ව්‍යාපාරික ධම්මික පෙරේරා මන්ත්‍රී ලෙස දිව්රුම් දීම වළකන්න වාරණ නියෝගයක් ගන්න යයි.

 

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීම වැළක්වීමේ වාරණ නියෝගයක් ගැනීමේ උත්සහයක් පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි.

කැසිනෝ ව්‍යාපාරිකයකු වීම, රජය සමග ගනුදෙනු කරන ව්‍යාපාර හිමිකරුවකු වීම, වැනි කරුණු නිසා ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බැවින් ඒ මහතා දිව්රුම් දීම වළක්වන වාරණ නියෝගයක් ගැනීමේ හැකියාවක් ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

ධම්මික පෙරේරා මහතා මෙම නීතිමය බාධකය මඟ හැරීමට සිය සමාගම්වල අධ්‍යක්ෂ ධුරවලින් පසුගිය දා ඉල්ලා අස් වී ය. එසේ වුව ද, ඔහුගේ සමාගම් හිමිකාරිත්වයේ වෙනසක් වී නැත. එබැවින්, ඔහුට එම නීතියෙන් ගැලවීමක් නොලැබෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතය වී තිබේ.

ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබීමට ධම්මික පෙරේරා නුසුදුස්සෙකු බවට තවත් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මත පදනම්ව එම පෙත්සම ඉදිරිපත් කෙරෙනු ඇත.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මේ වනවිට මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ඒ මහතා පත්කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික පෙරේරා මහතා දිව්රුම් දීමට නියමිතව ඇත්තේ මෙම මස 21 දා ය.

මෙම පත්කිරීමට එරෙහිව පෙත්සම් කිහිපයක් ම 21 දාට පෙර අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *