ලසන්ත ඝාතනයෙන් පසුව උදලාගමව යුරෝපයට ඇරලා!

රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාජන් මේජර් උදලාගම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අනතුරුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා, යුධ හමුදා බුද්ධි අංශයේ නිර්දේශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යවා ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

2009 වසරේ ජනවාරි මස 08 වන දා පෙරවරු 10.30ට පමන සිදුවූ ලසන්ත ඝාතනය සියැසින් දුටුවන් කිහිප දෙනෙකු ඒ පිළිබඳව පොලිසියට කට උත්තර දී ඇති අතර එකී කට උත්තර පවා මේ වන විට අතුරුදන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් පලමු අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට හෝ ඉදිරිපත් නොකොට නිදහස් කර හරින ලෙසට විමර්ශණ  බාරව සිටි  විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතාට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිෂ්ඨ මහතා නියෝග කර ඇති බව මේ වන විට හෙලිදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කීර්ති ගජනායක මහතාගෙන් හා සී.එන්. වාකිෂ්ඨ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත වේ.

ලසන්ත ඝාතනයට තෑග්ගක් වශයෙන් යුරෝපයට යැවුණු සාජන් මේජර් උදලාගම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසර තුන හමාරකට ආසන්න කාලයක් සේවය කර ඇති බව පැවසේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා ඇති යුධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ ‘ඊයේ අත්අඩංගුවට ගත් සාජන් මේජර්වරයා ලසන්ත ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. රහස් පොලිසිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිදුවූ බලපෑම් හේතුවෙන් මේ වෙනකොට යුධ හමුදා බුද්ධි අංශය කඩා වැටිලා එදා යුද්ධයේදී විශාල කාර්යභාරයක් කළ බුද්ධි අංශ සාමාජිකයන්ට එල්ල වී ඇති බලපෑම් ගැන අද කවුරුත් කතා කරන්නේ නැහැ. හරිම කණගාටුදායක තත්වයක්’ යනුවෙනි.

මේ පිලිබඳව ලංකා නිවුස් වෙබ් වෙත සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුයේ ‘යුද්ධයකට මුවාවෙලා මිනී මරන්න කාටවත් බැහැ. මිනී මරුවන්ට රණවිරු ලේබලයට මුවා වෙන්න බෑ. ලසන්ත ඝාතනය කියන්නෙ මුලු ලෝකයක් බලාගෙන ඉන්න සිද්ධියක්. රණවිරුවො කියල මේව යට ගහන් හිටපු කාලයක් තිබුනා. යුක්තිය පසිදලන කොට අනිවාර්යෙන්ම විත්තිකාරයන්ට හිත් රිදෙනවා. තමන් හරි දේ කරානම් ඒ අය බය වෙන්න අවශ්‍ය නෑ. තමන්ට ඉහලින් ආපු බලපෑම් නිසා මේක කලා කියල කියනවනම් ඒවායේ විස්තර අධිකරණයේ පාපොච්ඡාරණයක් මගින් කරන්න පුළුවන්’ කියාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල යුක්තිය සාධාරණත්වය යලි ස්ථාපිත කිරීම උදෙසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහය අතිශය පැසසුම් කටයුතු බව මේ පිළිබඳව මනා අවධානයකින් සිටින දැනුවත් පුරවැසියන් සඳහන් කර සිටිති.

 

lankanewsweb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *