ටෙන්ඩර් ක්‍රමය විසන්ධි කළ විදුලි බල පනත –  අනුර කේ එදිරිසූරිය 

 

 

විදුලි බල සංශෝධන පනත සම්බන්ධයෙන් කතා කරන විට ඊට එල්ලවන බරපතළම සහ ප්‍රමුඛතම චෝදනාව වන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලි බලාගාර ඉඳිකිරීමට එමගින් අවසර ලැබෙන බවටය. එම චෝදනාවට එරෙහිව නැගෙන තර්කය ටෙන්ඩර් පටිපාටියෙන් දූෂණය නතර කරන්නට නොහැකිය යන්නය.ඊට නිදර්ශන වශයෙන් කංචන විජේසේකර ඇමැතිවරයා විදුලි බල මණ්ඩලයේ ඇතැම් ටෙන්ඩර් අඩු මිලට ලබා ගෙන වසර දෙකකට පමණ පසුව පැරැණි මිලට ඉඳිකළ නොහැකි බව කී අවස්ථා ඇතැයි කීවේය.

මෙහිදී, ටෙන්ඩර් කර වසර දෙකකට පසුව එවැනි කරුණක් ඉදිරිපත් කරන්නට අදාළ පාර්ශ්ව වලට ඉඩ ලැබෙන්නේ ටෙන්ඩර් ක්‍රමයේ වරදක් නිසාද නැතිනම් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක  කරවන යාන්ත්‍රණයේ දොසක් නිසාද යන්න අවධානයට යොමු විය යුතුය. කටයුතු සිදු වන ආකාරය අනුව පෙනෙන්නේ එසේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර සිටීමේ වරදක් නැත, වරද වන්නේ එම ව්‍යාපෘති ටෙන්ඩර් කිරීමය යනු ආණ්ඩුවේ පිළිගැනීම බවයි.

දූෂණය අලුත් දෙයක් නොවන්නේ යැයි හිටපු ඇමැති අලි සබ්‍රි කියයි. අලුත් දෙයක් නොවන නිසා දූෂණය තවදුරටත් පැවැතියාට කමක් නැත යන්න අලි සබ්‍රි කියන්නේද? නීතිඥයකු වශයෙන් ද නැතිනම් මහජන නියෝජිතයකු වශයෙන්ද? යන්න පැහැදිලි නැත. ගැටලුව වන්නේ මේ පිරිස බලයට පැමිණියේ මහබැංකු බැඳුම්කර වංචාව ආදිය පෙන්වා වීමය. එසේම ඔහු දූෂණයේ යෙදෙන්නට ඇති අවකාශය නැවැත්විය යුතු බවද කියයි. වැළැක්විය යුතුය කියන නමුත් වලක්වන ක්‍රමයක් හෝ වලක්වන්නට වුවමණාවක් ඇති බවක් පෙනෙන්නේද නැත. ඒ වෙනුවට කර ඇත්තේ දූෂණ වංචා නැවැත්වීම සඳහා පැවැති දුර්වලතම අවස්ථාව පවා නැතිකර දැමීමය.

මේ මොහොතේ කිලෝ වොට් දහයට අඩු විදුලි බලාගාර ඉඳිකරන්නට ටෙන්ඩර් දමා මෙරටට ආයෝජකයන් නො එන බවද කියැවේ. කිලෝ වොට් දහයට අඩු බලාගාර ටෙන්ඩර් පටිපාටියෙන් නිදහස් කළාට විරෝධයක් නොමැති බව පනත සංශෝධනය කළ යුතුය යන මතයේ සිටි සජබ, විමල් වීරවංශ වැනි අයද කීහ. ජාජබ නායකයා ගේ ද අදහස  අවම වශයෙන් කිලෝ වොට් දහයට වැඩි බලාගාර සඳහාවත් ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළ යුතුය යන්නය. දහයට අඩු බලාගාර වලට ටෙන්ඩර් නොලැබෙන්නේ නම් දහයට වැඩි බලාගාරවලට ටෙන්ඩර් වලට ටෙන්ඩර් පටිපාටිය  ක්‍රියාත්මක කළ හැකිය. ආණ්ඩුව කර ඇත්තේ දහයට අඩු ඒවාට ටෙන්ඩර් නොලැබෙන බව කියා දහයට වැඩි ඒවාත් අතහැර දැමීමය. ඒ අතර පුදුමසහගත ලෙස, ටෙන්ඩර් කර වසර දෙකක් ඉඳිනොකර සිටි බලාගාර ගැන ද කංචන විජේසේකර ඇමැති කතා කරයි. එයින් අදහස් වන්නේ, ටෙන්ඩර් ඉදිරිපත් වූ බලාගාරත් තිබේ කියාය. ටෙන්ඩර් ලැබෙන්නේ නැතැයි අලි සබ්‍රි කියයි. වසර දෙකක් පරණ කළේ යැයි කංචන විජේසේකර කියයි. අලි සබ්‍රි මේ ගැටලුව විසඳිය යුතුය.ඊට ඇති හොඳම මාර්ගය ටෙන්ඩර් කර ඉල්ලීම් නොලැබුණු බලාගාර කීයද ඒවා මොනවාද යන්න ජනතාවට ඉදිරිපත් කිරීමය. ටෙන්ඩර් නොකර බලාගාරවලට ඉල්ලුමක් නැතැයි කියනවාට වඩා, මෙන්න මේ බලාගාරයට ටෙන්ඩර් කැඳවුවා, එයට ඉල්ලුමක් නැහැ ඒ නිසා ටෙන්ඩර් නොකර ඉඳිකරන්නට අවසර දෙනවාය කීවේනම් ප්‍රශ්නයක් පැනනඟින්නේ නැත.

වෘත්තීය සමිති  විරෝධය සහ විපක්ෂයේ විරෝධය නොතකා විදුලි බල පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සුබවාදීව දකින පිරිසක් සිටිති.විදුලි බල මාෆියාවට ඇති විරෝධය ද එම ජයග්‍රාහී හැඟීමට හේතු වී තිබේ. විදුලි බල මාෆියාව විසින් මෙරට පුණර්ජනනීය වදුලියට වළ කපන බවද සත්‍යයකි. ඩීසල් බලාගාර වල කොමිස් කුට්ටි ඒ පසුපස ඇති බවද සත්‍යයකි. නව විදුලි බල පනත නිසා කොමිස් ගනුදෙනු දුර්මුඛ වේනම් විසඳුම සාධාරණය. එහෙත් විය හැකියාව වැඩියෙන් තිබෙන්නේ කොමිස් මුදල් යහමින් හුවමාරු වන අතර විදුලි බලාගාරත් ඉඳිවන්නටය. එහි වාසිය ජනතාවට නොව බලධාරින්ට පමණි.

විදුලි බල මාෆියාව විසින් මෙරට පුණර්ජනනීය වදුලියට වළ කපන බවද සත්‍යයකි. ඩීසල් බලාගාර වල කොමිස් කුට්ටි ඒ පසුපස ඇති බවද සත්‍යයකි. නව විදුලි බල පනත නිසා කොමිස් ගනුදෙනු දුර්මුඛ වේනම් විසඳුම සාධාරණය. එහෙත් විය හැකියාව වැඩියෙන් තිබෙන්නේ කොමිස් මුදල් යහමින් හුවමාරු වන අතර විදුලි බලාගාරත් ඉඳිවන්නටය. එහි වාසිය ජනතාවට නොව බලධාරින්ට පමණි.

නීත්‍යානුකූල නොවන ආකාරයට කොළඹ නගරයේ සහ රටේ වෙනත් තැන්වල ඉඩම් විකිණීමට දරන උත්සාහයක් ගැනද පසුගිය කාලයේ කියැවිණ. ඒ ඉඩම් ගනුදෙනු වලටද විරෝධය එල්ල විය. දැන් එම ගනුදෙනු සඳහාද විදුලි බල පනතේ ආදර්ශය යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව තිබේ. තර්කය ” මේ රටේ ඉඩම් තරගකාරී මිලට ගන්නට එන්නේ කවුද? “යන්නය. තර්කය හොඳයැයි මොහොතකට හෝ හිතුවොත්, කලෙක විවේචනයට හසුවූ ශැංග්‍රිල්ලා ඉඩම් ගනුදෙනුවෙහි පවා වරදක් කිය නොහැකිය. ගැටලුව ආණ්ඩුව මේ රටේ ඉඩම්වල බාරකාරයා මිස අයිතිකාරයා නොවේය යන කියුම එමගින් බැහැර වීමය. එනම්, මහ රජාණෝ සංකල්පය යළිත් වටයකින් කරළියට පැමිණෙමින් තිබීමය. ජනතා කැමැත්තට අනුව පාර්ලිමේන්තුව වැඩකරනවා වෙනුවට පාර්ලිමේන්තුවට කැමැති ආකාරයට පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය බලා සතුටු වන්නට ජනතාවට සිදුවන්නට ඉඩ තිබීමය. පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියමින් සිටින, ” එක එකාට ඕන විදිහට වැඩ කරන්නනම් අපි මෙතෙන්ට ආවෙ මොකටද?  , අපි කාටවත් බය නැහැ!” වැනි චණ්ඩි කතා සමඟ ද මේ පිළිවෙත හොඳින් ගැලපේ.

පනත කල් තබන්නට හෝ නැවත ඒ ගැන සාකච්ඡා කරන්නට පවා ආණ්ඩුව උනන්දු නොවීම මගින් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද නොසලකා කටයුතු කරන බව පැහැදිලි වේ. එය සිදුවන්නේ ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉහළින් කතාකරන අගමැතිවරයකු සිටියදීය.21වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතිකාවක් පවතින අවස්ථාවක මෙවැනි නැමියාවන් ගැන ජනතාව විමසිලිමත් විය යුතුය. ⁣ජනතාව වෙනුවෙන් ඍජු තීරණ ගැනීමට ආණ්ඩුවක් බිය විය යුතු නැත. විපක්ෂය හෝ වෘත්තීය සංගම් හෝ යම් යහපත් තීරණයකට විරුද්ධ වන්නේ නම් එයට විරුද්ධ වී නිවැරදි තීන්දු ගැනීම ආණ්ඩුවක වගකීම බවද සැබෑය. එහෙත් එම තීරණ විනිවිද භාවයෙන් යුතු සාධාරණ ඒවා විය යුතුය. වත්මන් ආණ්ඩුව මෙතෙක් ඍජුව ගත් තීරණ වල වාසිය ලැබී ඇත්තේ පොදුවේ ජනතාවට හෝ භාණ්ඩාගාරයට නොව ආණ්ඩුවට හිතවත් ජාවාරම්කාරයන් අතළොස්සකටය. සුදු ලූනු , සීනි, ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ඒ සඳහා මතක් කර ගත හැකිය අතීතය සම්බන්ධයෙන් ගත් කල ද රාජපක්ෂවරුන්ගේ හැසිරීම එසේය. නොරොච්චෝලේ, මත්තල ගුවන්තොට, සූරියවැව ක්‍රීඩාංගණය ජීවමාන සාක්ෂි වශයෙන් තිබේ. ටෙන්ඩර් පටිපාටියකින් තොරව බලාගාර ඉඳිකිරීම ගැන ජනතාව වඩාත් විමසිලිමත් වන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කරන්නට උත්සාහ කළ බවට චෝදනා නැඟුණු  අගමැතිවරයකු සහ බැඳුම්කර සිද්ධිවලට වගකිවයුතු බව කියැවුණු තැනැත්තෙක් මහ බැංකු අධිපති කළ ජනාධිපතිවරයෙක් සහිත ආණ්ඩුවක් යටතේ එය සිදුවන්නට නියමිත නිසාය.

 

අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *