ධම්මික පෙරේරාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධීයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් එය අභියෝගයට ලක් කරන පෙත්සමක් අද ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වීය.

එම පත්කිරීම වලකා ලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද එමගින් ඉල්ලා ඇත.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත්තේ  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවන මුත්තු මහතා විසිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ධම්මික පෙරේරා මහතා පත්කිරීමට එරෙහිව තවත් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *