ජනාධිපතිට ලණු දුන් ධම්මික පෙරේරා ප්‍රබල ඇමති ධුරයකට !

කොවිඩ් වසංගතය වසරක් තුළ අවසන් වන බවටත්, එනිසා එන්නත් ගැනීමට ඉක්මන් නොවිය යුතු බවටත්, ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ජනාධිපතිත් රටත් අමාරුවේ දැමු ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රබල ඇමති තනතුරකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව අමාත්‍යංශයක් ගැසට් කොට ඇති අතර, බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත යවා ඇති බව ද වාර්තා වෙයි.

කොවිඩ් වසංගතය පැතිරෙද්දී එනතත් ලබාගැනීමට ඉක්මන් වන්නැයි සෞඛ්‍ය අංශ කියද්දී ධම්මික පෙරේරා කීවේ තමන් ඒ ගැන හොඳින් අධ්‍යයනය කොට ඇති බව සහ කොවිඩ් වෛරසය වසරක් තුළ තුරන් වී යන බවයි. ඒ බව ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවල දී පවා ප්‍රකාශ කළේය.

ඔහු කීවේ 2021 මාර්තු වනවිට කොවිඩ් වසංගතය ඉබේ ම තුරන් වී යන බවයි.

මෙම මතය පිළිගත් ආණ්ඩුව ඉක්මනින් එන්නත් ගෙන ඒමට කටයුතු නොකළ අතර වඩාත් බරපතළ ව්‍යසනයකට මුහුණ දුන්නේ ධම්මික කියූ වසර ගෙවී ගිය පසුව ය. එයින් දහස් ගණනක් ජීවිත අහිමි වූ අතර රට වැසීමෙන් විශාල ආර්ථික විනාශයක් ද සිදුවීය. ඒ අනුව ධම්මික පෙරේරා වත්මන් ආර්ථික අර්බුදය ඇති කිරීමේ එක් විත්තිකරුවෙකි.

සෙරමික් අංශයේ සමාගම් මිල දී ගෙන ඒකාධිකාරයක් ගොඩ නගාගත් ධම්මික පෙරේරා විදේශවලින් සෙරමික් භාණ්ඩ ගෙන්වීම නැවැත්වීමේ රජයේ තීරණයෙන් විශාල ලාභ අත්කර ගත්තෙකි.

ගෘහ විදුලි උපකරණ අංශයේ ද ඔහු එවැනි ම තත්ත්වයක් ඇතිකර ගත්තේ ය.

බොහෝ නව ව්‍යාපාර ගැන කතා කළ ද, කැසිනෝ සහ වෙනත් ව්‍යාපාර මිලදී ගැනීම මිස ධම්මික පෙරේරාගේ නව නිර්මාණ හෝ වැදගත් නව ව්‍යාපාර නැති බව ව්‍යාපාරික අංශ කියන කතාවයි.

ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න පවතින බව ද කියති.

ධම්මික පෙරේරා ඇමැති තනතුරකට පත්වීම ලැදියාවන්ගේ ගැටුමකට හේතුවන බව ද කියති. එය මග හැරීමට ඔහු තම සමාගම්වල අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බව කියතත් ඒවායේ හිමිකාරීත්වයේ වෙනසක් සිදු නොවන බව කියති.

අතීතයේ වැරදි කළ බව පිළිගත් ජනාධිපතිවරයා තව තවත් වැරදි කරමින් සිටින බව මෙයින් පැහැදිලි වන බව දේශාපලන අංශ කියයි.  මෙයින් සිදුවන්නේ ෆේල් වී යන්නට බැරි බව කියන ජනාධිපතිට කුජීත වී ගෙදර යන්නට වීම බව ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *