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *