රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබූ පාලකයින් නිවට නියාලු ලෙස කටයුතු නොකළ යුතුයි- මහාචාර්ය සරත් විජේසූරිය

”යහපාලනය මේක ද ?” යන මැයෙන් පසුගිය දවසක කොළම මහජන පුස්තකාලයේ දී අපි සම්මන්ත්‍රණයක් පැවැත් වූ වෙමු. නිසි මාවතේ ගමන්කළ යුතු බවටත්, ආලෝකයේ ගමන්කළ යුතු බවටත්, මේ රටේ නීතිගරුක පුරුසියෝ පිහිටුවාගත් ආණ්ඩුවට ඒ සම්මන්ත්‍රණයෙන් යම්කිසි බලපෑමක් එල්ල කළේ ය. ඒ බලපෑම අඛණ්ඩව කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවෙන් අපි මේ මස 20වෙනි දින මහනුවර දී ”යහපාලනය මේක ද ?” යන මැයෙන් නැවත වතාවක් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.
මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ, දීර්ග කාලයක් තිස්සේ විනාශ වූ දේශපාලන සංස්කතිය වර්තමාන පාලකයින් ලවා යථා තත්තත්වයට පත්කර ගන්නට ය. ඒ වෙනුවෙන් අවශ්‍ය අන පනත් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය අපිට තිබේ. ඒ වගේම දූෂණය හා අපරාධ නතර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නට අවශ්‍ය ය. අද වෙන විට, ටික ටික කල්ගතවන විට සමහර දේවල් පිළිබඳ ඉතාම මන්දගාමී ස්වරූපයකින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. මේ ගැන අපේ බලවත් අප්‍රසාදය ආණ්ඩුව වෙත පළකරමු. ඒ වගේම තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් දෙන බව, මෛක ෆොනයක් ඉදිරියේ කියන එකේ තේරුමක් නැති බව පාලකයින්ට මතක් කරන්නට කැමති ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ස්වාධින ව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස දියයුතු ය. ඒවාට දේශපාලන අත පෙවීම් තිබෙන බව අද අපිට දැනගන්නට ලැබේ. ඒ වගේම නීතියේ අධිපත්‍ය ස්ථාපිත කරන බවට මේ පාලකයෝ ජනවාරි 08වෙනිදා මහජන වරමක් ඉල්ලන විට ප්‍රතිඥාවක් ද දුන්නේ ය. ඒත් අද වෙන විට නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සාධනීය පියවර සැළකියයුතු මට්ටමකට අරගෙන නැති බව අපිට පෙනේ.
ඇතැම් අධිකරණ තීන්දු දෙස බලන විට, ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස බලන විට, විවිධ ප්‍රශ්න හා ගැටලු මෙන්ම සැකසංකා මතුවේ. මේ තත්ත්වය නරක ය. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ගජමිතුරන් ආරක්ෂා කරන තැනකට නොයන ලෙසයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. නීතිය යුක්තිය කාටත් එක හා සමානව සාධාරණව ඉටුවිය යුතු ය. මේ කරුණු කාරනා පිළිබඳව අඛණ්ඩව මේ රටේ නීති ගරුක පුරවැසියන්ව දැණුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ වගේම මේ නීති ගරුක පුරවැසියන් සමග මේ ආණ්ඩුව නිසි මාවතේ ගමන් කරවීම සඳහා අයෝමය ලෙස බලපෑම් කිරීමට අවශ්‍ය පියවර ගන්නට අපි අදහස් කරමු.
තවත් එක පැත්තකින් ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව අපිට පෙනේ. ඒක ඉතාම බරපතල කාරණාවකි. ජීවන වියදම එක පැත්තකින් වැඩිවන විට ආණ්ඩුව ආර්ථිකය කළමණාකරනය කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සෑහිමකට පත්වෙන්නට නොහැක. ආණ්ඩුව වියදම් හා නාස්තිය අවම කළ යුතු ය. මහාපරිමාණ උත්සව නොපවත්වන බවට ජනවාරි 08 වෙනිදා ආණ්ඩුව පොරොන්දු විය. පුවත්පත් වල මහා පරිමාන දැන්වීම් පල කිරීමට සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මහජන මුදල් අවභාවිත නොකරන බවට එහි දි ආණ්ඩුව පොරොන්දු විය. නොකරනවා යැයි කියූ දේවල් අද වෙන විට බොහෝ තැන්වල කෙරෙන බව අපිට පෙනේ. මේවා අපි දැඩි ලෙස දෝශ දර්ශනයට ලක් කරමු. අපි අවධාරණයෙන් ආණ්ඩුවට පවසා සිටින්නේ, මේ රටේ බහුතරයක් ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් තිබේ. ආණ්ඩුවේ ආර්ථික කළමණාකරනය ඒ කාරණාව පිළිබඳව ගැඹුරින් සංවේදී කටයුතු කළ යුතු ය.
යම්කිසි ආකාරයකට පරණ නිළධාරි තන්ත්‍රය නිරීක්ෂණය කරන විට, මේ ආණ්ඩුව දුර්වලයි කියන මතයක සිට ඒ අය ආණ්ඩුවට බලපෑම් කරන බව පෙනෙන්න තිබේ. තව ද ඔවුහූ මේ ආණ්ඩුවට තර්ජනය කරති. මෙහි දි ආණ්ඩුව තිගැස්සි සමහර කටයුතු සිදු නොකරන තත්ත්වයක් පෙනෙන්නට ඇත. රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබූ පාලකයින් නිවට නියාලු ආකාරයට කටයුතු කිරීම නරක ය. ඔවුන් නිර්භිතව අවශ්‍ය පියවර මෙන්ම තීන්දු තීරණ ගතයුතු ය.
අනික් කරුණ තමයි ජනවාරි 08 වෙනස ට මුල් කරගත්ත විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම, බලය බෙදීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම. මේවාට අදාලව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම අවශ්‍ය ය. මේ සම්බන්ධ ව කටයුතු කරන ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත්වන්නට නොහැක. ඒ නිසා මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට උවමනා කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් එක්වෙන ලෙස නගරයක් නගරයක් පාසා ගොස් රටේ ශීලාචාර පාලනයක් අපේක්ෂා කරන සියලු පුරවැසියන්ට ආයාචනය කරන්නෙමු. ඒක මේ රටේ ජනතාවගේ ඉල්ලීමකි. එය ඉටුකිරීමට මේ ආණ්ඩුව ප්‍රතිඥාවක් දී තිබේ. ඒ ප්‍රතිඥාව වහාම ඉටුකිරීම සඳහා පටු න්‍යාය පත්‍රවලින් බැහැරව කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *