මතභේද අවසන්, විගණන පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

අධිභාරය පැනවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉවත්කර, විගණකාධිපතිවරයාට ලබාදීමට එරෙහිව ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ඇනහිට තිබුණු විගණන පනත, මුදල් ඇමතිවරයා සමග අදාළ පාර්ශවයන් කළ සාකච්ඡාවකින් පසු, අතුරු විසඳුම් යෝජනාවකට එකගවීම තුළ සමථයකට පත් වූ බව පුරවැසි සංවිධාන නියෝජිතයෙක් යුක්තියට වාර්තා කළේ ය.
රාජ්‍ය සේවයේ නාස්තිකාරි ලෙස වියදම් කරන මුදල් සම්බන්ධයෙන් අධිභාරයක් පැනවීමේ බලය මෙතෙක් තිබුණේ අමාත්‍යංහ ලේකම්වරයාට ය. නාස්තියක් සිදුවී ඇතත්, පසුගිය වසර 25 තුළ කිසිදු අයභාරයක් පැනවා නැත්තේ අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව එකී මුදල් වියදම් කළ නිසාවෙනි. හොරාගේ අම්මාගෙන පේන අහනවා වැනි කියාවක් වූ අධිභාරය පැනවීමේ බලය නව පනතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉවත්කර රජයේ ගණකාධිකාරිවරයාට පවරා තිබුණි.
මෙයට එරෙහිව මතු වූ තර්කය වූයේ තම අභිමතය අනුව අනවශ්‍ය වියදම් ලෙස සළකා අධිභාරයක් පැනවීමේ බලය විගණකාධිපතිවරයාට හිමිවන බව ය. විගණකාධිපතිවරයා ඇතුළුව මේ විෂය පිළිබඳ වැටහීමක් ඇති තවත් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් අධිභාරයක් පැනවීම සුදුසු බව මෙයට විසඳුමක් ලෙස ඉදිරිපත් වී තිබේ. අදාළ පාර්ශවයන් මේ යෝජනාවට එකඟ වූ බවත්, ඒ අනුව විගණන පනත් කෙටුපත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *