මිලියන 33ක් සාපරාධී සාවද්‍ය පරිහරණයට බැසිල් ඇතුළු 4 කට නඩු

දිවි නැඟුම සහනාධාරලාභීන්ට සෙවිල් තහඩු බෙදාදීමේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා පහක් යටතේ පොදු දේපළ පනත මත පවරා ඇති නඩුව සම්බන්ධව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණයේදී ඊයේ (15) අධි චෝදනා බාර දුන්නේය. හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක හා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන විත්තිකරුවන්ට එසේ අධි චෝදනා බාර දුනි.

කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (15) පෙනී සිටි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා මහාධිකරණය මඟින් නියම කර තිබූ පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා සියලු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට කොළඹ මහාධිකරණය භාර ප්‍රධාන පොලිස් නිලධාරිවරයාට නියෝග කරමින් නඩුවේ වැඩිදුර විභාගය ලබන අගෝස්තු 30 වැනිදාට කල් තැබීය.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී එනම් 2014 ඔක්තෝබර් 20 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නඟා ඇත. විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය මඟින් ඇප නියම කිරීමේදී සෑම මසකම අවසන් ඉරුදින කුරුඳුවත්ත පොලිසියට වාර්තා කරන ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ඉවත් කරන මෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඊයේ (15) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ඊළඟ නඩු දිනයේදී සලකා බලන මෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා ඒ අවස්ථාවේ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම ඇප කොන්දේසි පැනවූ දින සිට සෑම මසකම අවසන් ඉරිදා කුරුඳුවත්ත පොලිසිය හමුවේ නව සේවාදායකයා වන බැසිල් රාජපක්ෂ මහතා පෙනී සිටි බැවින් මේ වන විට විත්තිකරුවන් හට අධි චෝදනාවන් ද ගොනුකර අවසන් බැවින් එම ඇප කොන්දේසිය ඉවත් කරන මෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඊයේ (15) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ සෙනරත් ජයසුන්දර, විජේසිරි අඹවත්ත, සුරංග බණ්ඩාර, රසික බාලසූරිය, පාලිත ගමගේ, ප්‍රේමචන්ද්‍ර ඈපා, කෞෂල්‍යා මොල්ලිගොඩ, ඉසුරු සෝමදාස, චතුරංගි වෙදගේ, සංජිත් සේනානායක ඇතුළු නීතිඥවරුන් මඬුල්ලක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

 

කුමුදු හෙට්ටිආරච්චි – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *