|

ඩොලර්-විදුලි අර්බුදයට විසඳුමක් – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම

 

දැනට පවතින විදුලි බිලත් ඉහළය. බොහෝ පිරිසකට එය දරාගත නොහැකිය. ඒ මිලට හෝ අඛණ්ඩව විදුලිය සැපැයීමට මණ්ඩලයට නොහැකිය. දිනපතා විදුලිය කපයි. විදුලිය කැපිල්ල කවදා නතර කළ හැකි දැයි මණ්ඩලය ද නොදනියි. ඒ අතර විදුලි බිල තවත් වැඩි කිරීමට ද සැරසෙයි. මේ ඒ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.

අප ඒ සඳහා ඇරියුම් කළේ, විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරි සුජීව අබේවික්‍රම මහතාටය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තොරතුරු තාක්ෂණ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි බලශක්ති මිලදී ගැනීම් යන තනතුරුවල ද සේවය කර ඇති අබේවික්‍රම මහතාගේ සේවා කාලය අවුරුදු 36කි. මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිධාරියකු වන ඒ මහතා, මණ්ඩලයේ සේවය අරඹා තිබෙන්නේ විදුලි ඉංජිනේරුවකු ලෙසයි. විදුලිය නොකපා, බිල වැඩි නොකර තාප බලාගාරවලට ආයුබෝවන් කිව හැකි ක්‍රමය ගැන ඒ මහතා මෙසේ රටට තොරතුරු හෙළි කරයි.

විදුලිබල පද්ධතියක් සමතුලිතව පවත්වාගෙන යාමට නම් ඒ පද්ධතියට ඇතුළත් කරගන්නා බලශක්තිය පද්ධතියේ පවතින හානිවලට සහ පද්ධතිය පරිභෝජනය කරන ප්‍රමාණයට සමාන විය යුතුය. පද්ධතියට ඇතුළත් කිරීමට බලශක්තිය නොමැති නම් කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීමය. එය ක්‍ෂණික විසඳුමකි. එහෙත් විදුලිය සබඳතාව යළි දුන් පසු කපා හළ වෙලාවේ පාවිච්චි නොකළ විදුලියත් විදුලිය දුන් පසු යළි පාවිච්චි කරන්නේ නම්, විදුලිය කැපිල්ලෙන් ප්‍රයෝජනයක් නොවෙයි. විදුලිය කැපීම නිසා වන හානිය ඉතා විශාලය. විදුලිය කැපුවාට ඉතිරිය බොහෝ අඩු බව මහජන උපයෝගිතා කොමිසම ද පිළිගනියි. සත්‍යය එය නම්, විදුලිය කැපීම අසාර්ථක හා නිර්රථක පියවරකි. යම් කලාපයක විදුලිය කපා හැරියොත් ඒ කලාපයේ තිබෙන සියලු විදුලිය ජනන යන්ත්‍ර ඵලදායී නොවන අයුරින් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා කළ යුත්තේ විදුලිය කැපීම නොව ඩීසල් ජනන යන්ත්‍ර තිබෙන අය නිපදවන විදුලිය පද්ධතියට එකතු කරගැනීමය. විදුලිය වැඩියෙන් පාවිච්චි කරන කර්මාන්තශාලාවල විශාල විදුලිය ජනන යන්ත්‍ර පවතී. ඒවා රට ඇතුළේ තිබෙන සම්පතකි. එහෙත් ඒවායෙන් නිසි ප්‍රයෝජනයක් නොගනියි.

පෞද්ගලික විදුලිය ජනන යන්ත්‍ර තිබෙන පුද්ගලයන් ඔවුන්ගේ යන්ත්‍රවලින් නිපදවන විදුලිය පද්ධතියට සම්බන්ධ කළහොත් ඔහුට ප්‍රතිලාභ රැසක් හිමි වෙයි. ඒ විදුලිය ජනන යන්ත්‍ර හිමියන් විදුලිය විසන්ධි වීමකදී තත්පර 12ක් ඇතුළත තමන්ට අවශ්‍ය විදුලිය යළි ස්ථාපිත කරගනියි. එහෙත් ඔහුගේ විදුලිය ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ උපරිම ඵලදායිතාවකින් තොරවය. එය උපරිමයෙන් ඵලදායි වන්නේ ඔහු නිපදවන විදුලිය පද්ධතියට සම්බන්ධ කළහොත් පමණකි. ඔහු පද්ධතියට සපයන විදුලියට මුදල් ගෙවිය යුතු නොවේ. ඔහුගේ විදුලි බිල වැඩි නොකරන බවට මණ්ඩලය ඔහුට සහතික විය යුතුය. එසේම ඔහු වැඩිපුර දුන් විදුලිය ඔහුට අත්‍යවශ්‍ය අවස්ථාවක යළි ලබාදෙන බවට ද සහතික විය යුතුය. එසේ කළහොත් පෞද්ගලික ජනන යන්ත්‍ර හිමියන් පද්ධතියට දෙන විදුලියට මුදල් ගෙවීමේ ප්‍රශ්නයක් ඇති නොවෙයි. ඒ නිසා පෞද්ගලික ජනන යන්ත්‍ර හිමියන් නිපදවන විදුලිය පද්ධතියට සම්බන්ධ කරගත යුතුය. එසේ කළහොත් විදුලිය කැපිල්ල ද නවතා දැමිය හැකිය. මෙගාවොට් 2,000කට වැඩි විදුලියක් නිපදවිය හැකි ජනන යන්ත්‍ර රට ඇතුළේ පවතී. උදාහරණයකට, රක්‍ෂණ සංස්ථාවේ මෙගාවොට් 4ක් නිපදවිය හැකි ජනන යන්ත්‍ර තිබේ. ඒවාට පද්ධතියට සම්බන්ධ වී ක්‍රියාත්මක වීමට ද පුළුවන. ඒවා සකසා තිබෙන්නේ ද එලෙසිනි. එවැනි ජනන යන්ත්‍ර රැසක් රට පුරා පවතී. ඒවායෙන් මෙගාවොට් 2,000ක විදුලියක් නිපදවිය හැකිය.

අද පවතින විදුලිය කැපිල්ල නවතා දැමීමට එසේ කළ යුතු අතර, දිගු කාලීන විසඳුම වන්නේ පුනර්ජනනීය බලශක්තීන් වෙත යාමය. ඩොලර් නැති නිසා ඉන්ධන හා ගල් අඟුරු මත තව තවත් යැපීම ඉතා භයානකය. කළ යුතු දේ නොකර විදුලි බිල වැඩි කිරීම ඉතා භයානකය. හේතුව, එමගින් උද්ධමනය ඉහළ යාමය. වැඩි කරන මිලට වඩා අඩුවෙන් පුනර්ජනනීය විදුලිය නිපදවිය හැකි නම් බිල වැඩි වන්නේ කුමකට ද?

දිගු කාලීන විසඳුම වන්නේ පුනර්ජනනීය බලශක්තීන් වෙත යාමය. ඩොලර් නැති නිසා ඉන්ධන හා ගල් අඟුරු මත තව තවත් යැපීම ඉතා භයානකය. කළ යුතු දේ නොකර විදුලි බිල වැඩි කිරීම ඉතා භයානකය. හේතුව, එමගින් උද්ධමනය ඉහළ යාමය. වැඩි කරන මිලට වඩා අඩුවෙන් පුනර්ජනනීය විදුලිය නිපදවිය හැකි නම් බිල වැඩි වන්නේ කුමකට ද?

විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරන එහෙත් තම පෞද්ගලික ජනන යන්ත්‍ර මගින් නිපදවන විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන පුද්ගලයන් හා සමාගම් පද්ධතියෙන් ඉවත් කිරීමෙන් විදුලිය නොකපා පද්ධතිය පවත්වාගෙන යා හැකිය.

විදුලිබල මණ්ඩලය කළ යුත්තේ විදුලිය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය. ඒ සඳහා ලංකාවේ අපට තිබෙන හොඳම විසඳුම සූර්ය බලයෙන් විදුලිය නිපදවීමයි. හිරු එළියෙන් විදුලිය නිපදවිය යුතුව තිබුණේ දැන් නොව අතීතයේදීය. එකල අප ඩොලරයකට ගෙව්වේ අඩු රුපියල් ප්‍රමාණයකි. එහෙත් අඩු මුදලකින් හිරු එළියෙන් විදුලිය නිපදවිය හැකි ක්‍රම අදටත් පවතී. මෙගාවොට් එකක සූර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීමට අක්කර තුනක භූමියක් අවශ්‍යය. එහෙයින් කළ යුත්තේ, හිරු එළියෙන් විදුලිය නිපදවන ගමන් කෘෂිකර්මාන්තයේ නියැලෙන ඒකාබද්ධ ව්‍යාපෘතිය බිම වගා කරන ගමන් උඩ සූර්ය පැනල සවි කළ යුතුය. එවැනි ව්‍යාපෘති සඳහා අක්කර තුනක් නොව හයක් ලබාදිය යුතුය. එවිට ඉතා පහසුවෙන් වගාව හා විදුලිය යන අරමුණු දෙකම ඉටු කරගත හැකිය.

ලංකාව දැන් ආහාර හිඟයකට ද තල්ලු වෙමින් සිටියි. මා ඉහත කී හිරු එළිය නිපදවීම හා වගා කිරීම යන අරමුණු දෙකම මූලික කරගත් ව්‍යාපෘතිවල පළමුව දේශීය අවශ්‍යතා සඳහා ආහාරත්, දෙවනුව අපනයනය සඳහා වන භෝග වර්ගත් වගා කළ හැකිය. එය ලංකාව අද මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට ද විසඳුමකි. විදුලි ව්‍යාපෘතිය සඳහා අත්‍යවශ්‍ය ‘සෝලා පැනල්’ ඇතුළු වෙනත් දේවල් ආනයනය කරගැනීමට ද ඩොලර් අවශ්‍ය වෙයි. අපි මෙහෙම හිතමු. මෙගා වොට් එක බැගින් වූ විදුලි ව්‍යාපෘති 10,000කට බලපත්‍ර නිකුත් කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ හෙක්ටයාර් 20,000කි. එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ව්‍යාපෘති 30ක් පමණ ඇතුළත් වෙයි. ව්‍යවසායකයාට කොටස්වලින් 20%ක් දෙමු. ඉඩම අයිතිකරුට 10%ක කොටස් දෙමු. ඉතිරි කොටස් 70% ඩොලර් ආයෝජනය කළ හැකි විදෙස්ගත ලාංකිකයන්ට හෝ විදේශිකයන්ට ලබා දෙමු. ඒ කාටත් ලාභාංශ ගෙවිය යුත්තේ රුපියල්වලිනි. විදේශීය ආයෝජකයාට දෙන රුපියල්වලින් ලංකාවට පැමිණ සංචාරය කර විනෝද වී යළි සිය රටට යාමට පුළුවන. ලංකාවේ කරන සංචාරය සඳහා ඔහුට අවශ්‍ය මුදල් ලංකාව ඇතුළේ පවතියි. රුපියල් රටින් පිටට ගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොමැති නිසා විදේශිකයා තමන් සතු රුපියල් ලංකාව ඇතුළේදීම වියදම් කරයි. එවැනි ව්‍යාපෘතිවලට කැමැති විදේශිකයෝ ලොව කොතැනත් සිටිති.

මා කරන මේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් අපේ ඩොලර් ප්‍රශ්නයට ද විසඳුම් ලැබෙයි. ආහාර අර්බුදයට ද පිළියම් යෙදෙයි. රට පුරා එවැනි ව්‍යාපෘති 10,000ක් ක්‍රියාත්මක වුවහොත් රට පුරා නව රැකියා බිහි වෙයි. ගැමි ආර්ථිකය පිබිදෙයි. අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගැසීමට සිදු නොවන නිසා ඉහළ යන උද්ධමනය ද පාලනය වෙයි.

මා කියන්නේ දෙමුහුම් (Hybrid) ව්‍යාපෘති ගැනය. එනම්, වගා කිරීමත්, විදුලිය නිපදවීමත් අරමුණු කරගත් ව්‍යාපෘතිය. සෝලා පැනල් අඩි 10ක් උසින් තැනින් තැන ඉදිකළහොත් වගාවට අවශ්‍ය හිරු එළිය සේම සෙවණ ද මැනවින් ලැබෙයි. ඒ එක ව්‍යාපෘතියක් සමාගමකි. එහි කොටස් හිමියෝ සිටිති. ඒ අතරින් පත්වන අධ්‍යක්‍ෂවරු සමාගමේ දියුණුවට අවශ්‍ය තීරණ ගනිති. ඔවුන් ඒ ව්‍යාපෘතිවල කර්මාන්තශාලා ඉදිකළහොත් ඒවායේ අගය එකතු කළ ආහාර නිපදවා අපනයනය කළ හැකිය. ව්‍යාපෘති 10,000න් දහසක එවැනි දේවල් සිදු වුණොත් රටට අත්වන ප්‍රතිලාභ කොතරම් ද?

මා කියන්නේ දෙමුහුම් (Hybrid) ව්‍යාපෘති ගැනය. එනම්, වගා කිරීමත්, විදුලිය නිපදවීමත් අරමුණු කරගත් ව්‍යාපෘතිය. සෝලා පැනල් අඩි 10ක් උසින් තැනින් තැන ඉදිකළහොත් වගාවට අවශ්‍ය හිරු එළිය සේම සෙවණ ද මැනවින් ලැබෙයි. ඒ එක ව්‍යාපෘතියක් සමාගමකි. එහි කොටස් හිමියෝ සිටිති. ඒ අතරින් පත්වන අධ්‍යක්‍ෂවරු සමාගමේ දියුණුවට අවශ්‍ය තීරණ ගනිති. ඔවුන් ඒ ව්‍යාපෘතිවල කර්මාන්තශාලා ඉදිකළහොත් ඒවායේ අගය එකතු කළ ආහාර නිපදවා අපනයනය කළ හැකිය. ව්‍යාපෘති 10,000න් දහසක එවැනි දේවල් සිදු වුණොත් රටට අත්වන ප්‍රතිලාභ කොතරම් ද?

රටේ පවතින විදුලි හා තෙල් ප්‍රශ්න නිසා ලංකාව දැනට සංචාරයට සුදුසු රටක් නොවේ. එහෙත් තව අවුරුදු තුනකින් ලංකාවට පැමිණීමට බලා සිටින විදේශිකයන් අතරින් යම් පිරිසක් මා මේ කියන ව්‍යාපෘති සඳහා ආකර්ෂණය කරගත හැකිය. එය එසේ වුවහොත් අපේ සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය වෙයි. විදේශීය සංචාරකයන් ලංකාවට එන්නේ කාලා බීලා ඇවිදලා විනෝද වී ආපසු යාමට මිස ලංකාවේදී මුදල් උපයා තම රටට රැගෙන යාමට නොවේ. එහෙයින් මේ විදුලි ජනනය හා කෘෂිකර්මාන්තය අරමුණු කරගත් ව්‍යාපෘතිවලට විදේශිකයන් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි බව මගේ තක්සේරුවයි. විදේශිකයන් පමණක් නොව පිටරටවල රැකියා කරන ලාංකිකයන් ද මෙවැනි ව්‍යාපෘතිවලට ආකර්ෂණය කරගත හැකි බව මගේ විශ්වාසයයි. මා මේ කියන ඒකාබද්ධ දෙමුහුම් ව්‍යාපෘති මගින් රටේ විශාල සමාජාර්ථික පරිවර්තනයක් කළ හැකිය.

හිරු එළියෙන් විදුලිය නිපදවුවහොත් රටට අවශ්‍ය තරම් විදුලිය හිරු එළියෙන්ම නිපදවාගත හැකිය. ඒ විදුලිය ගබඩා කරගැනීමට අවශ්‍ය බැටරි ද රට ඇතුළෙහිම නිපදවාගත හැකිය. ඒ බැටරි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ලංකාව ඇතුළෙහිම පවතී. ඒ බැටරිවල ගබඩා කරගන්නා විදුලිය රාත්‍රී කාලයේ පරිභෝජනයට යොදාගත හැකිය. සූර්ය බල විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමට ගෙනාවොත් නවෝත්පාදන රැසක් කිරීමට ලංකාවට හැකි වෙයි. අද රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් නැතිකමය. රටට අවශ්‍ය ඩොලර් හිඟා නොකා රට ඇතුළේම උත්පාදනය කළ හැකිය. ඒ සඳහා මූලිකව අවශ්‍ය වන්නේ පාලකයන්ගේ මනස හා මොළ වෙනස් කරගැනීමය. විකල්ප තිබෙන බව විශ්වාස කිරීම සහ ඒවා ක්‍රියාත්මක කළ හැකි වෘත්තිකයන් ලංකාවේ සිටින බව පිළිගෙන ඔවුනට ඒ සඳහා ඉඩ දීමය. පසුව බාධා හිරිහැර නොකර ඒවා කරගෙන යාමට අවශ්‍ය තීන්දු තීරණ ගෙන සහයෝගය දැක්වීමය.

විදුලි බිල වැඩි කිරීම රටට ඉතා අහිතකරය. එමගින් රටේ සමස්ත උද්ධමනය ඉහළ යයි. ඒකක 30කට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් රැකගත යුතුය. හැකි නම් ඔවුනට නොමිලේ විදුලිය දිය යුතුය. ඒකක 30කට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් ගණන ලක්ෂ 12කි.

එය සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 25%කි. ඒකක 30 සිට 60 අතර පාවිච්චි කරන පිරිස ලක්ෂ 15කි. එය සමස්ත පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ වෙයි. ඒ කියන්නේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් දෙකෙන් එකක්ම පාවිච්චි කරන්නේ ඒකක 60ට අඩුවෙනි. ඒකක 30 දක්වා පාවිච්චි කරන අයට විදුලිය නොමිලේ දුන්නොත් එක පාරිභෝගිකයකුගෙන් වන පාඩුව රුපියල් 105කි. ඒකක 30සිට 60 අතර පාවිච්චි කරන අයගෙන් 50%ක් විදුලිය ඉතිරි කරගනිමින් නොමිලේ විදුලිය ගැනීමට පෙළඹෙයි. ඔවුන්ගෙන් රටට ලාබයක් මිස පාඩුවක් සිදු නොවෙයි. ඔහු ඉතිරි කරන්නේ අපට දරාගත නොහැකි උපරිම ඉල්ලුම තිබෙන අවස්ථාවේ වැය වන විදුලියයි. සැකසිය යුත්තේ ජනතාව එතැනට පැමිණෙන ප්‍රතිපත්තියකි. එසේ කළ හැකිව තිබියදී විදුලි ගාස්තු වැඩි කිරීමට දඟලන්නේ ඇයි?

විදුලිබල මණ්ඩලය අද ආර්ථික අර්බුදයක වැටී සිටින්නේ අනීතික ගිවිසුම් නිසාය. ඉතා හොඳ ගිවිසුම් තිබියදී ඒ ගිවිසුම්වල මූලික කොන්දේසි සහ පදනමට පටහැනිව ඉතාමත් අවාසිදායක ගිවිසුම්වලට අගතිදායක ලෙස එළඹීම මණ්ඩලයේ සාමාන්‍ය ස්වභාවයයි. විදුලිබල මණ්ඩලය සහ රට විනාශ කළේ කෙළවරපිටිය බලාගාරය පිළිබඳ ගිවිසුමයි. යුගදනවි ගිවිසුම නොගසා මෙගාවොට් 60 බැගින් වන බාජ් (Baj) විදුලි ව්‍යාපෘති 5ක් රට වටේ හැදුවා නම් හෝ හෙළදනවි වැනි ව්‍යාපෘති තුනක් ඇති කළා නම් විදුලිබල මණ්ඩලය අද මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට නොවැටෙයි. චීනය වැනි රටක යුගදනවි වැනි ගිවිසුමක් අත්සන් කළා නම් ඒ ගිවිසුමට අත්සන් කළ මිනිසුන් පෙළගස්වා ඔවුන්ට වෙඩි තබනු නිසැකය. වඩා හොඳ ගිවිසුම් ගැන දැනුම, අවබෝධය, පුහුණුව සහ අත්දැකීම් තිබියදී යුගදනවි වැනි ගිවිසුමක් අත්සන් කිරීම හෙණ ගහන අපරාධයකි. ඒ ගිවිසුම අත්සන් කළේ 2009දීය. මේ අපරාධ, මණ්ඩලයේ සිටියදී මම පෙන්වා දුන්නෙමි. එවිට ඔවුහු මා ඒ වගකීම්වලින් ඉවත් කර අවසානයේ රැකියාවෙන් ද ඉවත් කළහ. මා යළි රැකියාව ලබාගත්තේ නීතියේ පිහිටෙනි.

විදුලිබල මණ්ඩලය අද ආර්ථික අර්බුදයක වැටී සිටින්නේ අනීතික ගිවිසුම් නිසාය. ඉතා හොඳ ගිවිසුම් තිබියදී ඒ ගිවිසුම්වල මූලික කොන්දේසි සහ පදනමට පටහැනිව ඉතාමත් අවාසිදායක ගිවිසුම්වලට අගතිදායක ලෙස එළඹීම මණ්ඩලයේ සාමාන්‍ය ස්වභාවයයි.

ජනපති කියන්නේ රටට අවශ්‍ය සමස්ත විදුලියෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවාගත යුතු බවය. මා ඉහත යෝජනා කළ මෙගාවොට් 10,000 ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් ජනපතිගේ ඉලක්කය සපුරාගෙන අපට ඩීසල් හා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමට ආයුබෝවන් කිව හැකිය. ඇතැමුන් මහා පරිමාණයෙන් මවා පෙන්වන තාක්‍ෂණික ප්‍රශ්නවලට ද සරල විසඳුම් තිබේ. මා යෝජනා කරන ව්‍යාපෘති 10,000 වසර තුනක් ඇතුළත සක්‍රීය කළ හැකිය. එමගින් රටේ ඉන්ධන අර්බුදය විසඳෙයි. ඩොලර් ප්‍රශ්නයට පිළියම් ලැබෙයි. ගෑස් පෝලිම් නවතියි. ඩීසල් හා පෙට්‍රල්වලින් දුවන වාහන ද විදුලියෙන් ක්‍රියාත්මක කළ හැකිය. විදුලිය පිළිබඳ වගකීම මට බාර දෙන්නේ නම්, විදුලිය ගාස්තු වැඩි නොකර විදුලිය නොකපා අවුරුදු තුනකින් පවතින අර්බුදය නිම කළ හැකිය. ඩීසල්වලින් විදුලිය නිපදවීමට අවුරුදු තුනකින් තිත තැබිය හැකිය. මට අවශ්‍ය වන්නේ තීන්දු තීරණ ගැනීමේ නිදහස සහ හිරිහැර, කරදර, බාධාවලින් තොරව ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීම පමණකි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සමාන්‍යධිකරී

සුජීව අබේවික්‍රම

සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *