දුම්රිය විදුලියෙන් දුවන ව්‍යපෘතියේ වැඩ කටයුතු ඇරඹේ

මෙරට දුම්රිය සේවය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියේ මුලික වැඩ කටයුතු පසුගිය සතියේ ආරම්භ වූ බව ප්‍රවාහන අමාත්‍යංශයේ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . මේ සදහා ප්‍රවාහන අමාත්‍යාශයේ සහකාර ලේකම් වරයකු යටතේ ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කොට ඇති අතර මුලික අධ්‍යයන කටයුතු සදහා උපදෙස් ලබාදීමට ප්‍රංශ උපදේශක සමාගමක් තෝරාගෙන ඇත . දේශීය විශේෂඥ පිරිසක් ද අධ්‍යයන කටයුතු භාරව සිටිති . මෙහි මුලික අධ්‍යයයන කටයුතු ඔක්තෝබර් වනවිට අවසන් කිරීමට නියමිතය . විස්තරාත්මක සැලසුම් ලබන වසරේ නිමකොට ඉදිකිරීම් ආරම්භ කල හැකිවනු ඇති බව කියති . පළමු වටයේදී පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය ආරම්භ කිරීමට නියමිතය . පොල්ගහවෙල සිට අලුත්ගම දක්වාත් , කොළඹ සිට අවිස්සාවේල්ල දක්වාත් විදුලි දුම්රිය සේවා ඇරබීම දෙවන හා තෙවන වට වලින් සිදු කිරීමට අපේක්ෂිතය. බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට යෝජනා වී ඇත .

ප්‍රධාන දුම්රිය හරස් මාර්ග සියල්ලට ගුවන් පාලම් ඉදිකිරීමත් අතුරු මාර්ග සදහා විදුලි ගේට්ටු සවිකිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවනු ඇත . එමෙන්ම දුම්රිය ප්‍රවේශ පත්‍ර ස්වයංක්‍රිය ලෙස නිකුත් කිරීමේ යන්ත්‍ර හා ස්වයංක්‍රිය ප්‍රවේශ දොරටු සවිකිරීම ද ව්‍යාපෘතිය යටතේ සිදුවනු ඇත.

විනාඩි කිහිපයකට වරක් ධාවනය වන විදුලි දුම්රිය මගින් ඉක්මනින් තම  ගමන් පහසුව සපයාගන්න පිරිස වැඩිකර ගැනීම මගින් මාර්ග තදබදයට විසදුමක්  ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුනයි .

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 300ක සහන ණය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *